මැයි 2027

බ්‍ර සි සෙ
1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
අද දිනට

කියවීම්

2027 මැයි 9

Ascension of the Lord Solemnity (Seventh Sunday of Easter)

දවසේ දේව මෙහෙය
First Reading

ක්‍රියා 1: 1-11

1තියෝපිලස් තුමෙනි, ජේසුස් වහන්සේ කළා වූ ද ඉගැන්නුවා වූ ද සියලු දේ, 2උන් වහන්සේ තෝරාගත් ප්‍රේරිතවරුන්ට ශුද්ධාත්මයාණන් කරණකොටගෙන අණ දී උන් වහන්සේ ස්වර්ගයට ඔසවා ගනු ලැබූ දවස දක්වා මාගේ ප්‍රථම කෘතියෙහි මම විස්තර කෙළෙමි. 3උන් වහන්සේගේ මරණයෙන් පසු, සතළිස් දවසක් අතරතුර ඔවුන්ට දර්ශනය වෙමින් ද දෙවියන් වහන්සේගේ රාජ්‍යය ගැන දේශනා කරමින් ද බොහෝ නිසැක සාක්ෂිවලින් උන් වහන්සේ ජීවමාන ව ප්‍රකාශ වූ සේක. 4උන් වහන්සේ ඔවුන් සමඟ ආහාර වළඳමින් සිටිය දී ඔවුන් අමතා, ”ඔබ ජෙරුසලමෙන් ඉවත් ව නොගොස්, මා වදාළ පරිදි පියාණන් වහන්සේගේ පොරොන්දුව බලාපොරොත්තුවෙන් සිටින්න. 5මන්ද, ජොහන් වතුරෙන් බව්තීස්ම-ස්නාපනය a කෙළේ ය; එහෙත් මින් නොබෝ දවසකින් ඔබ ශුද්ධාත්මයාණන්ගෙන් බව්තීස්ම-ස්නාපනය කරනු ලබන්නහු ය”යි වදාළ සේක. 6ප්‍රේරිතවරුන් එක්රැස් වූ කල, ”ස්වාමීනි, ඔබ යළිත් ඉශ්රායෙල් රාජ්‍යය පිහිටුවන කාලය මෙය දැ”යි ඔව්හු උන් වහන්සේගෙන් ඇසූ හ. 7උන් වහන්සේ පිළිතුරු දෙමින්, ”පියාණන් වහන්සේ ස්වකීය ආධිපත්‍යයෙන් නියම කළ කාලයන් ද, අවස්ථාවන් ද දැන ගැනීම ඔබට අයිති කාරියක් නොවේ. 8එහෙත්, ශුද්ධාත්මයාණන් වහන්සේ ඔබ කෙරෙහි පැමිණි කල, ඔබ බලය ලබන්නහු ය. එවිට ඔබ ජෙරුසලමෙහි ද මුළු ජුදයෙහි හා සමාරියෙහි ද පොළොවේ සීමාන්තයන් දක්වා ද මාගේ සාක්ෂි කාරයෝ වන්නහු ය”යි වදාළ සේක. 9උන් වහන්සේ මෙසේ වදාරා ඔවුන් බලා සිටිය දී ම ඔසවාගනු ලැබ, වලාකුළකින් වැසී ඔවුන්ට නොපෙනී ගිය සේක. 10උන් වහන්සේ යන කල, ඔවුන් අහස දෙස බලාගෙන සිටිය දී, සුදුවතින් සැරසුණු මනුෂ්‍යයෝ දෙදෙනෙක් ඔවුන් ළඟ සිට, 11ගලීලයේ වැසියෙනි, ඔබ අහස දෙස බලාගෙන සිටින්නේ කුමට ද? ඔබ කෙරෙන් ඔසවාගනු ලැබූ මෙම ජේසුස් වහන්සේ ස්වර්ගයට නඟිනු දුටු සේ ම, ආපසු වඩිනු ඇතැ”යි කී හ.
Responsorial Psalm

