නොවැම්බර් 2026

බ්‍ර සි සෙ
1234567
891011121314
15161718192021
22232425262728
2930
අද දිනට

කියවීම්

2026 නොවැම්බර් 1

Solemnity of All Saints

දවසේ දේව මෙහෙය
Reading I

එළිදරව් 7:2-4, 9-14

2එවිට තවත් දේව දුතයෙකු ජීවමාන දෙවියන් වහන්සේගේ මුද්‍රාව රැගෙන පෙරදිගින් නැඟී එනු දිටිමි. ඔහු ගොඩටත් මුහුදටත් අනතුරු කරන්නට බලය ලත් දේව දූතයන් සතර දෙනාට මහ හඬකින් මොරගසා, 3අපේ දෙවියන් වහන්සේගේ සේවකයන්ගේ නළල් මත මුද්‍රා සලකුණ තබන තුරු, ගොඩට වත්, මුහුදට වත්, ගස්වලට වත් අනතුරක් නොකරන්නැ”යි කී ය. 4තවද, මුද්‍රා සලකුණ ලත් අයගේ ගණන මට ඇසුණේ ය. සියලු ඉශ්රායෙල් ගෝත්‍රවලින් මුද්‍රා සලකුණු ලත් අය එක් ලක්ෂ සතළිස් සාර දහසක් වූ හ. 9ඉන්පසු සියලු ජාතීන්ගෙන් ද ගෝත්‍රවලින් ද ජන සමූහයාගෙන් ද භාෂාවන්ගෙන් ද කිසිවෙකුට ගණන් නොකළ හැකි තරම් ඉමහත් පිරිසක්, සුදු සළු පැළඳ, තාල පත්‍ර අතින් ගෙන, සිංහාසනය හා බැටළු පෝතකයාණන් ඉදිරියෙහි සිටිනු මම දිටිමි. 10ඔව්හු මහ හඬින් මොරගසා ”සිංහාසනයෙහි වැඩ හිඳින අපේ දෙවියන් වහන්සේගෙන් ද බැටළු පෝතකයාණන්ගෙන් ද ගැළවීම පැමිණේ ය”යි කී හ. 11සියලු දේව දූතයෝ සිංහාසනය ද කුලදෙටුවන් ද ජීවමාන සත්ත්වයන් සතර දෙනා ද සිසාරා, සිංහාසනය ඉදිරියෙහි වැඳ වැටී, දෙවියන් වහන්සේට නමස්කාර කරමින්, 12ආමෙන්! ප්‍රශංසාව ද මහිමය ද ප්‍රඥාව ද ස්තුතිය ද ගෞරවය ද බලය ද පරාක්‍රමය ද අපේ දෙවියන් වහන්සේට සදහට ම වේ වා! ආමෙන් ය”යි කී හ. 13එවිට කුලදෙටුවන්ගෙන් එක් තැනැත්තෙක් මට කතා කොට, ”සුදු සළු පැළඳගත් මොවුහු කවුරු ද? කොතැනින් ආවෝ දැ”යි මාගෙන් ඇසී ය. 14මාගේ ස්වාමීනි, ඔබ එය දන්නෙහි ය”යි මම ඔහුට කීමි. එවිට ඔහු මා අමතා, ”මොවුහු මහත් පීඩා මැදින් එන්නාහ. ඔව්හු තම සළු බැටළු පෝතකයාණන්ගේ ලෙයින් සෝදා සුදු කරගත්තෝ ය.
Responsorial Psalm

ගීතාවලිය 24:1-2, 3-4, 5-6

1පොළොව හා එහි ඇති සෑම දෙය ද සකල ලෝ වාසීහු ද සමිඳුන් සන්තක වෙති. 2මුහුදු ජලය පිට පොළොව පිහිටුවා, සයුරු පත්ලෙහි එය ස්ථාපිත කෙළේ එතුමාණෝ ය. 3හිමි තුමන්ගේ කන්දට නඟින්නට ශුද්ධ කවුරු ද? එතුමන්ගේ ශුද්ධ දෙව් මැදුරෙහි නවතින්නට හැකි කාට ද? 4ක්‍රියාවෙන් පිරිසිදු, සිතින් නිර්මල, නිෂ්ඵල දෙයට වැඳුම්පිදුම් නොකරන, බොරුවට නොදිවුරන, තැනැත්තාට ය. 5එවැනි අයට සමිඳාණෝ ආසිරි දෙති; මිදුම්කාර දෙවිඳාණෝ මොක් සුව දෙති. 6දෙවිඳුන් සොයා යන්නෝ ද ජාකොබ්ගේ දෙවිඳුන්ගේ සරණ පතා යන්නෝ ද එවැනි අය ය.
Reading II

