කියවීම්
2028 දෙසැම්බර් 1
Ordinary Weekday
දවසේ දේව මෙහෙය
First Reading
එළිදරව් 20: 1-4, 11-21: 2
1තවද, පාතාලයේ යතුර ද මහත් දම්වැලක් ද අතින් ගත් දේව දුතයෙකු ස්වර්ගයෙන් බැස එනු දිටිමි.
2ඔහු යක්ෂයා ද සාතන් ද වන පුරාතන සර්පයා හෙවත් ඒ මකරා අල්ලා අවුරුදු දහසකට බැඳ තැබී ය.
3ඒ අවුරුදු දහස කෙළවර වන තුරු ඔහු විසින් ජාතීන් තවත් නොරවටන පිණිස, ඔහු පාතාලයට හෙළා, එය වසා, මතුපිට මුද්‍රා තැබී ය. මින්පසු මඳ කලකට ඔහු මුදා හැරිය යුතු ය.
4එවිට සිංහාසන දිටිමි. ඒවායේ හිඳ ගත්තවුන්ට විනිශ්චය කිරීමේ වරම දෙන ලද්දේ ය. තවද, ජේසුස් වහන්සේගේ සාක්ෂිය නිසාත්, දෙවියන් වහන්සේගේ වචනය නිසාත් හිස් ගසාදමනු ලැබූවන්ගේ ද, මෘගයාට වත් උගේ රූපයට වත් නමස්කාර නොකළ, උගේ සලකුණ සිය නළල්වල හා අත්වල නොදැරූ තැනැත්තන්ගේ ද ආත්මයන් දිටිමි. ඔව්හු යළි ජීවනය ලබා ක්‍රිස්තුන් වහන්සේ සමඟ අවුරුදු දහසක් රජකම් කළහ.
11තවද, විශාල ධවල සිංහාසනයක් ද, එහි වැඩහුන් තැනැන් වහන්සේ ද දිටිමි. උන් වහන්සේගේ අභිමුඛයෙන් අහසත් පොළොවත් පලා ගියේ ය. ඒවායේ ලකුණක් වත් ඉතිරි නො වී ය.
12මළා වූ, ලොකු කුඩා සියල්ලන් සිංහාසනය ඉදිරියෙහි සිටිනු දිටිමි. පොත් ද දිගහරිනු ලැබී ය. ජීවන පොත වන තවත් පොතක් ද දිග හරිනු ලැබී ය. පොතේ ලියා තිබෙන හැටියට ඒ මියගිය අය තමන්ගේ ක්‍රියා අනුව විනිශ්චය කරනු ලැබුවෝ ය.
13මහමුහුද එහි වූ මළවුන් භාර දුන්නේ ය. මරණයත්, පාතාලයත්, එහි උන් මළවුන් භාර දුන්නේ ය. ඔව්හු එකිනෙකා තම තමාගේ ක්‍රියා ලෙස විනිශ්චය කරනු ලැබූ හ.
14මරණයත්, පාතාලයත් ගිනි විලට හෙළන ලද්දේ ය. මේ ගිනි විල දෙ වන මරණය වේ.
15යමෙකුගේ නම ජීවන පොතෙහි ලියැවී නැති බව සම්බ වී ද, ඔහු ගිනි විලට හෙළනු ලැබී ය.
1ඉන්පසු මම අලුත් අහසක් ද අලුත් පොළොවක් ද දිටිමි. පළමු අහසත් පළමු පොළොවත් පහ ව ගියේ ය. මුහුද ද තවත් නො වී ය.
2තවද, තමාගේ ස්වාමි පුරුෂයාට සරසන ලද මනාලියක මෙන් සූදානම් කරනු ලැබූ ශුද්ධ නගරය වන අලුත් ජෙරුසලම, දෙවියන් වහන්සේ වෙතින් ස්වර්ගයෙන් බැස එනු දිටිමි.
Responsorial Psalm
ගීතාවලිය 84: 3, 4, 5-6a and 8a
3සව් බලැති දෙවිඳුනි, මාගේ රජාණන් වන දෙවිඳුනි, ගේ කිරිල්ලිය ගෙයක් ද වැහිලිහිණිය ඇගේ පැටවුන් දැමීමට කැදැල්ලක් ද ඔබේ පූජාසනයෙහි සොයාගෙන ඇත.
4ඔබේ ගෘහයෙහි වසන්නෝ කොපමණ වාසනාවන්ත ද? ඔව්හු නිරතුරු ඔබට පසස් ගී ගයන්නෝ ය.
5වන්දනාවේ යන පිණිස සිත යොමු කරගත්, ඔබ සරණ කොටගත් අය කොපමණ වාසනාවන්ත ද?
6ඔව්හු වැලපීමේ මිටියාවත මැදින් යන කල එය උල්පත් සහිත ස්ථානයක් කරගනිති. පළමු වන වැහි වලාව එය දිය කඩිතිවලින් පුරවන්නේ ය.
8සමිඳුනි, සව් බලැති දෙවිඳුනි, මා අයැදුම ඇසුව මැනව. අහෝ ජාකොබ්ගේ දෙවිඳුනි! මට සවන් දුන මැනව.
Alleluia
ශුද්ධ වූ ලූක් 21: 28
28මේ දේ සිදුවන්න පටන්ගන්නා කල ඔබේ විමුක්තිය ළං වේගන එන බැවින් නැඟී සිට හිස් ඔසවන්නැ”යි වදාළ සේක.
Gospel
ශුද්ධ වූ ලූක් 21: 29-33
29තවද ජේසුස් වහන්සේ ඔවුන්ට උපමාවක් වදාළ සේක. ”අත්තික්කා ගස හෝ අන් කිසි ගසක් හෝ ගැන සිතන්න.
30ඒවා දලු ලන විට, එය දුටු හැටියේ ම ගිම්හානය දැන් ළං වී ඇතැ යි ඔබ දන්නහු ය.
31එලෙස ම, මේ දේ සිදුවනු දක්නා කල, දෙවියන් වහන්සේගේ රාජ්‍යය ළං වී ඇතැ යි දැනගන්න.
32ඇත්තෙන් ම මම ඔබට කියමි, මේ සියල්ල සිදුවන තුරු මේ පරම්පරාව පහ ව නොයන්නේ ය.
33අහසත්, පොළොවත් පහ ව යන්නේ ය. එහෙත් මාගේ කිසිදු වචනයක් පහ ව නොයන්නේ ම ය.”