නොවැම්බර් 2028

බ්‍ර සි සෙ
1234
567891011
12131415161718
19202122232425
2627282930
අද දිනට

කියවීම්

2028 නොවැම්බර් 29

Ordinary Weekday

දවසේ දේව මෙහෙය
First Reading

එළිදරව් 15: 1-4

1ස්වර්ගයෙහි තවත් විස්මයජනක මහා ලකුණක් දිටිමි. දේව දූතයෝ සත් දෙනෙක් වසංගත සතක් රැගෙන සිටියෝ ය. මේවායින් දෙවියන් වහන්සේගේ උදහස අවසාන වන බැවින්, ඒවා අන්තිම වසංගත වේ. 2ගිනි මුසු වීදුරු සාගරයක් වැනි දෙයක් ද, මෘගයාගෙනුත්, උගේ රූපයෙනුත්, උගේ නාමයේ සංබ්‍යාවෙනුත් දැක්වෙන ජයගත් අය, දෙවියන් වහන්සේගේ වීණා රැගෙන වීදුරු සාගරය ළඟ සිටිනු දිටිමි. 3ඔව්හු දෙවියන් වහන්සේගේ සේවකයා වූ මො‍්සෙස්ගේ ගීතිකාව ද බැටළු පෝතකයාණන්ගේ ගීතිකාව ද ගායනා කරමින් මෙසේ කී හ: ”සව් බලැති ස්වාමීන් වන දෙවියන් වහන්ස, ඔබගේ ක්‍රියා උදාර ය, චමත්කාර ජනක ය. ජාතීන්ගේ රජාණෙනි, ඔබගේ මාර්ග සාධාරණ ය, සැබෑ ය. 4ස්වාමීනි ඔබ වහන්සේට බිය නොවන්නේත්, ඔබ වහන්සේගේ නාමයට ගෞරව නොකරන්නේත් කවරෙක් ද? ඔබ වහන්සේ පමණක් සුවිශුද්ධ බැවිනි; සියලු ජාතීහු පැමිණ, ඔබ වහන්සේ ඉදිරියේ නමස්කාර කරති. මන්ද, ඔබ වහන්සේගේ ධර්මිෂ්ඨ ක්‍රියා ප්‍රකාශ කරන ලද්දේ ය.”
Responsorial Psalm

ගීතාවලිය 98: 1, 2-3ab, 7-8, 9

1සමිඳුන්ට නව ගීයක් ගයන්න; මන්ද, එතුමාණෝ අසිරිමත් ක්‍රියා කළ සේක. සිය බලයෙන් හා ශුද්ධ ශක්තියෙන් ජයග්‍රහණය ලත් සේක. 2සමිඳාණෝ ස්වකීය ජයග්‍රහණය ප්‍රකාශ කළ සේක; විජාතීන්ගේ ඇස් හමුයෙහි සිය විමුක්ති බලය එළිදරව් කළ සේක. 3එතුමාණෝ ඉශ්රායෙල් වංශය කෙරෙහි එතුමන්ගේ ප්‍රේමයත්, විශ්වාසවන්තකමත් සිහි කළ සේක. මිහි පිට සියලු දෙන අප දෙවිඳුන්ගේ ජයග්‍රහණය දුටුවෝ ය. 7මුහුද ද එහි ඇති සියල්ල ද ගර්ජනා කෙරේ වා! ලෝකය ද එහි වැසියෝ ද ගී ගයත් වා! 8ගංගා අත් පොළසන් දේ වා! කඳු හෙල් එක් ව සමිඳුන් හට ප්‍රීති නාද දේ වා! 9මන්ද, සමිඳාණෝ මිහිතලය පාලනය කරන පිණිස වඩින සේක; එතුමාණෝ ලෝ වැසියන් ධර්මිෂ්ඨකමින් ද සාධාරණකමින් ද පාලනය කරන සේක.
Alleluia

එළිදරව් 2: 10c

10ඔබ විඳින්නට යන දේවලට බිය නොවන්න. බලන්න, ඔබ විමසන පිණිස, යක්ෂයා ඔබෙන් සමහරෙකු සිරගත කිරීමට අර අඳිමින් සිටියි. දස දවසක් ඔබ පීඩා විඳින්නහු ය. මරණය දක්වා විශ්වාසී ව සිටින්න; එවිට මම ඔබට ජීවන කිරුළ ප්‍රදානය කරමි.
Gospel

ශුද්ධ වූ ලූක් 21: 12-19

12එහෙත් ඒ සියල්ලට පෙර, මාගේ නාමය නිසා ඔව්හු ඔබ අල්ලාගෙන, ධර්මශාලාවටත්, හිර ගෙවලටත් ඔබ පාවාදෙමින්, ඔබට පීඩා කරන්නෝ ය; ඔබ රජුන් හා ආණ්ඩුකාරයන් ඉදිරියට ගෙන යන්නෝ ය. 13ඔබට එය සාක්ෂි දැරීමේ අවස්ථාවක් වන්නේ ය. 14ඔබ වගඋත්තර දිය යුත්තේ කෙසේ දැ යි කල් තියා සූදානම් නොවන්නට සිතට ගන්න. 15මන්ද, ඔබගේ විරුද්ධවාදීන් කිසිවෙකුට නොබිඳිය හැකි වූ ද නිෂ්ප්‍රභා කළ නොහැකි වූ ද වාග් චතුරතාවක් හා ප්‍රඥාවක් මම ඔබට දෙන්නෙමි. 16දෙමවුපියන්, සහෝදරයන් හා නෑ මිතුරන් විසින් ම ඔබ පාවා දෙනු ලබන්නහු ය; ඔව්හු ඔබගෙන් සමහරෙකු මරණයට පත් කරන්නෝ ය. 17මාගේ නාමය නිසා සියල්ලෝ ම ඔබට වෛර කරන්නෝ ය. 18එහෙත් ඔබගේ කෙස් ගහක් පමණ වත් නාස්ති නොවන්නේ ය. 19ස්ථීර ව සිටීමෙ‍න් ඔබ ජීවනය දිනා ගන්නහු ය.”