කියවීම්
2027 නොවැම්බර් 21
Christ the King Solemnity (Thirty-Fourth and last Sunday in Ordinary Time)
දවසේ දේව මෙහෙය
First Reading
දානියෙල් 7: 13-14
13තවදුරටත් බලා සිටිය දී මම රාත්‍රි දර්ශනවල දී මෙසේ දිටිමි. මනුෂ්‍ය-පුත්‍රයා වැනි කෙනෙක් අහසේ වලාකුළු පිරිවරා අවුත් පෞරාණිකයාණන් වෙත එළඹුණේ ය. උන් වහන්සේ පෞරාණිකයාණන් වෙත පමුණුවනු ලැබූ සේක.
14සියලු ජනයන් ද ජාතීන් ද භාෂාවන් ද උන් වහන්සේට සේවය කරන පිණිස පාලන බලය ද ගෞරවය ද රාජ්‍යය ද උන් වහන්සේට දෙන ලද්දේ ය. උන් වහන්සේගේ පාලනය පහ නොවන සදාකාලික පාලනයක් ය. උන් වහන්සේගේ රාජ්‍යය කිසි කලෙක නැති නොවන්නේ ය.”
Responsorial Psalm
ගීතාවලිය 93: 1abc, 1d-2, 5
1සමිඳාණෝ රජකම් කරන සේක; ජයශ්‍රීය නමැති ඉඟ පටිය බැඳ මහිමාලංකාරයෙන් සැරසී සිටින සේක. සදහට ම නොසැලෙන සක්වළ පිහිටෙවු සේක.
2ඔබේ සිහසුන ආදියේ පටන් තිරසර ව පිහිටා ඇත්තේ ය. ඔබ අනාදියේ පටන් වැඩ සිටින සේක.
5සමිඳුනි, ඔබේ අණපණත් සදාතනික ය. ඔබේ දේව මාලිගාව සැබැවින් ම සදහට ම සුවිශුද්ධ ය.
Second Reading
එළිදරව් 1: 5-8
5මළවුන්ගෙන් උත්ථාන වූ කුලුඳුලාත්, මිහි පිට රජුන්ගේ අධිපතියාත් වන, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගෙන් ද, ඔබට කරුණාව හා ශාන්තිය වේ වා! උන් වහන්සේ අපට ප්‍රේම කරන සේක; සිය යාගික රුධිරයෙන් අප පවින් මිදූ සේක.
6තම පියාණන් වන දෙවියන් වහන්සේට සේවය කරන පිණිස උන් වහන්සේ අප රාජකීය පූජක වංශයක් කළ සේක. ඒ තැනැන් වහන්සේට, මහිමය ද බලපරාක්‍රමය ද සදහට ම වේ වා! ආමෙන්.
7බලන්න, උන් වහන්සේ වලාකුළු පිරිවරා වඩින සේක. සියල්ලෝ උන් වහන්සේ දකින්නෝ ය. කුරුසියේ ඇණ ගැසූ අය ද උන් වහන්සේ දකින්නෝ ය. මිහි පිට සියලු ජාතීහු උන් වහන්සේ නිසා වැලපෙන්නෝ ය. එය සැබෑ ම ය. ආමෙන්.
8ආරම්භය ද අවසානය ද මම වෙමි”යි වැඩ සිටින, වැඩ සිටිය, මතු වඩින සර්ව පරාක්‍රම ස්වාමීන් වන දෙවියන් වහන්සේ වදාරන සේක.
Alleluia
ශුද්ධ වූ මාර්ක් 11: 9, 10
9පෙරටුවෙන් හා පිටුපසින් ගිය අය ”හෝසන්නා! සමිඳුන් නමින් වඩිනා මෙතුමාණන් හට ආසිරි වේ වා!,
10අපේ පිය වූ දාවිත්ගේ මතු පැමිණෙන රාජ්‍යයට ආසිරි වේ වා!, අති උසස් තැන්හි හෝසන්නා!” කියා මොරගැසූහ.
Gospel
ශුද්ධ වූ ජොහන් 18: 33b-37
33එබැවින් යළිත් රජවාසලට පිලාත් ඇතුළු වී, ජේසුස් වහන්සේ කැඳවා, ”නුඹ ජුදෙව්වරුන්ගේ රජ දැ”යි ඇසී ය.
34ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්: ”මෙය ඔබ ම කියන දෙයක් ද, නැතහොත් අන් අය මා ගැන කී දෙයක් දැ”යි ඇසූ සේක.
35පිලාත් පිළිතුරු දෙමින්, ”මම ජුදෙව්වෙක් ද? නුඹේ ම ජාතිය ද නායක පූජකයෝ ද නුඹ මා අතට භාර දුන්හ. නුඹ කුමක් කෙළෙහි ද?”යි ඇසී ය.
36ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, ”මාගේ රාජ්‍යය මේ ලෝකයට අයිති නැත. මාගේ රාජ්‍යය මේ ලෝකයට අයිති වූවක් නම්, ජුදෙව්වරුන් අතට මා භාර නොදෙන පිණිස මාගේ සේවකයන් සටන් කරනු ඇත. ඒ නිසා මාගේ රාජ්‍යය මෙලොවින් වූවක් නොවේ ය”යි වදාළ සේක.
37එවිට පිලාත්, ”එසේ නම්, නුඹ රජෙක් දැ”යි උන් වහන්සේගෙන් ඇසී ය. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, ”මම රජෙක් යයි ඔබ ම කියන්නෙහි ය. මා උපන්නේත්, ලොව පහළ වූයේත්, සත්‍යයට සාක්ෂි දරන පිණිස ය; සත්‍යයෙහි පිහිටි සියල්ලෝ මාගේ හඬ අසති”යි වදාළ සේක.