මැයි 2027

බ්‍ර සි සෙ
1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
අද දිනට

කියවීම්

2027 මැයි 30

The Body and Blood of Christ Solemnity

දවසේ දේව මෙහෙය
First Reading

නික්මයාම 24: 3-8

3මෝසෙස් ද ඇවිත් සමිඳාණන් වහන්සේගේ සියලු ආඥා හා නියෝග සෙනඟට දැන්වී ය. සියලු සෙනඟ ද එක හඬින් උත්තර දෙමින්, ”සමිඳාණන් වහන්සේගේ ආඥා සියල්ල ම අපි ඉටු කරන්නෙමු”යි කී හ. 4ඉන්පසු ඔහු උන් වහන්සේගේ ආඥා සියල්ල ම ලියා තැබී ය. පසු දින අලුයම ඔහු නැඟිට, කන්ද පාමුල පූජාසනයක් ද ඉශ්රායෙල් ගෝත්‍ර දොළොස අනුව ශිලාස්තම්භ දොළහක් ද ඉදි කෙළේ ය. 5පසුව ඔහු ඉශ්රායෙල් ජනයා අතරෙන් තරුණයන් යැවී ය. ඔව්හු දවන යාග පූජා හා ගවයන් මරා, සහභාගිකමේ පූජා ද සමිඳාණන් වහන්සේට ඔප්පු කළහ. 6මෝසෙස් සතුන්ගේ ලෙයින් දෙකෙන් කොටසක් ගෙන එය බඳුන්වල දැමී ය, ලෙයින් අඩක් පූජාසනය මත ඉස්සේ ය. 7පසුව ඔහු ගිවිසුම් පොත රැගෙන සෙනඟට ඇසෙන ලෙස එය කියවී ය. ඔව්හු ද පිළිතුරු දෙමින්, ”සමිඳාණන් වහන්සේ වදාළ සියල්ල අපි ඉටු කරන්නෙමු”යි කී හ. 8එවිට මෝසෙස් ලේ රැගෙන, සෙනඟ මත ඉසිමින්, ”මෙය වනාහි සමිඳාණන් වහන්සේ මෙකී සියලු ආඥා ඔබට දෙමින්, ඔබ සමඟ කළ ගිවිසුම ස්ථිර කරන ලේ ය”යි පැවසී ය.
Responsorial Psalm

ගීතාවලිය 116: 12-13, 15-16, 17-18

12සමිඳුන් මා හට කළ සියලු යහපත්කම් ගැන එතුමන්ට මම කුමක් පුදම් ද? 13මම ගැළවීමේ කුසලාන ගන්නෙමි; සමිඳුන්ගේ නාමයෙන් යාච්ඤා කරන්නෙමි. 15සැදැහැවතුන්ගේ මරණය සමිඳුන් අබියස අගනේ ය. 16සමිඳුනි, මම ඔබේ මෙහෙකරුවෙක් වෙමි; සැබැවින් ම ඔබේ මෙහෙකරුවෙක් වෙමි; ඔබේ දාසිගේ පුත්‍රයා වෙමි. ඔබ මාගේ බැඳුම් මිදූ සේක. 17මම ඔබට ස්තුති පූජාව පුදන්නෙමි; සමිඳුන්ගේ නාමය අමතා අයැදින්නෙමි. 18එසේ ය, සමිඳුන්ගේ මුළු සෙනඟ ඉදිරියෙහි මාගේ බාරහාර ඉටු කරන්නෙමි,
Second Reading

