මැයි 2027

බ්‍ර සි සෙ
1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
අද දිනට

කියවීම්

2027 මැයි 12

Easter Weekday/ Nereus and Achilleus, Martyrs/ Pancras, Martyr

Pancras, Martyr
First Reading

ක්‍රියා 20: 28-38

28ඔබ තමන් ම ද, ශුද්ධාත්මයාණන් වහන්සේ විසින් ගබඩාකාරයෙක් ලෙස පත් කරනු ලැබ ඔබට භාර දී ඇති රැළ ද රැකබලාගන්න. දෙවියන් වහන්සේ සිය පුත්‍රයාණන්ගේ යාගික රුධිරය හේතුවෙන් දිනා ගත් උන් වහන්සේගේ සභාවේ නායකයන් වන්න. 29මා ගියායින් පසු, රැළට අනුකම්පා නොකරන, රෞද්‍ර වෘකයන් ඔබ අතරට පැමිණෙන බව දනිමි. 30ඔබ අතරෙන් සමහරුන් ඉදිරිපත් ව, තමන් අනුව යන්නට ශ්‍රාවකයන් ඇදගන්නා පිණිස දුර්මත පළ කරනු ඇත. 31එබැවින් මා අවුරුදු තුනක් තිස්සේ දිවා රෑ දෙකේ කඳුළු හෙළමින් සියලු දෙනාට නිතර ම අවවාද කළ බව සිහි කර අවදිව සිටින්න. 32දැන් මම දෙවියන් වහන්සේටත් උන් වහන්සේගේ වරප්‍රසාදදායක පණිවුඩයටත් ඔබ භාර කරමි. ඔබ වැඩි වර්ධනය කිරීමටත්, කැප වූ සියලු අය සමඟ ඔබට උරුමය සාදා දීමටත් ඒ පණිවුඩයට හැකි ය. 33මම කාගේ වත් රන් රිදීයට හෝ ඇඳුම් පැළඳුම්වලට හෝ ආශාවක් නොදැක්වීමි. 34මාගේත් මා සමඟ සිටි අයගේත් අවශ්‍යතා පිරිමසාගැනීමට මේ දෑතින් මා වැඩ කළ හැටි ඔබ ම දන්නහු ය. 35‘ලැබීමට වඩා දීම භාග්‍යවන්ත යැ’යි ස්වාමීන් වන ජේසුස් වහන්සේ ම වදාළ වචන සිහි කර, දුබලයන්ට උපකාර කළ යුතු බව මෙසේ වැඩ කිරීමෙන් මම ඔබට පෙන්වා දුනිමි.” 36ඔහු මෙසේ කියා ඔවුන් සියල්ලන් සමඟ දණින් වැටී යාච්ඤා කෙළේ ය. 37ඔවුන් සියලු දෙනා හඬමින් පාවුලුගේ ගෙල වැළඳ ගෙන සාදරයෙන් සිඹ ගත්තෝ ය. 38අනෙක් හැම දේට ම වඩා, තමාගේ මුහුණ යළිත් ඔවුන් නොදකිති යි ඔහු කී වචන ගැන, ඔව්හු ශෝක වූ හ. ඉන්පසු ඔව්හු ඔහු සමඟ නැව කරා ගියහ.
Responsorial Psalm

ගීතාවලිය 68: 29-30, 33-35a, 35bc-36ab

29ජෙරුසලමෙහි ඇති ඔබේ මන්දිරය නමින් රජවරු පඬුරු ගෙනවුත් ඔබට පුදන්නෝ ය. 30රජවරුන් යටහත් වී රිදී පඬුරු ගෙනෙන තෙක්, බට ගස් අතර සිටින වන සතා වන මිසරයට ද ඔහුගේ පැටවුන් සහිත වන ගව රැළ වන විජාතීන්ට ද තරවටු කළ මැනව. සටනට ලැදි වන සියලු සෙනඟ විසුරුවා හැරිය මැනව. 33ආදි කාලීන අහස් තලයෙනි, අහස් කුස සැරිසරන හිමි තුමන්ට ගායනා කරන්න; එතුමන්ගේ හඬ වන ගිගුරුම් හඬට සවන් දෙන්න. 34දෙවිඳුන්ගේ බලය ප්‍රකාශ කරන්න. එතුමන්ගේ මහිමය ඉශ්රායෙල් කෙරෙහි ය; එතුමන්ගේ බලය අහස් කුස ඇත්තේ ය. 35සිය ශුද්ධස්ථානයෙහි වසන දෙවිඳාණෝ බියජනක ය; එතුමාණෝ ඉශ්රායෙල්වරුන්ගේ දෙවිඳාණෝ ය. එතුමාණෝ සෙනඟට බලය ද ශක්තිය ද දෙන සේක. දෙවිඳුන්ට පැසසුම් වේ වා!
Alleluia

ශුද්ධ වූ ජොහන් 17: 17b, 17a

17සත්‍යයෙහි ඔවුන් කැප කළ මැනව; සත්‍යය නම් ඔබගේ ධර්මය ය.
Gospel

ශුද්ධ වූ ජොහන් 17: 11b-19

11මම තවත් ලෝකයෙහි නොසිටිමි. එහෙත් ඔව්හු ලෝකයෙහි සිටිති. මම ඔබ වෙතට එන්නෙමි. සුවිශුද්ධ පියාණෙනි, අප මෙන් ඔවුන් ද, ඒකත්වයක් වන පිණිස, ඔබ මට දුන් ඔබගේ නාමයේ අනුහසින් ඔවුන් ආරක්ෂා කළ මැනව. 12මම ඔවුන් සමඟ සිටිය දී ඔබ මට දුන් ඔබගේ නාමයේ අනුහසින් මම ඔවුන් ආරක්ෂා කෙළෙමි. මම ඔවුන් රැකබලාගතිමි. ශුද්ධ ලියවිල්ල සම්පූර්ණ වන පිණිස, විනාශයේ පුත්‍රයා හැර අන් කිසිවෙක් විනාශ නොවූ හ. 13එහෙත් දැන් මම ඔබ වෙතට එමි. මා ලෝකයෙහි දී මේ දේවල් ප්‍රකාශ කරන්නේ, මාගේ ප්‍රීතිය ඔවුන් තුළ සම්පූර්ණයෙන් ම ඇති වන පිණිස ය. 14මම ඔවුන්ට ඔබගේ දහම දුනිමි. මා ලෝකයට අයිති නොවන සේ ම, ඔවුන් ද ලෝකයට අයිති නොවන බැවින්, ලෝකයා ඔවුන්ට ද්වේෂ කළහ. 15ඔබ ලෝකයෙන් ඔවුන් වෙන් කරන මෙන් මම යාච්ඤා නොකරමි; නපුරාගෙන් ඔවුන් ආරක්ෂා කරන මෙන් යාච්ඤා කරමි. 16මා ලෝකයෙන් නොවන්නාක් මෙන් ම ඔව්හු ද ලෝකයෙන් නොවෙති. 17සත්‍යයෙහි ඔවුන් කැප කළ මැනව; සත්‍යය නම් ඔබගේ ධර්මය ය. 18ඔබ මා ලෝකයට එවා වදාළාක් මෙන්, මම ද ඔවුන් ලෝකයට යැවීමි. 19ඔවුන් සත්‍යයට කැප වන පිණිස, මම ඔවුන් උදෙසා කැප වෙමි.