පෙබරවාරි 2028

බ්‍ර සි සෙ
12345
6789101112
13141516171819
20212223242526
272829
අද දිනට

කියවීම්

2028 පෙබරවාරි 2

Presentation of the Lord Feast

දවසේ දේව මෙහෙය
First Reading

මලාකි 3: 1-4

1මෙයට සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ පිළිතුරු දෙන සේක: ”මට පෙරටු ව ගොස් මාගේ මාර්ගය පිළියෙළ කරන්නාවූ මාගේ දූතයා මම එවන්නෙමි. එවිට නුඹලා සොයමින් සිටින සමිඳාණන් වහන්සේ හදිසියෙන් තමන් දේව මාලිගාවට වඩින සේක. නුඹලා පුල පුලා බලා සිටින දූතයා පැමිණ මාගේ ගිවිසුම ප්‍රකාශ කරනු ඇත.” 2එහෙත්, උන් වහන්සේගේ පැමිණීමේ දවස උහුලන්න පුළුවන් කවරෙකුට ද? උන් වහන්සේ ප්‍රකාශ වන විට ගැළවී සිටින්න පුළුවන් කවරෙකුට ද? උන් වහන්සේ රන්කරුවෙකුගේ ගින්න මෙන් ද අපුල්ලන්නෙකුගේ සබන් මෙන් ද වන සේක. 3උන් වහන්සේ රිදී උණු කර පිරිසිදු කරන කෙනෙකු මෙන් ලෙවී පුත්‍රයන් පවිත්‍ර කරන සේක. එවිට ඔව්හු සමිඳාණන් වහන්සේ වෙත නියම පූජාවක් ගෙනෙන්නෝ ය. 4ජුදාවේ හා ජෙරුසලමේ සෙනඟ සමිඳාණන් වහන්සේ වෙත ගෙනෙන පූජා පෙර කාලයේ දී මෙන් උන් වහන්සේට ප්‍රියමනාප වන්නේ ය.
Responsorial Psalm

ගීතාවලිය 24: 7, 8, 9, 10

7ද්වාරයෙනි, විවෘත ව සිටින්න; පැරණි දොරටුවෙනි, විවෘත ව ම සිටින්න; ප්‍රතාපවත් මහා නිරිඳාණෝ වඩින සේක. 8ඒ මහා ප්‍රතාපවත් නිරිඳාණෝ කවරෙක් ද? තෙද බල යුතු හිමි තුමාණෝ ය; යුද්ධ ජයගත් හිමි තුමාණෝ ය. 9වාසල් දොරටු හොඳට ම විවෘත කොට තබන්න; පැරණි දොරටු විවෘත කොට තබන්න. ප්‍රතාපවත් මහා නිරිඳාණෝ වඩින සේක. 10මේ ප්‍රතාපවත් මහා නිරිඳාණෝ කවරෙක් ද? ඒ ප්‍රතාපවත් මහා නිරිඳාණෝ, සව් බලැති හිමි තුමාණෝ වෙති.
Second Reading

හෙබ්‍රෙව් 2: 14-18

14එහෙයින් පවුලේ සියලු දරුවන්ට එක ම මාංසයත් රුධිරයත් පොදුවේ ඇතිවා සේ ම උන් වහන්සේත් එම මිනිස් ස්වභාවයට පංගුකාර වූ සේක. එසේ කෙළේ මරණය කෙරෙහි බලය ඇත්තා වන යක්ෂයා මරණය මඟින් විනාශ කොට, 15දිවි ඇති තාක් මරණ භයින් වහල්කමට යටත් ව සිටින සියල්ලන් නිදහස් කරන පිණිස ය. 16මන්ද, උන් වහන්සේගේ සැලකිල්ලට භාජන වන්නේ දේව දූතයන් නොව, ආබ්‍රහම්ගේ පෙළපතෙන් පැවත එන අය ය. 17එබැවින් ජනතාවගේ පව් කමා කිරීමට දෙවියන් වහන්සේගේ සේවයෙහි දයාන්විත, විශ්වාසවන්ත උත්තම පූජකයෙකු වන පිණිස, හැම අතින් ම සිය සහෝදරයන් හා සමාන වන්නට උන් වහන්සේට යුතු ව තිබිණි. 18උන් වහන්සේ ම පරීක්ෂා කරනු ලැබ, දුක් වින්ද බැවින්, පරීක්ෂා කරනු ලබන්නන්ට සරණ වීමට උන් වහන්සේට පිළිවන.
Alleluia

ශුද්ධ වූ ලූක් 2: 32

32විජාතීන්ට එළිය දෙන ආලෝකය ද ඔබේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේ මහිමය ද වේ.”
Gospel