හෙබ්‍රෙව් 9: 11-15

11එහෙත් ක්‍රිස්තුන් වහන්සේ දැනට ම ඇති යහපත් දේ පිළිබඳ උත්තම පූජකයාණන් වශයෙන් පැමිණි විට, උන් වහන්සේ වඩා උතුම් හා වඩා සම්පූර්ණ, මිනිස් අතින් නොසෑදූ, එනම්, මේ භෞතික මැවිල්ලට අයිති නොවන මණ්ඩපය මැදින් වැඩිය සේක. 12උන් වහන්සේ එළුවන්ගේත්, වස්සන්ගේත් ලෙයින් නොව, තමන්ගේ ම ලෙයින් අප උදෙසා සදාතන විමුක්තිය ලබා සදහට ම එක වරක් ශුද්ධස්ථානයට ඇතුළු වූ සේක. 13මන්ද, වත්පිළිවෙත් අනුව අපවිත්‍ර යයි සලකන අය මත එළුවන්ගේත්, ගොනුන්ගේත් ලේ ද, එළ වැස්සියකගේ අළු ද ඉසීමෙන්, ඔව්හු පාරිශුද්ධිය ලබන්නාහු ය. 14එසේ නම්, ජීවමාන දෙවියන් වහන්සේට සේවය කරන පිණිස ඔබගේ හෘදය සාක්ෂිය නිෂ්ඵල ක්‍රියාවලින් පිරිසිදු කරනු ලැබීම, සදාතන ආත්මයාණන් මඟින් තමන් ම කැළලක් නැති ව දෙවියන් වහන්සේට පූජා වූ, ක්‍රිස්තුන් වහන්සේගේ ලේ කරණකොටගෙන, ඊටත් ඉතා වැඩියෙන් පිරිසිදු නොවන්නේ ද? 15මේ කාරණය නිසා, කැඳවනු ලැබූවන්ට සදාතන උරුමයේ පොරොන්දුව ලැබෙන පිණිස උන් වහන්සේ අලුත් ගිවිසුමක මැදහත් කාරයාණෝ වන සේක. එසේ වන්නේ පළමු වන ගිවිසුමේ කාලයේ දී කළ පාප ක්‍රියාවලින් මුදනු ලැබීම පිණිස මරණයක් සිදු වූ බැවිනි.
Alleluia

ශුද්ධ වූ ජොහන් 6: 51

51ස්වර්ගයෙන් පහළ වන ජීවනදායක ආහාරය මම ය. යමෙක් මේ ආහාරයෙන් වැළඳුවොත්, ඔහු සදහට ම ජීවත් වන්නේ ය. මා විසින් දෙනු ලබන ඒ ආහාරය මාගේ මාංසය වේ. මා එය දෙන්නේ ලෝකයාගේ ජීවනය පිණිස ය”යි වදාළ සේක.
Gospel

ශුද්ධ වූ මාර්ක් 14: 12-16, 22-26

12පාස්කු බැටළු පෝතකයා පූජා කරනු ලබන, නුමුහුන් රොටි මංගල්‍යයේ පළමු වන දින උන් වහන්සේගේ ශ්‍රාවකයෝ, ”පාස්කු භෝජනය වළඳන පිණිස අප ගොස් කොතැන පිළියෙළ කරනවාට ඔබ කැමැති සේක් දැ”යි උන් වහන්සේගෙන් ඇසූ හ. 13එවිට උන් වහන්සේ තම ශ්‍රාවකයන් දෙදෙනෙකු යවමින්, ”නුවරට යන්න; ගිය විට, වතුර කළයක් ගෙන යන මිනිසෙක් ඔබට හමු වන්නේ ය; ඔහු පස්සේ යන්න. 14ඔහු යම් ගෙදරකට ඇතුළු වන්නේ ද ඒ ගෙහිමියාට කතා කොට, ‘මාගේ ශ්‍රාවකයන් සමඟ පාස්කු භෝජනය වළඳන පිණිස මට වෙන් කළ කාමරය කොයි ද කියා සමිඳාණන් වහන්සේ අසන සේකැ’යි කියන්න. 15එවිට සකස් කොට සූදානම් ව ඇති ලොකු උඩුමහල් කාමරයක් ඔහු ඔබට පෙන්වනු ඇත. එහි අපට පාස්කු භෝජනය පිළියෙළ කරන්නැ”යි ඔවුන්ට වදාළ සේක. 16ශ්‍රාවකයෝ පිටත් ව නුවරට ගියහ. උන් වහන්සේ ඔවුන්ට කී ලෙස සියල්ල ම සම්බ විය; ඔව්හු ද පාස්කු භෝජනය පිළියෙළ කළහ. 22ඔවුන් ආහාර වළඳමින් සිටිය දී උන් වහන්සේ රොටි ගෙන, ආශීර්වාදය පවසා, ඒවා කඩා ඔවුන්ට දී, ”ගන්න, මේ මාගේ ශරීරය ය”යි වදාළ සේක. 23උන් වහන්සේ කුසලානක් ද ගෙන, තුති පුදා, ඔවුන්ට දුන් සේක. සියල්ලෝම එයින් පානය කළහ. 24තවද උන් වහන්සේ ඔවුන්ට කතා කොට, ”මෙය බොහෝ දෙනා වෙනුවෙන් වගුරුවනු ලබන මාගේ ගිවිසුම්-රුධිරය වේ. 25සැබැවින් ම මම ඔබට කියමි, දෙවියන් වහන්සේගේ රාජ්‍යයෙහි දී මම නැවත මිදියුස පානය කරන දිනය එන තෙක්, මම මේ මිදියුස යළිත් පානය නොකරන්නෙමි”යි වදාළ සේක. 26ඔව්හු ගීතයක් ගයා ඔලීව කන්දට නික්ම ගියහ.