කියවීම්
2027 මැයි 14
Matthias, Apostle Feast
දවසේ දේව මෙහෙය
First Reading
ක්‍රියා 1: 15-17, 20-26
15මෙසේ, එක සිය විසි දෙනෙකු පමණ පිරිසක් රැස් ව සිටි විට, පේදුරු තුමා සහෝදරයන් මැද නැඟිට ඔවුන්ට මෙසේ කී ය:
16සහෝදරවරුනි, ජේසුස් වහන්සේ අල්ලාගත් අයට මඟ පෙන්වා දුන් ජූදස් ගැන ශුද්ධාත්මයාණන් වහන්සේ දාවිත්ගේ මුඛයෙන් ප්‍රකාශ කළ ශුද්ධ ලියවිල්ල සම්පූර්ණ විය යුතු ව තිබිණි.
17මන්ද, ඔහු අප සමඟ ගණන්ගනු ලැබ, මේ සේවයෙහි තමාට හිමි කොටස ලැබී ය.
20මන්ද යත්: ‘ඔහුගේ වාසස්ථානය පාළු වේ වා! කිසිවෙක් එහි වාසය නොකෙරෙත් වා!’ කියා ද, ‘ඔහුගේ තනතුර වෙන කෙනෙක් ගනිත් වා!’ කියා ද ගීතාවලියේ ලියා තිබේ.
21එබැවින් ජේසුස් වහන්සේගේ පුනරුජ්ජීවනය පිළිබඳ ව අප සමඟ සාක්ෂි දරන පිණිස යම් කිසිවෙකු අපට එක් විය යුතු ව තිබේ. ජොහන් බව්තීස්ම-ස්නාපනය පටන්ගත් දා සිට,
22ජේසුස් සමිඳාණන් වහන්සේ අප කෙරෙන් ඔසවාගනු ලැබූ දින දක්වා, උන් වහන්සේ අප අතර ආ ගිය මුළු කාලය තුළ, ඔහු නිතර ම අප සමඟ සිටි අයගෙන් එක් කෙනෙකු විය යුතු ය.”
23එබැවින් ඔව්හු දෙදෙනෙකු ඉදිරිපත් කළහ. ඒ යුස්තස් යන තවත් නමක් දැරූ බාර්සබස් නමින් හඳුන්වනු ලැබූ ජෝසෙප් සහ මතියස් යන දෙදෙනා ය.
24ඉන්පසු ඔව්හු යාච්ඤා කරමින්,
25”සියලු මිනිසුන්ගේ සිත් දන්නා වූ ස්වාමීනි, තමාට නියම ස්ථානයට යන පිණිස ජූදස් විසින් අත්හරින ලද මේ සේවයේත් ප්‍රේරිතකමේත් පුරප්පාඩුව පිරවීමට මොවුන් දෙදෙනාගෙන් ඔබ වහන්සේ තෝරාගත් තැනැත්තා කවරෙක් දැ යි පෙන්නුව මැනවැ”යි කී හ.
26එකල ඔව්හු ඔවුන් පිළිබඳ ව දාදු දැමූ හ; දාදුව මතියස්ට වැටිණි. එහෙයින් ඔහු ද ප්‍රේරිතවරුන් එකොළොස් දෙනා සමඟ ගණන්ගන්නා ලදී.
Responsorial Psalm
ගීතාවලිය 113: 1-2, 3-4, 5-6, 7-8
1සමිඳුන්ට ප්‍රශංසා කරන්න, සමිඳුන්ගේ මෙහෙකරුවෙනි, ප්‍රශංසා කරන්න, සමිඳුන්ගේ නාමයට ප්‍රශංසා කරන්න.
2මෙතැන් පටන් සදහට සමිඳුන්ගේ නාමයට ප්‍රශංසා වේ වා!
3සමිඳුන්ගේ නාමයට නැගෙනහිර පටන් බස්නාහිර දක්වා ප්‍රශංසා කටයුතු ය.
