කියවීම්
2028 පෙබරවාරි 19
Ordinary Weekday/ Optional Memorial of the Blessed Virgin Mary
Optional Memorial of the Blessed Virgin Mary
First Reading
ජාකොබ් 3: 1-10
1මාගේ සහෝදරයෙනි, ඔබගෙන් බොහෝ දෙනෙක් ගුරුවරුන් වීමට නොසිතන්න. ඔබ දන්නා පරිදි ගුරුවරුන් වන අපි වඩාත් බරපතල මිම්මකින් විනිශ්චය කරනු ලබමු.
2අපි සියල්ලෝ ම බොහෝ විට වරදට වැටෙමු. යමෙක් වචනයෙන් වරදක් නොකරන්නේ නම්, ඔහු මුළු ශරීරය දමනය කරගන්නට සමත්, සර්ව සම්පූර්ණ මනුෂ්‍යයෙකි.
3අශ්වයන් කීකරු කරගන්නා පිණිස උන්ට කටකලියා දැමූ විට අපි උන්ගේ මුළු ශරීරය ම දමනය කරගනිමු.
4නැව් ගැන සිතන්න, නැවක් කෙතරම් විශාල වුව ද, සැඬ සුළඟට ගසාගෙන යන විට, ඉතා කුඩා සුක්කානමකින් නැව්පතියා එය තමා රිසි සේ හරවාගෙන යයි.
5එලෙස ම දිව කුඩා අවයවයක් වුව ද එය ලොකුවට පුරසාරම් දොඩයි. කුඩා ගිනි පුපුරකින් කොපමණ මහත් ළැව් ගින්නක් හටගනී ද?
6දිව ද ගින්නකි. එය අපේ ඉඳුරන් අතර, අදමිටුකමින් පිරුණු ලෝකයකි. එය මුළු ශරීරය දූෂණය කොට, නිරා ගින්නෙන් සකල ලෝකයට ගිනි දල්වයි.
7සියලු ආකාර වන මෘගයන් ද කුරුල්ලන් ද උරග ජාතීන් ද මුහුදු සතුන් ද පෙර මෙන් දැනුත්, මිනිසාට දමනය කළ හැකි ය.
8එහෙත් දිව දමනය කිරීම කිසිවෙකුට නුපුළුවන. එය හික්මවිය නොහැකි විෂඝෝර නපුරු ඉන්ද්‍රියයකි.
9එයින් අපි ස්වාමීන් වන පියාණන් වහන්සේ පසසමු; එයින් ම දිව්‍ය සමානත්වයෙන් මවන ලද මනුෂ්‍යයන්ට සාප කරමු.
10ප්‍රශංසාවත් සාපයත් එක ම මුඛයෙන් නික්මෙයි. මාගේ සහෝදරයෙනි, මෙසේ වීම හරි නැත.
Responsorial Psalm
ගීතාවලිය 12: 2-3, 4-5, 7-8
2මිනිසා මිනිසාට බොරු පවසයි; චාටු බසින් දෙසිත් ඇති ව කතා කරයි.
3සමිඳුනි, ඔවුන්ගේ චාටු බස් නවත්වන්න; පුරසාරම් නැති කරන්න.
4ඔව්හු මෙසේ උදන් අනති: ”අප රිසි දෙය අපි කියමු; කුමට ද අප නිහඬ වන්නේ? කවුරු ද එය නවතන්නේ?”
5අප සමිඳාණෝ මෙසේ වදාරති: ”පිහිටක් නැති දිළිඳා තළාපෙළා දමන නිසා, ඒ දුක මට ඇසෙන නිසා, මම දැන් එහි වැඩම කරමි; ඔවුන් පතන රැකවරණය සලසා දෙමි.”
7සමිඳුනි, අප රැකගත මැනව; කුදිටු අනාචාරික පරපුරකින් අප නිරතුරු රැකගත මැනව.
8පවිටු දනෝ ඔබමොබ යති. රට සැම දෙස දුසිරිත වැජඹෙයි.
