කියවීම්
2027 නොවැම්බර් 4
Charles Borromeo, Bishop Obligatory Memorial
දවසේ දේව මෙහෙය
First Reading
රෝම 14: 7-12
7අපෙන් කිසිවෙකු තමා ම උදෙසා ජීවත් වන්නේ වත්, තමා ම උදෙසා නසින්නේ වත් නැත.
8අපි ජීවත් වෙමු නම් සමිඳාණන් වහන්සේ උදෙසා ජීවත් වෙමු. නසිමු නම් සමිඳාණන් වහන්සේ උදෙසා නසිමු. අපි ජීවිතයේදීත් මරණයේදීත් සමිඳාණන් වහන්සේගේ ම වෙමු.
9ක්‍රිස්තුන් වහන්සේ මැරුණෙත්, යළි උත්ථාන වූයේත් මළවුන්ගේ ද ජීවතුන්ගේ ද සමිඳාණන් වහන්සේ වන පිණිස ය.
10එසේ නම් ඔබ ඔබේ සහෝදරයා විනිශ්චය කරන්නේ මන් ද? ඔබේ සහෝදරයා හෙළා දකින්නේ මන් ද? අප සියල්ලන් ම දෙවියන් වහන්සේගේ විනිශ්චයාසනය ඉදිරියෙහි පෙනී සිටිනු ඇත.
11තවද: ”මා ජීවත් ව සිටින බව සැබෑ වන්නා සේ ම, හැම දෙනා ම මට දණ නමනු ඇත, හැම දෙනා ම මා දෙවියන් වහන්සේ බව ප්‍රකාශ කරනු ඇතැ යි සමිඳාණන් වහන්සේ වදාරන සේකැ”යි ශුද්ධ ලියවිල්ලෙහි ලියා ඇත.
12එහෙයින් අප එකිනෙකා තම තමා ගැන දෙවියන් වහන්සේට ගණන් දෙනු ඇත.
Responsorial Psalm
ගීතාවලිය 27: 1bcde, 4, 13-14
1හිමිසඳ මාගේ ආලෝකය හා විමුක්තිය ය; මම කිසිවෙකුට බිය නොවෙමි. හිමිසඳ මාගේ ජීව ශක්තිය ය; මට භීතියක් නැත.
4හිමි තුමන්ගෙන් එක ම යැදුමක් යදිමි; එය තරයේ සොයන්නෙමි. එනම්, හිමි තුමන්ගේ ශෝභාලංකාරය නරඹන පිණිසත්, දේව මාලිගාවේ දී උදය භාවනා කරන පිණිසත් මා දිවි ඇති තාක් හැම දා සමිඳුන්ගේ මන්දිරයේ විසීමට ය.
13ජීවතුන් අතර සමිඳුන්ගේ යහපත්කම මට දක්නට ලැබේ ය”යි මම විශ්වාස කරමි.
14සමිඳුන් කෙරේ බලා සිටින්න; ශක්තිමත් වන්න; ධෛර්යවත් වන්න; සමිඳුන් කෙරේ බලා සිටින්න.
Alleluia
ශුද්ධ වූ මතෙව් 11: 28
28වෙහෙස වන, බර උසුලන සියල්ලෙනි, මා වෙත එන්න; මම ඔබට සහනය දෙමි.
Gospel
ශුද්ධ වූ ලූක් 15: 1-10
1එක් දිනක් සියලු අයකැමියෝ ද පව්කාරයෝ ද ජේසුස් වහන්සේට සවන් දෙන පිණිස උන් වහන්සේ සමීපයට ආහ.
2පරිසිවරු ද විනයධරයෝ ද කතා කොට, ”මොහු පව්කාරයන් පිළිගෙන ඔවුන් සමඟ කන්නේ ය, බොන්නේ ය”යි මැසිවිලි කීවෝ ය.
3එවිට උන් වහන්සේ ඔවුන්ට මේ උපමාව වදාළ සේක:
4ඔබ අතුරෙන් බැටළුවන් සියයක් ඇති කවර මනුෂ්‍යයෙක්, උන්ගෙන් එකෙකු නැති වුවහොත්, අනූ නව දෙනා පාළුකරයෙහි හැරදමා, නැති වූ එකා පසුපස්සේ ගොස්, ඌ සම්බ වන තුරු සොයන්නේ නැද් ද?
5ඒ බැටළුවා සම්බ වූ විට ඔහු ප්‍රීති වෙමින්, ඌ කර තබාගෙන,
6ගෙදර අවුත් මිතුරන් ද අසල්වැසියන් ද කැඳවා, ‘මා සමඟ ප්‍රීති වන්න, මාගේ නැති වූ බැටළුවා සම්බ වී ය’යි ඔවුන්ට කියයි.
7එලෙස ම පසුතැවී සිත් හරවා ගැනීමට වුවමනා ව නැතැ යි සිතන සිල්වතුන් අනූ නව දෙනෙකුට වඩා පසුතැවී සිත හරවා ගන්න එක පව්කාරයකු ගැන ස්වර්ගයෙහි ප්‍රීතිය ඇති වන්නේ ය යි මම ඔබට කියමි.”
8තවද උන් වහන්සේ මෙසේ වදාළ සේක: ”රිදී කාසි දසයක් ඇති කවර ස්ත්‍රියක හෝ ඉන් එකක් නැති වුවහොත් පහනක් දල්වා, ගෙය අතුගා, එය සම්බ වන තුරු අස්සක් මුල්ලක් නෑර ඕනෑකමින් සොයන්නේ නැද් ද?
9එය සම්බ වූ විට ඈ මිතුරන් ද අසල්වැසියන් ද කැඳවා, ‘මා සමඟ ප්‍රීති වන්න; මාගේ නැති වූ රිදී කාසිය සම්බ වී ය’යි ඔවුන්ට කියන්නී ය.
10එලෙස ම පසුතැවී සිත හරවා ගන්නා වූ එක පව්කාරයකු ගැන දෙවියන් වහන්සේගේ දූතයන් අතර ප්‍රීතිය ඇති වන්නේ ය යි මම ඔබට කියමි.”