ශුද්ධ වූ ලූක් 2: 22-40 or ශුද්ධ වූ ලූක් 2: 22-32

22මෝසෙස්ගේ ව්‍යවස්ථාව අනුව ඔවුන්ගේ පවිත්‍ර වීමේ කාලය පැමිණියෙන්, ඔව්හු උන් වහන්සේ සමිඳාණන් වහන්සේට කැප කරනු වස්, ජෙරුසලමට ගෙනාහ. 23එසේ කෙළේ, ”හැම කුලුඳුල් පිරිමි දරුවෙක් ම සමිඳාණන් වහන්සේට කැප ය”යි සමිඳාණන් වහන්සේගේ ව්‍යවස්ථාවලියෙහි ලියා ඇති ලෙස, දරුවා සමිඳාණන් වහන්සේට ඔප්පු කරන පිණිසත්, 24එහි ම කියා ඇති පරිදි කොබෙයියන් දෙදෙනෙකු හෝ පරෙවි පැටවුන් දෙදෙනෙකු හෝ පූජා කරන පිණිසත් ය. 25එකල, සිමියොන් නම් මිනිසෙක් ජෙරුසලමෙහි විසී ය. ඔහු ඉශ්රායෙල්වරුන්ගේ විමුක්තිය අපේක්ෂාවෙන් සිටි දැහැමි බැතිමතෙකි. ශුද්ධාත්මයාණෝ ඔහු කෙරෙහි වැඩහුන්හ. 26සමිඳාණන් වහන්සේ අභිෂේක කළ ‘ක්‍රිස්තුන් වහන්සේ දක්නට පළමුවෙන් ඔහු මරණය නොදක්නේ ය’යි ශුද්ධාත්මයාණන් විසින් ඔහුට අනාවරණය කරනු ලැබ තිබිණි. 27ඔහු ශුද්ධාත්මානුභාවයෙන් දේව මාලිගාවට පැමිණියේ ය. ළදරු ජේසුස් වහන්සේ පිළිබඳ ව ව්‍යවස්ථාවෙහි සඳහන් වත්පිළිවෙත් ඉටු කරනු වස්, දෙමවුපියන් උන් වහන්සේ ගෙනා විට, 28ඔහු උන් වහන්සේ දෝතින් වඩාගෙන මෙ‍සේ දෙවියන් වහන්සේට ප්‍රශංසා කෙළේ ය: 29සමිඳුනි, ඔබ පොරොන්දු වූ ලෙස ම දැන් ඔබ දාසයා හට, ශාන්ති සිතින් යාමට ඔබ නිදහස දී ඇත, 30මන්ද, ගැළවීම මාගේ දෙනෙතින් දිටිමි. 31එය සකල ජාතීන් අබිමුව කළ ගැළවීම ද 32විජාතීන්ට එළිය දෙන ආලෝකය ද ඔබේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේ මහිමය ද වේ.” 33උන් වහන්සේ පිළිබඳ ව කී දේ ගැන උන් වහන්සේගේ පියා ද මවු ද මවිත වූ හ. 34සිමියොන් ඔවුන්ට ආශීර්වාද කරමින් උන් වහන්සේගේ මව වූ මරිය තුමීට කතා කොට, ”මේ දරුවා ඉශ්රායෙල්හි බොහෝ දෙනෙකුගේ වැටීම හා නැඟීම පිණිසත්, ප්‍රතික්ෂේපයට ලක් වන දේව සලකුණක් වන පිණිසත්, නියම ව සිටී. 35එසේ ය, ඔබේ ම හදවත කඩුවකින් අනිනු ලැබුවාක් මෙ‍න් තුවාළ වනු ඇත. මෙ‍සේ වන්නේ, බොහෝ දෙනෙකුගේ සිත්හි රහස් කල්පනා එළිදරව් වන පිණිස ය”යි කී ය. 36තවද, ආෂෙර්ගේ පෙළපතින් ආ පානුවෙල්ගේ දුවක වන බොහෝ වයස්ගත අන්නා නම් දිවැසිවරියක් වූවා ය. විවාහයෙන් පසු සත් වසක් සැමියා සමඟ විසූ ඈ 37අසූ හතර අවුරුද්දක් වයස් වන තුරු වැන්දඹුවක් ව සිටියා ය. ඈ දේව මාලිගාවෙන් අහක් ව නො ගොස් දිවා රෑ දෙක්හි උපවාස හා යාච්ඤා පවත්වමින් නමස්කාර කළා ය. 38ඈ ද ඒ මොහොතේ දී ම අවුත්, දෙවියන් වහන්සේට තුති පුදා, ජෙරුසලමේ විමුක්තිය අපේක්ෂා කළ සියලු දෙනා හට උන් වහන්සේ ගැන කතා කළා ය. 39ජෝසෙප් සහ මරියා සමිඳාණන් වහන්සේගේ ව්‍යවස්ථාවලිය අනුව සියල්ල ඉටු කළ පසු ගලීලයෙහි නාසරෙත් නම් සිය නුවරට පෙරළා ගියහ. 40දරුවා වැඩී ශක්තිමත් ව ප්‍රඥාවෙන් පූර්ණ විය; දෙවියන් වහන්සේගේ ප්‍රසාදය උන් වහන්සේ කෙරෙහි විය.