ගීතාවලිය 47: 2-3, 6-7, 8-9

2අති උතුම් සමිඳාණෝ බියකරු ය, මුළු මහ පොළොව කෙරේ අග රජ ය. 3එතුමාණෝ ජාතීන් පරදා අපට ජය දුන් සේක; සව් සත කෙරේ අග රජ වන සේක. 6දෙවි තුමන් හට ගී පසස් නඟන්න. ගී පසස් නඟන්න. අපේ නිරිඳු හට ගී පසස් නඟන්න; ගී පසස් නඟන්න. 7දෙවිඳාණෝ මුළු දෙරණට නිරිඳාණෝ ය. එතුමන් හට ගී පැසසුම් ගයන්න. 8දෙවිඳාණෝ ජාතීන් අතර රජිඳාණෝ ය; එතුමාණෝ සුවිශුද්ධ සිහසුන් අරා වැඩ සිටින සේක. 9ජාතීන්ගේ අධිපතීහු, ආබ්‍රහම්ගේ වංශයට අයත් දේව සෙනඟ සමඟ එක් රැස් වන්නෝ ය. පොළොවේ බලවත් ජාතීහු දෙවි තුමන්ට අයිති ය; එතුමාණෝ උන් හැම කෙරේ රජකම් කරන සේක.
Second Reading

එපීස 4: 1-13

1එබැවින්, දෙවියන් වහන්සේගෙන් ඔබ ලත් කැඳවීමට ඔබින ලෙස හැසිරෙන මෙන් සමිඳාණන් වහන්සේ උදෙසා හිරකාරයෙකු වන මම ඔබෙන් උදක් ම ඉල්ලමි. 2සැම විට ම නිහතමානි ව, විනීත ව, ඉවසිලිවන්ත ව සිටින්න; ප්‍රේමයෙන් එකිනෙකා සමඟ පෑහී සිටින්න; 3ආත්මයාණන් වහන්සේගෙන් වන එක්සත්කම, සමඟිකමේ බැම්මෙන් පවත්වාගන්ට උත්සාහ කරන්න. 4ඔබ කැඳවනු ලැබූ කල එක ම බලාපොරොත්තුවකට කැඳවනු ලැබූ ලෙස, ඇත්තේ එක ම ශරීරයත්, එක ම ආත්මයාණන් වහන්සේත් ය; 5එක ම සමිඳාණන් වහන්සේත්, එක ම ඇදහිල්ලත්, එක ම බව්තීස්ම-ස්නාපනයත් ය; 6සියල්ලන්ට ඉහළින් සිටින, සියල්ලන් තුළින් ක්‍රියා කරන, සියල්ලන් තුළ වැඩවසන එක ම දෙවි පියාණන් වහන්සේත් ය. 7එහෙත් ක්‍රිස්තුන් වහන්සේ සිය දීමනාවේ ප්‍රමාණය අනුව අප එකිනෙකාට දේව වරප්‍රසාදය ප්‍රදානය කර ඇත. 8ඒ ගැන මෙසේ කියා තිබේ: ”උන් වහන්සේ අග්‍රස්ථානයට නැඟුණු කල, පරදවා ජයගත් සතුරු සේනාව ගෙන ගොස්, මිනිසුන්ට දීමනා පිරිනැමූ සේක.” 9උන් වහන්සේ නැඟුණ සේකැ යි කීමෙන් කුමක් අදහස් කෙරේ ද? එයින් අදහස් කරන්නේ උන් වහන්සේ ප්‍රථමයෙන් පොළොවේ පහත් ම තැන් වලට බැස්ස බව ය. 10පහළට බැස වදාළ තැනැන් වහන්සේ නම්, මුළු විශ්වය පූර්ණ කරන පිණිස සියලු ස්වර්ග ලෝක ඉක්මවා ඉහළට නැඟුණු තැනැන් වහන්සේ ම ය. 11මේ ක්‍රිස්තුන් වහන්සේ, සමහරුන් ප්‍රේරිතයන් ද සමහරුන් දිවැසිවරුන් ද සමහරුන් ධර්ම දේශකයන් ද සමහරුන් සභා පාලකයන් ද සමහරුන් ගුරුවරුන් ද වශයෙන් පත් කළ සේක. 12එසේ කළේ දෙවියන් වහන්සේගේ සෙනඟ දේව සේවය සඳහා සම්පූර්ණයෙන් පුහුණු කිරීමටත්, ක්‍රිස්තු ශරීරය වර්ධනය කිරීමටත් ය. 13මේ ආකාරයෙන් ඇදහිල්ලේ ද දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් දැනගැන්මේ ද එකමුතුකමටත්, ක්‍රිස්තුන් වහන්සේගේ පරිණතභාවයෙන් වන පරිපූර්ණ පෞරුෂත්වයටත් අපි පත් වන්නෙමු.
Alleluia

