කියවීම්
2027 මැයි 11
Easter Weekday
දවසේ දේව මෙහෙය
First Reading
ක්‍රියා 20: 17-27
17ඔහු මිලේතසෙන් එපීසයට පණිවුඩ යවා, සභාවේ මූලිකයන් කැඳෙව්වේ ය.
18ඔවුන් තමා වෙතට ආ කල ඔහු මෙසේ පැවසී ය, ”මා ආසියාවට පැමිණි පළමු වැනි දා පටන් මුළු කාලය ඔබ සමඟ ගත කළ සැටි ඔබ දන්නහු ය.
19මම සියලු ආකාර යටහත්පහත්කමින් ද ශෝකයෙන් ද ජුදෙව්වරුන්ගේ උපායයන් නිසා පැමිණි දුෂ්කරතාවලින් ද යුක්ත ව සමිඳාණන් වහන්සේට සේවය කෙළෙමි.
20ඔබට වැඩදායක වූ කිසිවක් කීමෙන් නොවැළකී, ප්‍රසිද්ධියේ ද ගෙයින් ගෙට යමින් ද ඔබට උගන්වමින්,
21පසුතැවී සිත් හරවා ගැනීමෙන් දෙවියන් වහන්සේ වෙත හැරෙන ලෙසත්, අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන ලෙසත් ජුදෙව්වරුන්ට හා අන්‍ය ජාතිකයන්ට ද තදින් අනුශාසනා කෙළෙමි.
22දැන් ඉතින් ආත්මයාණන් විසින් බලපානා ලදුව, මම ජෙරුසලමට යමි; එහි දී මට කුමකින් කුමක් වේ දැ යි නොදනිමි.
23එහෙත් සිරගත වීම් හා පීඩා ද මට පැමිණේ යයි, ශුද්ධාත්මයාණන් වහන්සේ සියලු නගරවල දී දැනුම් දුන් බව හැර අන් කිසිවක් නොදනිමි.
24එහෙත් මාගේ ජීවිතය වැදගත් ය, නොහොත් මට ම අගේ ය කියා මම කිසිසේත් නොසලකමි. එහෙත් මාගේ පරමාර්ථය වූකලී දෙවියන් වහන්සේගේ කරුණාවේ සුබ අස්නට සාක්ෂි දීමෙන් ස්වාමීන් වන ජේසුස් වහන්සේගෙන් මට පැවරුණ දූත මෙහෙය සපුරා ලීම ය.
25මේ වන තෙක් මම දෙවියන් වහන්සේගේ රාජ්‍යය ගැන දේශනා කරමින් ඔබ අතර ගැවසුණෙමි. දැන් ඉතින් මින්පසු ඔබගෙන් කිසිවෙකු මගේ මුහුණ තවත් නොදකින බව දනිමි.
26එහෙයින් ඔබ අතරෙන් කිසිවෙකු විනාශයට පත් වුවහොත්, ඒ ගැන මා වගකිවයුත්තකු නොවන බව තරයේ ප්‍රකාශ කරමි.
27මන්ද, දෙවියන් වහන්සේගේ මුළු අභිප්‍රාය නොවළහා ඔබට ප්‍රකාශ කෙළෙමි.
Responsorial Psalm
ගීතාවලිය 68: 10-11, 20-21
10ඔබේ සෙනඟ එහි පදිංචි වූ හ; අහෝ දෙවිඳුනි! එහි දිළිඳුන් හට උවමනා දේ ඔබ සපයා දුන් සේක.
11සමිඳාණෝ අණ දුන් සේක. බොහෝ දූතයෝ ආරංචිය පතුරුවා හළහ.
20අපේ දෙවිඳාණෝ, අප ගැළවුම්කාර දෙවිඳාණෝ වන සේක; අප මරණින් මුදන දෙවි සමිඳාණෝ වන සේක.
