කියවීම්
2028 නොවැම්බර් 13
Frances Xavier Cabrini, Virgin, Religious Obligatory Memorial
දවසේ දේව මෙහෙය
First Reading
තීතස් 1: 1-9
1දෙවියන් වහන්සේගේ සේවකයෙකු ද, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රේරිතවරයෙකු ද වන පාවුලු නම් මම, දෙවියන් වහන්සේ තෝරාගත් සෙනඟගේ ඇදහිල්ල ශක්තිමත් කර, දේව භක්තියෙහි සත්‍යය ඔවුන්ට ප්‍රත්‍යක්ෂ කරන පිණිස ලියමි.
2ඒ දේව භක්තියෙහි පදනම වනාහි සදාතන ජීවනයේ බලාපොරොත්තුව වේ. කාලයාගේ පටන්ගැන්මට පෙර, දෙවියන් වහන්සේ අපට මේ සදාතනික ජීවිතය පොරොන්දු වූ සේක. උන් වහන්සේගේ වචනය විශ්වාස කටයුතු ය.
3උන් වහන්සේ මේ වචනය නියමිත කාලයේ දී සිය පණිවුඩය මඟින් එළිදරව් කළ සේක. අප ගැළවුම්කාර දෙවියන් වහන්සේගේ අණ පරිදි, එය ප්‍රකාශ කිරීම මට පවරන ලදී.
4අපගේ පොදු ඇදහිල්ලෙහි මාගේ සැබෑ පුත්‍රයා වන තීතස් වෙත මම මෙය ලියා එවමි. දෙවි පියාණන් වහන්සේගෙන් ද, අපගේ ගැළවුම්කාර ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගෙන් ද, කරුණාවත්, ශාන්තියත් ඔබට වේ වා!
5මා ඔබ ක්‍රීතයේ නතර කෙළේ, ඉතුරු කටයුතු සම්පූර්ණ කරන පිණිසත්, මා නියෝග කළ ලෙස නුවරක් පාසා සභා මූලිකයන් පත් කරන පිණිසත් ය.
6එසේ පත් කරන මූලිකයා නිදොස් චරිතයකින් යුත්, එක භාර්යාවක් පමණක් සිටින, කල්ක්‍රියාව ගැන සැකයට කරුණක් නැති, මනා හැසිරීමක් ඇති, ඇදහිලිවන්ත දරුවන් සිටින තැනැත්තෙකු විය යුතු ය.
7සභා නායක තෙමේ දෙවියන් වහන්සේගේ ගබඩාකාරයෙකු වශයෙන් නිදොස් වූ, හිතුවක්කාර නො වූ, නොකිපෙන සුලු, මත්පැනට ලොල් නො වූ, කලහකාරී නො වූ, අයුතු ලාභයට ගිජු නො වූ,
8ආගන්තුක සත්කාරයට ළැදි, යහපතට ප්‍රිය කරන, ශාන්තදාන්ත, දැහැමි, ශුද්ධ, දැමුණු ඉඳුරන් ඇති තැනැත්තෙකු විය යුතු ය.
9තවද, ඔහු ධර්මානුකූල ව අනුශාසනා කරන්නට ද, විරුද්ධවාදීන් නිහඬ කරන්නට ද සමත් වන පිණිස, ධර්මානුකූල ඇදහිල්ලෙහි ස්ථිර ව පිහිටා සිටින තැනැත්තෙකු ද විය යුතු ය.
Responsorial Psalm
ගීතාවලිය 24: 1b-2, 3-4ab, 5-6
1පොළොව හා එහි ඇති සෑම දෙය ද සකල ලෝ වාසීහු ද සමිඳුන් සන්තක වෙති.
2මුහුදු ජලය පිට පොළොව පිහිටුවා, සයුරු පත්ලෙහි එය ස්ථාපිත කෙළේ එතුමාණෝ ය.
3හිමි තුමන්ගේ කන්දට නඟින්නට ශුද්ධ කවුරු ද? එතුමන්ගේ ශුද්ධ දෙව් මැදුරෙහි නවතින්නට හැකි කාට ද?
4ක්‍රියාවෙන් පිරිසිදු, සිතින් නිර්මල, නිෂ්ඵල දෙයට වැඳුම්පිදුම් නොකරන, බොරුවට නොදිවුරන, තැනැත්තාට ය.
5එවැනි අයට සමිඳාණෝ ආසිරි දෙති; මිදුම්කාර දෙවිඳාණෝ මොක් සුව දෙති.
6දෙවිඳුන් සොයා යන්නෝ ද ජාකොබ්ගේ දෙවිඳුන්ගේ සරණ පතා යන්නෝ ද එවැනි අය ය.
Alleluia
පිලිප්පි 2: 15d, 16a
15එවිට ඔබ නිදොස් හා අහිංසක වන්නහු ය. ඔබ වංක, හිතුවක්කාර පරම්පරාවක් මධ්‍යයෙහි, දෙවියන් වහන්සේගේ නිර්දෝෂ දරුවන් ව,
16ඔවුන් අතර ජීවන පණිවුඩය ප්‍රදානය කරමින්, අඳුරු ලෝකයක දීප්තිමත් තාරකා මෙන් බබළන්නහු ය. ඔබ එසේ කළොත්, ‘මම නිෂ්ඵල ලෙස නොදිව්වෙමි, නිෂ්ඵල ලෙස වීර්ය නොකෙළෙමි’යි ක්‍රිස්තුන් වහන්සේගේ දවසේ දී ඔබ ගැන මට පාරට්ටු කරගත හැකි වේ.
Gospel
ශුද්ධ වූ ලූක් 17: 1-6
1උන් වහන්සේ ශ්‍රාවකයන්ට කතා කරමින්, ”මිනිසුන් පාපයට පමුණුවන හේතුන් ඇති වීම නියත ය. එහෙත් යමෙකු නිසා ඒ හේතු පැමිණේ ද, ඔහුට වන විපතක මහත!
2මේ කුඩා අයගෙන් කෙනෙකුගේ වැටීමට යමෙක් හේතු වනු ඇද්ද, ඔහුගේ ගෙළ වටා ඇඹරුම් ගලක් එල්ලා මුහුදේ හෙළනු ලැබීම ඔහුට ඊට වඩා යහපති.
3කපරිස්සම් වන්න; ඔබේ සහෝදරයා පව්ළොත් ඔහුට තරවටු කරන්න; ඔහු පසුතැවී සිත් හරවා ගනී නම් ඔහුට කමා වන්න.
4දවසකට සත් වරක් ඔබට විරුද්ධ ව පව් කොට, සත් වරක් ඔබ වෙතට හැරී, ‘මම පසුතැවී සිත හරවා ගතිමි’යි කීවොත්, ඒත් ඔහුට කමා වන්නැ”යි වදාළ සේක.
5එවිට ප්‍රේරිතයෝ කතා කොට, ”අපේ ඇදහිල්ල වැඩි කළ මැනවැ”යි සමිඳාණන් වහන්සේට කී හ.
6සමිඳාණන් වහන්සේ කතා කොට, ”අබ ඇටයක් පමණ ඇදහිල්ල ඇති ව, මේ ඇඹිල්ල ගහට, ‘ඉදිරී ගොස්, මුහුදේ පැලවෙව’යි කියන්නහු නම්, එය ඔබට කීකරු වනු ඇත.