ශුද්ධ වූ මතෙව් 28: 19a, 20b

19එබැවින් ඔබ ගොස්, සකල ජාතීන් ශ්‍රාවකයන් කරන්න; පියාණන්ගේ ද පුත්‍රයාණන්ගේ ද ශුද්ධාත්මයාණන්ගේ ද නාමයෙන් ඔවුන් බව්තීස්ම-ස්නාපනය කරන්න; 20මා ඔබට අණ කළ සියල්ල රක්ෂා කරන්න ඔවුන්ට උගන්වන්න. මම ද යුගාන්තය දක්වා සදහට ම ඔබ හා සමඟ සිටිමි”යි වදාළ සේක.
Gospel

ශුද්ධ වූ මාර්ක් 16: 15-20

15උන් වහන්සේ ඔවුන් අමතා, ”ලොව පුරා ගොස් සකල සත්ත්වයා හට සුබ අස්න දේශනා කරන්න; 16අදහා බව්තීස්ම-ස්නාපනය ලබන තැනැත්තේ ගැළවීම ලබන්නේ ය; එහෙත්, අදහා නොගත් තැනැත්තේ වරදකරු යයි තීන්දුව ලබන්නේ ය. 17අදහන්නන් ඇසුරු කොටගත් හාස්කම් මේ ය: ඔව්හු මාගේ නාමයෙන් දුෂ්ටාත්ම දුරු කරති; අමුතු භාෂාවලින් කතා කරති; 18සර්පයන් අතින් අල්ලාගනිති; යම් මාරක විසක් බීවත් ඉන් කිසි අනතුරකට පත් නොවෙති; රෝගීන් පිට අත් තැබූ විට, ඔව්හු සුවය ලබති”යි වදාළ සේක. 19මෙසේ ජේසුස් ස්වාමීන් වහන්සේ ඔවුන්ට කතා කළ පසු, ස්වර්ගයට ඔසවාගනු ලැබ, දෙවියන් වහන්සේගේ දකුණු පස අසුන් ගත් සේක. 20ඔව්හු නික්ම ගොස් සෑම තැන ම දේශනා කළහ. සමිඳාණන් වහන්සේ ද ඔවුන් සමඟ ක්‍රියා කරමින්, ඔවුන් අතර සිදු කළ හාස්කම් මඟින් ඒ දේශනය සහතික කර වදාළ සේක. ඔව්හු මෙකී අවවාදානුශාසනා පේදුරුට ද ඔහුගේ සහචරයන්ට ද සැකෙවින් පැවසූ හ. ඉක්බිති ජේසුස් වහන්සේ ම සදාතන ගැළවීම පිළිබඳ සුවිශුද්ධ, අජරාමර පණිවුඩය ඔවුන් ලවා පෙරදිග සිට අපරදිග දක්වා යවා වදාළ සේක. ආමෙන්‍.