පෙබරවාරි 2028

බ්‍ර සි සෙ
12345
6789101112
13141516171819
20212223242526
272829
අද දිනට

කියවීම්

2028 පෙබරවාරි 25

Ordinary Weekday

දවසේ දේව මෙහෙය
First Reading

ජාකොබ් 5: 9-12

9සහෝදරයෙනි, ඔබ විනිශ්චයට ලක් නොවන පිණිස එකිනෙකාට විරුද්ධ ව චෝදනා නොකරන්න. මෙන්න, විනිශ්චයකාරයාණෝ දොරකඩ සිටින සේක. 10සහෝදරයෙනි, සමිඳාණන් වහන්සේගේ නාමයෙන් කතා කළ දිවැසිවරයන්ගේ පීඩා විඳීම ද ඉවසීම ද ආදර්ශයට ගන්න. 11ස්ථිර ව සිටි අය ආශීර්වාද ලද්දෝ යයි අපි කියමු. ජෝබ් ස්ථීර ව සිටි හැටි ඔබ අසා ඇත. ඔහු ගැන සමිඳාණන් වහන්සේගේ තීරණය ද ඔබට පැහැදිලි ය, සමිඳාණන් වහන්සේ දයානුකම්පාවෙන් අධික ලෙස පොහොසත් වී සිටින සේක. 12මේ සියල්ලට වඩා, මාගේ සහෝදරයෙනි, අහස ගැනවත්, පොළොව ගැනවත්, අන් කිසිවක් ගැනවත් නොදිවුරන්න, ඔබ වරදට පත් නොවන පිණිස ඔබගේ වචනය ”එසේ” නම් ”එසේ ය” කියා ද, ”නැත” නම් ”නැත” කියා ද වේ වා.
Responsorial Psalm

ගීතාවලිය 103: 1-2, 3-4, 8-9, 11-12

1මාගේ සිත, සමිඳුන් පසසන්න; හද පත්ලෙන් ම එතුමන්ගේ ශුද්ධ නම පසසන්න. 2මාගේ සිත, සමිඳුන් පසසන්න; එතුමන්ගේ සියලු උපකාර අමතක නොකරන්න. 3එතුමාණෝ මාගේ සියලු පාප කමා කරන සේක; මාගේ සියලු රෝග සුව කරන සේක. 4මාගේ ජීවිතය පාතාල ලෝකයෙන් මුදාලන සේක; ප්‍රේමය හා දයාව නමැති කිරුළෙන් මා සරසන සේක. 8සමිඳාණෝ අනුකම්පාවෙන් හා දයාවෙන් පරිපූර්ණ ය; නොකිපෙන සුලු ය, අතිශයින් කරුණාවන්ත ය. 9එතුමාණෝ නිතර තරවටු නොකරන සේක; සදහට ම සිතෙහි කෝපය තබා නොගන්න සේක. 11මන්ද, පොළොවට ඉහළින් අහස උස් ව තිබෙන්නාක් මෙන් එතුමාණන් කෙරෙහි ගරුබිය පාන අයට එතුමාණන්ගේ කරුණාව මහත් ය. 12නැගෙනහිරෙන් බටහිර ඈත් ව තිබෙන්නාක් මෙන් එතුමාණෝ අපේ පාප අපෙන් දුරු කරන සේක.
Alleluia

ශුද්ධ වූ ජොහන් 17: 17b, 17a

17සත්‍යයෙහි ඔවුන් කැප කළ මැනව; සත්‍යය නම් ඔබගේ ධර්මය ය.
Gospel

ශුද්ධ වූ මාර්ක් 10: 1-12

1උන් වහන්සේ එතැනින් නික්ම ජුදයට සහ ජොර්දානෙන් එගොඩ පළාත්වලට පැමිණි සේක. යළිත් සමූහයෝ උන් වහන්සේ වෙත රැස් වූ හ. උන් වහන්සේ සිරිත් පරිදි ඔවුන්ට ඉගැන්වූ සේක. 2පරිසිවරු අවුත් උන් වහන්සේ වචනයකින් අල්ලාගනු පිණිස, ”පුරුෂයෙකු විසින් සිය භාර්යාව දික්කසාද කිරීම නීතියට අනුකූල දැ”යි උන් වහන්සේගෙන් ප්‍රශ්න කළහ. 3උන් වහන්සේ උත්තර දෙමින්, ”මෝසෙස් ඔබට කුමක් අණ කෙළේ දැ”යි ඔවුන්ගෙන් ඇසූ සේක. 4දික්කසාද සහතිකයක් ලියා ඇය අත්හැර දමන්න මෝසෙස් අවසර දුන්නේ ය”යි ඔව්හු කී හ. 5එහෙත්, ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට, ”ඔහු මේ ආඥා පැණවූයේ, ඔබේ සිත් දැඩිකම නිසා ය. 6එහෙත්, මැවීමේ මුල සිට ම දෙවියන් වහන්සේ ඔවුන් ස්ත්‍රී-පුරුෂ වශයෙන් මැවූ සේක. 7ඒ හේතුකොට ගෙන මිනිසෙක් තම පියා ද මව ද අතහැර සිය භාර්යාවට ඇලුම් වන්නේ ය. 8ඒ යුවළ ද එක ම මාංසයක් වෙති. මෙසේ ඔව්හු එවක් පටන් දෙදෙනෙක් නොව එක් කෙනෙක් වන්නෝ ය. 9එබැවින් දෙවියන් වහන්සේ එක්කළ අය මනුෂ්‍යයා වෙන් නොකෙරේ වා!”යි වදාළ සේක. 10ශ්‍රාවකයෝ ගෙදර දී මේ කාරණය ගැන යළිත් උන් වහන්සේගෙන් ඇසූ හ. 11උන් වහන්සේ ඔවුන්ට කතා කොට, ”සිය භාර්යාව අත්හැර වෙන ස්ත්‍රියක පාවාගන්න කවරෙකු නමුත් ඔහු ඈට විරුද්ධ ව කාමමිථ්‍යාචාරය කරයි. 12ස්ත්‍රියක් ඇගේ පුරුෂයා අත්හැර වෙන කෙනෙකු සරණ පාවා ගන්නී නම්, ඈ ද කාමමිථ්‍යාචාරය කරන්නී ය”යි වදාළ සේක.