4සියලු ජාතීන්ට ඉහළින් සමිඳාණෝ වැජඹෙන සේක. එතුමන්ගේ මහිමාලංකාරය අහස් තලය ඉක්මවා යයි.
5අපේ දෙවි සමිඳුන්ට සමාන අන් කෙනෙක් නැත; එතුමාණෝ උසස් තැන්හි වැඩ හිඳින සේක.
6එහෙත්, අහසත්, පොළොවත් බලන පිණිස එතුමාණෝ පහතට නැමෙන සේක.
7එතුමාණෝ දුප්පතා ධූලියෙන් නැඟුටුවන සේක; දිළිඳා කසළ ගොඩින් ඔසවන සේක.
8එසේ කරන්නේ, ඔවුන් අධිපතීන් සමඟ, තම සෙනඟගේ අධිපතීන් සමඟ හිඳුවන පිණිස ය.
Alleluia
ශුද්ධ වූ ජොහන් 15: 16
16ඔබ මා තෝරාගත්තේ නැත. මම ඔබ තෝරාගෙන පත් කෙළෙමි. එසේ කෙළේ ඔබ ගොස් බොහෝ පල දරන පිණිසත්, ඔබේ පල පවතින පිණිසත්, මාගේ නාමයෙන් ඔබ පියාණන් වහන්සේගෙන් ඉල්ලන කවර දෙයක් වුව ද උන් වහන්සේ ඔබට දෙන පිණිසත් ය.
Gospel
ශුද්ධ වූ ජොහන් 15: 9-17
9පියාණන් වහන්සේ මට ප්‍රේම කළාක් මෙන් ම මම ද ඔබට ප්‍රේම කෙළෙමි. මාගේ ප්‍රේමයෙහි පවතින්න.
10මා, මාගේ පියාණන් වහන්සේගේ ආඥා පිළිපැද උන් වහන්සේගේ ප්‍රේමයෙහි පවතින සේ ම, ඔබත් මාගේ ආඥා පිළිපදින්නහු නම්, මාගේ ප්‍රේමයෙහි පවතින්නහු ය.
11මේ දේවල් මා ඔබට ප්‍රකාශ කෙළේ, මාගේ ප්‍රීතිය ඔබ තුළ ඇති වන පිණිසත්, ඔබේ ප්‍රීතිය පරිපූර්ණ වන පිණිසත් ය.
12මාගේ ආඥාව නම්: ‘මා ඔබට ප්‍රේම කළාක් මෙන් ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න’ යනුයි.
13යමෙකු තමාගේ මිතුරන් උදෙසා දිවි පිදීමට වඩා උතුම් ප්‍රේමයක් කිසිවෙකුට නැත.
14මා ඔබට අණ කරන දේ ඔබ කරන්නහු නම්, ඔබ මාගේ මිතුරෝ ය.
15මෙතැන් පටන් මම ඔබට දාසයෝ යයි නොකියමි; මන්ද, දාසයෙක් තමාගේ ස්වාමියා කරන්නේ කුමක් දැ යි නොදනියි. එහෙත්, මාගේ පියාණන් වහන්සේගෙන් මා ඇසූ සියල්ල ම ඔබට දන්වා වදාළ බැවින්, මම ඔබට මිත්‍රයෝ යයි කීවෙමි.
16ඔබ මා තෝරාගත්තේ නැත. මම ඔබ තෝරාගෙන පත් කෙළෙමි. එසේ කෙළේ ඔබ ගොස් බොහෝ පල දරන පිණිසත්, ඔබේ පල පවතින පිණිසත්, මාගේ නාමයෙන් ඔබ පියාණන් වහන්සේගෙන් ඉල්ලන කවර දෙයක් වුව ද උන් වහන්සේ ඔබට දෙන පිණිසත් ය.
17මා ඔබට අණ කරන දේ මේ ය: එකිනෙකාට ප්‍රේම කරන්න.”