1 ජොහන් 3:1-3

1බලන්න, පියාණන් වහන්සේ අපට කෙතරම් ප්‍රේම කර ඇද් ද? අපි දෙවියන් වහන්සේගේ දරුවෝ යයි කියන තරමට උන් වහන්සේ අපට ප්‍රේම කළ සේක. ඇත්තෙන් ම අපි උන් වහන්සේගේ දරුවෝ ම ය. ලෝකයා දෙවියන් වහන්සේ නොහඳුනන බැවින්, ඔව්හු අප ද නොහඳුනති. 2ප්‍රේමවන්තයෙනි, අපි දැනට ම දෙවියන් වහන්සේගේ දරුවෝ ය. එහෙත් අනාගතයේ දී අපි කොයි ආකාර අය වන්නෙමු දැ යි තව ම ප්‍රකාශ වී නැත. කෙසේ වෙතත් උන් වහන්සේ ප්‍රකාශ වන විට අපි උන් වහන්සේට සමාන වන බව දනිමු. මන්ද, උන් වහන්සේගේ ප්‍රකෘති ස්වභාවයෙහි ම අපි උන් වහන්සේ දකින්නෙමු. 3උන් වහන්සේ පිළිබඳ මේ බලාපොරොත්තුව ඇති හැම කෙනෙක් ම, උන් වහන්සේ පිරිසිදු ව සිටින්නාක් මෙන්, තමන් ද පිරිසිදු කරගනිති.
Alleluia

ශුද්ධ වූ මතෙව් 11:28

28වෙහෙස වන, බර උසුලන සියල්ලෙනි, මා වෙත එන්න; මම ඔබට සහනය දෙමි.
Gospel

ශුද්ධ වූ මතෙව් 5:1-12

1ජේසුස් වහන්සේ ජනකාය දැක කන්දකට නැඟුණු සේක. උන් වහන්සේ වැඩහුන් කල ශ්‍රාවකයෝ උන් වහන්සේ වෙත ආහ. 2එවිට උන් වහන්සේ ඔවුන්ට උගන්වමින් මෙසේ වදාළ සේක: 3බැගෑ සිතින් දෙවි සරණ පතන්නෝ භාග්‍යවන්තයෝ ය; ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේ ය. 4ශෝක වන්නෝ භාග්‍යවන්තයෝ ය; ඔව්හු සැනසීම ලබන්නෝ ය. 5නිහතමානී ගුණ ඇත්තෝ භාග්‍යවන්තයෝ ය; ඔව්හු දේශය උරුම කර ගන්නෝ ය. 6යුක්තියට සාපිපාසා ඇත්තෝ භාග්‍යවන්තයෝ ය; ඔව්හු තෘප්තිමත් වන්නෝ ය; 7දයාවන්තයෝ භාග්‍යවන්තයෝ ය; ඔව්හු දයාව ලබන්නෝ ය. 8නිර්මල සිත් ඇත්තෝ භාග්‍යවන්තයෝ ය; ඔව්හු දෙවියන් වහන්සේ දකින්නෝ ය. 9සාමය ඇති කරන්නෝ භාග්‍යවන්තයෝ ය; ඔව්හු දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ ය යි කියනු ලබන්නෝ ය. 10යුක්තිය උදෙසා පීඩා විඳින්නෝ භාග්‍යවන්තයෝ ය; ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේ ය; 11මිනිසුන් මා නිසා ඔබට නින්දා පීඩා කොට, නානා විධ අසත්‍ය චෝදනා නඟන කල ඔබ භාග්‍යවන්තයෝ ය; 12ප්‍රීති ප්‍රමො‍්ද වන්න; මන්ද, ස්වර්ගයෙහි ඔබේ පලවිපාකය ඉමහත් ය. ඔබට පෙර සිටි දිවැසිවරයන්ටත් ඔව්හු එලෙස ම පීඩා කළහ.”