කියවීම්
2028 පෙබරවාරි 18
Ordinary Weekday
දවසේ දේව මෙහෙය
First Reading
ජාකොබ් 2: 14-24, 26
14මාගේ සහෝදරයෙනි, තමාට ඇදහිල්ල ඇතැ යි යමෙකු කීවත් ක්‍රියාවලින් එය ප්‍රකාශ නොවේ නම්, ඉන් වැඩක් ඇද් ද? එවැනි ඇදහිල්ලක් ඔහුට ගැළවීම ගෙන දෙයි ද?
15යම් සහෝදරයකු හෝ සහෝදරියක හෝ ඇඳුම් නැති ව, දිනපතා කෑම නැති ව සිටිය දී,
16ඔබගෙන් යමෙක් ඔවුන්ගේ ශාරීරික අවශ්‍යතා සපයා නොදී: ”ඔබට දෙවි පිහිට යි, උණුසුමට ඇඳ පැළඳ, කා බී සතුටු වන්නැ”යි ඔවුන්ට කියන්නේ නම්, එයින් මොන යහපතක් ද?
17ඇදහිල්ල ගැන කිය යුත්තේත් එය ම යි. ක්‍රියා විරහිත ඇදහිල්ල මළ ඇදහිල්ලකි.
18ඔබට ඇත්තේ ඇදහිල්ල ය, මට ඇත්තේ යහපත් ක්‍රියා ය. හොඳයි, ඔබ ක්‍රියා නැති ව ඔබේ ඇදහිල්ල පෙන්වන්න. මම මාගේ ක්‍රියාවලින් මාගේ ඇදහිල්ල පෙන්වමි”යි කියන්නට යමෙකුට පුළුවන්කම තිබෙනවා විය හැකි ය.
19ඇත්තේ එක ම දෙවි කෙනෙකු බව ඔබ අදහන්නෙහි ය; එය කදිම යි. දුෂ්ටාත්මයෝත් එසේ අදහා බියෙන් වෙවුලති.
20අඥානය, ක්‍රියාවලින් තොර ඇදහිල්ල නිෂ්ඵල බව ඔබ නොදන්නෙහි ද?
21අපේ පිය වූ ආබ්‍රහම් සිය පුත් ඊසාක් පූජාසනය පිට ඔප්පු කළ විට, ඔහු දමිටුකමට පමුණුවනු ලැබුවේ ඔහුගේ යහපත් ක්‍රියා නිසා නොවේ ද?
22ඇදහිල්ල, ඔහුගේ යහපත් ක්‍රියා හා සමඟ එක් ව ක්‍රියා කළ බවත්, ඇදහිල්ල ක්‍රියා නිසා සම්පූර්ණ වූ බවත් ඔබට පෙනෙනු ඇත.
23මෙසේ: ”ආබ්‍රහම් දෙවියන් වහන්සේ අදහාගත්තේ ය. ඒ ඇදහිල්ල ඔහුගේ දමිටුකම හැටියට පිළිගනු ලැබී ය”යි කියන ශුද්ධ ලියවිල්ල ඉටු විය. එපමණකුත් නොව, ඔහු දෙවියන් වහන්සේගේ මිත්‍රයා යයි කියනු ලැබී ය.
24මනුෂ්‍යයෙකු දමිටුකමට පමුණුවනු ලබන්නේ ක්‍රියාවලින් බවත්, ඇදහිල්ලෙන් පමණක් නොවන බවත්, ඔබට පෙනෙනු ඇත.
26හුස්ම නැති සිරුර මළසිරුරක් වන සේ ම ක්‍රියා නැති ඇදහිල්ල මළ ඇදහිල්ලකි.
Responsorial Psalm
ගීතාවලිය 112: 1-2, 3-4, 5-6
1සමිඳුන් පසසන්න, සමිඳුන් වෙත ගරුබිය ඇති ව සිටින්නා ද එතුමන්ගේ ආඥාවලට බොහෝ සේ ප්‍රිය වන්නා ද භාග්‍යවන්ත ය.
2ඔහුගේ පරපුර දේශයෙහි බලවත් වන්නේ ය. දැහැමි පරපුර ආසිරි ලබන්නේ ය.
3සම්පත ද වස්තුව ද ඔහුගේ නිවෙසෙහි ඇත්තේ ය. ඔහුගේ දැහැමිකම සදාකල් පවත්නේ ය.
4සුදනාට අඳුරෙහි එළියක් උදා වන්නේ ය; ඔහු දයාවන්ත ය; සානුකම්පිත ය; දැහැමි ය.
5දානශීලී ව ණයට දෙන මිනිසාට සුබ සෙත වේ; ඔහු සිය කටයුතු අවංක ලෙස කරන්නේ ය.
6මන්ද, දැහැමියා කිසි කලෙකත් නොපැකිළෙන්නේ ය. ඔහු සදහට ම සිහිකරනු ලබන්නේ ය.
Alleluia
ශුද්ධ වූ ජොහන් 15: 15b
15මෙතැන් පටන් මම ඔබට දාසයෝ යයි නොකියමි; මන්ද, දාසයෙක් තමාගේ ස්වාමියා කරන්නේ කුමක් දැ යි නොදනියි. එහෙත්, මාගේ පියාණන් වහන්සේගෙන් මා ඇසූ සියල්ල ම ඔබට දන්වා වදාළ බැවින්, මම ඔබට මිත්‍රයෝ යයි කීවෙමි.
Gospel
ශුද්ධ වූ මාර්ක් 8: 34 - 9: 1
34එවිට උන් වහන්සේ සිය ශ්‍රාවකයන් කැටුව සමූහයා තමන් වෙත කැඳවා ඔවුන් අමතා මෙසේ වදාළ සේක: ”යමෙක් මා අනුව එන්න කැමැත්තේ ද, ඔහු තමකම නසා කුරුසිය දරා, මා අනුව ඒ වා!
35සිය ජීවිතය රැකගන්න තැත් කරන යමෙක් වේ ද ඔහු එය නැති කරගනියි. මා උදෙසාත්, සුබ අස්න උදෙසාත් සිය ජීවිතය පුදන යමෙක් වේ ද, ඔහු එය රැකගනියි.
36යමෙක් මුළු ලෝකය ම ලබාගත්තත්, සිය ජීවිතය නැති කරගත්තොත් ඔහුට කිනම් ප්‍රයෝජනයක් ද?
37නොහොත් යමෙකුට සිය දිවි වෙනුවට කුමක් දිය හැකි ද?
38එසේ හෙයින් මේ දේව ද්‍රෝහි, පාපිෂ්ඨ පරම්පරාවේ දී යම් කෙනෙක් මා ගැනත්, මාගේ ධර්මය ගැනත් ලජ්ජා වන්නේ ද, මනුෂ්‍ය-පුත්‍රයාණන් පියාණන්ගේ තේජශ්‍රීයෙන් ශුද්ධ දූතයන් පිරිවරා වඩිනා කල උන් වහන්සේ ඔහු ගැනත් ලජ්ජා වනු ඇත.”
1තවද, උන් වහන්සේ ඔවුන්ට කතා කොට,”සැබැවින් ම මම ඔබට කියමි, දෙවියන් වහන්සේගේ රාජ්‍යය බලපරාක්‍රම සහිත ව පහළ වූ බව දකින්න පෙර, මෙහි සිටින්නන්ගෙන් ඇතැමෙක් කිසි සේත් මරණයට පත් නොවන්නාහ”යි වදාළ සේක.