කියවීම්
2027 නොවැම්බර් 14
Thirty-Third Sunday in Ordinary Time
දවසේ දේව මෙහෙය
First Reading
දානියෙල් 12: 1-3
1ඒ මිනිසා තවදුරටත් මෙසේ කීවේ ය: ඒ කාලයේ දී, නුඹේ සෙනඟ භාර ව සිටින උතුම් අධිපතියා වන මිකායෙල් නැඟී සිටින්නේ ය. ඒ කාලය වනාහි, මනුෂ්‍ය ජාතිය ඇති වූ කාලය පටන් මේ දක්වා කිසි කලක නුවූ විරූ විපත්ති කාලයක් වන්නේ ය. එහෙත්, නුඹේ සෙනඟගෙන් පොතේ නම් ලියා ඇති සියල්ලන් ගැළවෙන්නේ ඒ කාලයේ දී ය.
2පොළොවේ ධූලියට සැතපෙන්නන්ගෙන් බොහෝ දෙනෙක්, සමහරෙක් සදාකාල ජීවනයටත්, සමහරෙක් නින්දාව හා සදාකාල පිළිකුලටත් පිබිද එන්නෝ ය.
3නුවණැති ජාතියේ නායකයෝ ආකාශයේ දීප්තිය මෙන් ද සෙනඟ හරි මඟ ගෙන ගිය අය තාරකාවන් මෙන් ද සදාකාලයට ම බැබළෙන්නෝ ය.
Responsorial Psalm
ගීතාවලිය 16: 5, 8, 9-10, 11
5සමිඳුනි, මාගේ උරුමය හා ඉරණම ඔබ වහන්සේ ය. ඔබ, ඔබ පමණක් ම මා උරුම කොටස රක්නා සේක.
8හිමි තුමන් නිරතුරු මා අබියස තබාගන්නෙමි. මා දකුණු පස එතුමාණන් වැඩ වසන බැවින් මම නොසැලෙන්නෙමි.
9එබැවින් මසිත උදන් අනයි; මහද ප්‍රීතියෙන් පිනා යන්නේ ය; මා ගත සුරැකි ව ඇත්තේ ය.
10මන්ද, ඔබ මා පාතාලයෙහි නොරඳවන සේක; ඔබේ දැහැමි තැනැත්තාට ජරාපත් වීමට ඉඩ නොදෙන සේක.
11ඔබ මට ජීවන මඟ හෙළි කරන සේක. ඔබ අබිමුවෙහි පිරිපුන් සතුට මට වන්නේ ය. ඔබ දකුණු පස සැප සම්පත් සදහට ම ඇත්තේ ය.
Second Reading
හෙබ්‍රෙව් 10: 11-14, 18
11තවද හැම පූජකයෙක් ම සිටගෙන, දවස්පතා තේවා ඉටු කරමින්, කිසිකලෙකත් පව් නසාලීමට නොහැකි වූ එම පූජාවන් බොහෝ වර ඔප්පු කරයි.
12එහෙත් උන් වහන්සේ පව් උදෙසා සදහට ම එක ම පූජාවක් ඔප්පු කොට, දෙවියන් වහන්සේගේ දකුණු පස අසුන් ගත් සේක.
13එහි උන් වහන්සේ සිය සතුරන් තම පාපුටුව කරනු ලබන තුරු බලා සිටින සේක.
14මන්ද, උන් වහන්සේ පවිත්‍ර කරනු ලබන්නන් එක ම පූජාවකින් සදාතනික පරිපූර්ණත්වයට ගෙනා සේක.
18කමාව ඇති තැන පාප පූජා ඔප්පු කිරීමක් තවත් නැත.
Alleluia
ශුද්ධ වූ ලූක් 21: 36
36එබැවින් ඒ සිදුවන ආපදා සියල්ලෙන් ජයාන්විත ව ගැළවෙන පිණිස ද මනුෂ්‍ය-පුත්‍රයාණන් ඉදිරියෙහි පෙනී සිටින පිණිස ද අයැදිමින්, හැම වේලේ ම අවදි ව සිටින්න.”
Gospel
ශුද්ධ වූ මාර්ක් 13: 24-32
24තවද, ඒ දවස්වල දී දුක් ගාවිනාවලින් පසු ව, හිරු මඬල අඳුරු වන්නේ ය; සඳ මඬල එළිය නොදෙන්නේ ය.
25අහසින් තාරකාවෝ පතිත වන්නාහ; අහසේ බලපරාක්‍රමයෝ චංචල වන්නාහ.
26එකල මනුෂ්‍ය-පුත්‍රයාණන් මහා බලපරාක්‍රමයෙන් හා තේජශ්‍රියෙන් විරාජමාන ව, වලාකුළු මත වඩිනු ඔව්හු දකිති.
27එවිට උන් වහන්සේ තම දූතයන් යවා පොළොවේ සීමාන්තයේ පටන් අහසේ සීමාන්තය දක්වා සිවු දිගින් තමන් වහන්සේ තෝරාගත් අය රැස් කරනු ඇත.”
28අත්තික්කා ගසෙන් පාඩමක් ඉගෙනගන්න. එහි ළපටි අතු මතු වී, කොළ ලියලන කල ගිම්හානය ළඟ බව ඔබ දන්නහු ය.
29එලෙස ම මේ දෙය සිදු වනු ඔබ දකිත් ම, උන් වහන්සේ දොරකඩ ළඟ ම ය යි දැනගන්න.
30සැබැවින් ම මම ඔබට කියමි, ඒ සියල්ල සිදු වන තෙක් මේ පරම්පරාව පහ ව නොයන්නේ ය.
31අහසත් පොළොවත් පහ ව යන්නේ ය, එහෙත් මාගේ වචනය කිසි දා පහ ව නොයන්නේ ම ය.”
32ඒ දිනය පිළිබඳ ව හෝ ඒ පැය පිළිබඳ ව හෝ කිසිවෙක් නොදනිති; ස්වර්ගයෙහි දූතයෝ වත්, පුත්‍රයාණෝ වත් නොදනිති; එය දන්නේ පියාණන් වහන්සේ පමණක් ය.