Alleluia
ශුද්ධ වූ මාර්ක් 9: 7
7තවද වලාකුළක් නැඟී ඔවුන් සිසාරා පැතිරිණි. එවිට, ”මේ මාගේ ප්‍රියාදර පුත්‍රයාණෝ ය; මොහුට සවන් දෙන්නැ”යි වලාකුළෙන් හඬක් නික්මිණි.
Gospel
ශුද්ධ වූ මාර්ක් 9: 2-13
2සදවසකට පසු ජේසුස් වහන්සේ පේදුරු ද ජාකොබ් ද ජොහන් ද වෙන් කොට ගෙන, ඔවුන් තමන් සමඟ උස් කන්දකට ගෙන ගිය සේක. උන් වහන්සේ ඔවුන් ඉදිරියෙහි අන් වෙසක් වූ සේක.
3මිහි පිට කිසිවෙකුටවත් සෝදා සුදු කළ නොහැකි තරම් ධවල දීප්තියකින් උන් වහන්සේගේ වස්ත්‍ර බැබළිණි.
4එවිට එලියා ද මෝසෙස් ද ඔවුන්ට දර්ශනය වූ හ. ඔව්හු ජේසුස් වහන්සේ සමඟ කතා කරමින් සිටියහ.
5එවිට පේදුරු ජේසුස් වහන්සේට කතා කොට, ”ගුරුදේවයෙනි, අපට මෙහි සිටින්න ලැබීම මහත් වාසනාවකි. අපි මණ්ඩප තුනක්, එකක් ඔබටත්, එකක් මෝසෙස්ටත්, එකක් එලියාටත් සාදමු”යි කී ය.
6ඔවුන් මහා භීතියකින් ඇලළී ගියෙන්, කුමක් කියන්න දැ යි ඔහු නොදැන සිටියේ ය.
7තවද වලාකුළක් නැඟී ඔවුන් සිසාරා පැතිරිණි. එවිට, ”මේ මාගේ ප්‍රියාදර පුත්‍රයාණෝ ය; මොහුට සවන් දෙන්නැ”යි වලාකුළෙන් හඬක් නික්මිණි.
8හදිසියෙන් අවට බැලූ විට, ඔව්හු තමන් සමඟ ජේසුස් වහන්සේ හැර අන් කිසිවෙකු නුදුටුවෝ ය.
9ඔවුන් කන්දෙන් බසින කල, මනුෂ්‍ය-පුත්‍රයාණන් මළවුන්ගෙන් උත්ථාන වන තුරු තමන් දුටු දේ කිසිවෙකුට නොකියන ලෙස උන් වහන්සේ ඔවුන්ට අණ කළ සේක.
10එබැවින් ඔවුන් මේ නියමය තදින් සිතට ගත් නමුත්, ඔව්හු, ”මළවුන්ගෙන් උත්ථාන වීම යනු කුමක් දැ”යි ඔවුනොවුන් අතර විමසමින් සිටියහ.
11තවද ඔව්හු කතා කොට, ”පළමුවෙන් එලියා ආ යුතු ය යි විනයධරයන් කියන්නේ මන්දැ”යි උන් වහන්සේගෙන් ඇසූ හ.
12උන් වහන්සේ කතා කොට, ”එසේ ය, එලියා පළමුවෙන් පැමිණ සියල්ල නිසි ලෙස පිළියෙළ කරනු ඇත. මනුෂ්‍ය-පුත්‍රයාණන් බොහෝ දුක් වේදනා විඳින්ටත්, නිග්‍රහ ලබන්නත් යුතු ය යි ඔහු ගැන සඳහන් ව තිබෙන්නේ කෙසේ ද?
13එහෙත් මම ඔබට කියමි, එලියා දැනට ම පැමිණ ඇත, ඔහු ගැන ශුද්ධ ලියවිල්ලේ කියා ඇති පරිදි ඔව්හු තමන් රිසි දේ ඔහුට කළහ”යි වදාළ සේක.