21දෙවිඳාණෝ සතුරන්ගේ හිස් පොඩි කරදමන සේක; පවිටු මඟෙහි ඇලී ගැලී සිටින අයගේ හිස් ගසාදමන සේක.
Alleluia
ශුද්ධ වූ ජොහන් 14: 16
16එවිට මම පියාණන් වහන්සේගෙන් අයැදින්නෙමි; උන් වහන්සේ ද ඔබ සමඟ සදහට ම සිටින පිණිස වෙනත් සහායදායකයෙකු දෙන සේක.
Gospel
ශුද්ධ වූ ජොහන් 17: 1-11a
1ජේසුස් වහන්සේ මේ දේවල් වදාරා, ස්වර්ගය දෙසට ඇස් ඔසවා මෙසේ යාච්ඤා කළ සේක: ”පියාණෙනි, දැන් නියමිත මොහොත පැමිණ තිබේ. පුත්‍රයාණන් විසින් ඔබ මහිමයට පමුණුවනු ලබන පිණිස, ඔබ ද පුත්‍රයාණන් මහිමයට පැමිණෙව්ව මැනව.
2මන්ද, ඔබ විසින් පුත්‍රයාණන්ට දෙන ලද සියල්ලන් හට සදාතන ජීවනය දෙන පිණිස, සකල මනුෂ්‍ය වර්ගයා කෙරෙහි ආධිපත්‍යය ඔබ වහන්සේ පුත්‍රයාණන්ට දුන් සේක.
3සදාතන ජීවනය මේ ය: එක ම සැබෑ දෙවියන් වන ඔබ ද, ඔබ විසින් එවන ලද තැනැන් වහන්සේ වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ද, දැනගැනීම ය.
4ඔබ වහන්සේ මට භාර දුන් මෙහෙය සම්පූර්ණ කරමින් මම මිහි පිට ඔබ මහිමයට පැමිණිවීමි.
5ඉතින් පියාණෙනි, ලොව ඇති වන්නට පෙර ඔබ හා සමඟ මට තිබුණු තේජශ්‍රීයෙන්, දැන් ඔබ ඉදිරියෙහි මා තේජශ්‍රීයට පැමිණෙව්ව මැනව.
6ඔබ වහන්සේ ලෝකයෙන් වෙන් කොට මට දුන් මිනිසුන් හට ඔබගේ නාමය මම ප්‍රකාශ කෙළෙමි. ඔව්හු ඔබට අයිති වූ හ. ඔබ ඔවුන් මට දුන් සේක. ඔව්හු ඔබගේ දහම පිළිපැද්දාහ.
7ඔබ මට දුන් සියල්ල ම ඔබගෙන් පැමිණි බව දැන් ඔව්හු දනිති.
8මන්ද, ඔබ මට පැවසූ වචන මම ඔවුන්ට පැවසීමි. ඔව්හු එය පිළිගෙන මා ඔබ වෙතින් පැමිණි බව සැබැවින් ම දැන, ඔබ මා එවා වදාළ බව විශ්වාස කරති.
9මම ඔවුන් උදෙසා යාච්ඤා කරමි. ඔබ මට දුන් ඔවුන් උදෙසා මිස, ලෝකයා උදෙසා යාච්ඤා නොකරමි. මන්ද, ඔව්හු ඔබගේ ය.
10මා සන්තක සියල්ල ඔබගේ ය; ඔබ සන්තක සියල්ල මාගේ ය. ඔවුන් තුළින් මම තේජශ්‍රීයට පැමිණ සිටිමි.
11මම තවත් ලෝකයෙහි නොසිටිමි. එහෙත් ඔව්හු ලෝකයෙහි සිටිති. මම ඔබ වෙතට එන්නෙමි. සුවිශුද්ධ පියාණෙනි, අප මෙන් ඔවුන් ද, ඒකත්වයක් වන පිණිස, ඔබ මට දුන් ඔබගේ නාමයේ අනුහසින් ඔවුන් ආරක්ෂා කළ මැනව.