කියවීම්
2028 අප්‍රේල් 9
Palm Sunday of the Lord’s Passion
දවසේ දේව මෙහෙය
Procession
ශුද්ධ වූ ලූක් 19: 28-40
28උන් වහන්සේ මෙවදන් දෙසා ජෙරුසලමට යන පිණිස ඔවුන්ට පෙරටුව වැඩි සේක.
29උන් වහන්සේ ඔලීව නම් කන්දට නුදුරු බෙත්පාගයට ද බෙතානියට ද ළං වූ කල, සිය ශ්‍රාවකයන්ගෙන් දෙදෙනකු යවමින්,
30ඔබ ඉදිරිපිට තිබෙන ගමට යන්න; එහි ඇතුළු වූ විට, කිසි කලෙක කිසිවෙකු නොනැඟුණු කොටළු නාම්බෙකු බැඳ සිටිනු ඔබට සම්බවන්නේ ය.
31ඌ ලිහා මෙහි ගෙනෙන්න. ඌ ලිහන්නේ මන්දැ යි යමෙකු ඇසුවොත්, සමිඳාණන් වහන්සේ හට උගෙන් වැඩක් ඇතැ යි කියන්නැ”යි වදාළ සේක.
32යවනු ලැබුවෝ ගොස් උන් වහන්සේ ඔවුන්ට වදාළ ලෙස ම දුටුවෝ ය.
33ඔවුන් කොටළු නාම්බා ලිහන කල අයිතිකාරයෝ ”ඔබ කොටළු නාම්බා ලිහන්නේ මන්දැ”යි ඇසූ හ.
34සමිඳාණන් වහන්සේ හට උගෙන් වැඩක් ඇතැ”යි ඔව්හු කී හ.
35ඔව්හු කොටළු නාම්බා උන් වහන්සේ වෙත ගෙනවුත්, තමන්ගේ උතුරු සළු ඌ පිට අතුරා, ජේසුස් වහන්සේ ඌ පිට හිඳවූ හ.
36උන් වහන්සේ යද්දී, ඔව්හු තමන්ගේ උතුරු සළු මඟ එලා ලූ හ.
37උන් වහන්සේ ඔලීව කන්දේ බෑවුම ළඟට පැමිණි කල්හි, මුළු ශ්‍රාවක සමූහයා ප්‍රීති වන්නටත් තමන් දුටු සියලු ප්‍රබල ක්‍රියා ගැන මහත් ශබ්දයකින් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්නටත් පටන් ගෙන,
38සමිඳුන් නමින් වඩිනා රජුට ආසිරි වේ වා! ස්වර්ගයෙහි සාමය ද අති උසස් තැන්හි මහිමය ද වේ වා!”යි කී හ.
39එවිට සමූහයා අතරෙන් සමහර පරිසිවරු, ”ගුරුදේවයෙනි, ඔබගේ ශ්‍රාවකයන්ට තරවටු කළ මැනවැ”යි උන් වහන්සේට කී හ.
40උන් වහන්සේ උත්තර දෙමින්, ”ඔවුන් නිහඬ වූවොත්, ගල්, මොරගසනු ඇතැ යි මම ඔබට කියමි”යි වදාළ සේක.
First Reading
යෙසායා 50: 4-7
4විඩාවට පත්වූවන් ශක්තිමත් කරන පිණිස ගුරුවරයෙකු මෙන් මා කිව යුතු දේ ගැන සිසුවෙකු මෙන් එතුමන්ට සවන් දෙන පිණිස මහෝත්තම දෙවි සමිඳාණෝ හැම උදයක ම මා තුළ උනන්දුවක් ඇති කරවන සේක.
5දෙවි සමිඳුන් මාගේ කන් පහදා ඇත. මා එතුමන්ට විරුද්ධ ව කැරලි ගැසුවේ වත්, එතුමන්ට පිටුපා ගියේ වත් නැත.
6මට පහර දෙන්නන්ට මම මාගේ පිට පෑවෙමි. මාගේ රැවුල් ගස් උදුරන්නන්ට මම මුහුණ දුන්නෙමි. මාගේ මුහුණ නින්දාවෙනුත්, කෙළ ගැසීමෙනුත් හරවා නොගතිමි.
7මහෝත්තම දෙවි සමිඳාණන් මට උපකාර කරන බැවින් මම වියවුල් නොවන්නෙමි. මම නිර්භීත ලෙස මුහුණ පාන්නෙමි. මා ලජ්ජාවට නොපැමිණෙන බව දනිමි.
Responsorial Psalm
ගීතාවලිය 22: 8-9, 17-18, 19-20, 23-24
8සමිඳුන්ට ඔහු බාර විණි, එතුමන් ඔහු ගළවා නොගන්නේ මන් ද? සමිඳුන්ට ඔහු ප්‍රිය මනාප විණි, එතුමන් ඔහු මුදා නොගන්නේ මන් ද?”
9මව් කුසයෙන් මා බිහි කළ, මවගේ ළයෙහි මා සැතපූ උතුමාණෝ ඔබ නොවන සේක් ද?
17මාගේ ඇටකටු ගණන් කළ හැකි තරමට පෑදී ඇත. සතුරෝ මා දෙස රවා ඔරවා බලති.
18මාගේ වස්ත්‍ර තම තමන් අතර බෙදා ගනිති; මාගේ සළුව ගැනීමට දාදු දමති.
19හිමි තුමාණෙනි, මා හැර දමා ඈත් නොවනු මැනව; මාගේ බලය වන ඔබ මට පිහිට වන්නට කඩිනම් වුව මැනව.
20කඩුවෙන් මා මිදුව මැනව; ඒ බල්ලන්ගේ උවදුරෙන් මා ගැළෙවුව මැනව.
23හිමි සමිඳාණන්ට ගරුබිය ඇත්තෙනි, එතුමන් පසසන්න; ජාකොබ් වංශයේ සියල්ලෙනි, එතුමන්ට ගෞරවය දෙන්න; ඉශ්රායෙල් වංශයේ සියල්ලෙනි, එතුමන් ඉදිරියෙහි ගරු බියෙන් සිටින්න;
24එතුමාණෝ විපතට පත් අයගේ විපතට අවමන් නොකළ සේක; එය පිළිකුල් කොට නොසිතූ සේක; ඔහු කෙරෙන් සිය මුහුණ අහකට හරවා නොගත් සේක; ඔහු හඬගැසූ කල එතුමාණෝ සවන් දුන් සේක.
Second Reading
පිලිප්පි 2:6-11
6උන් වහන්සේ, දෙවියන් වහන්සේගේ ස්වරූපය දැරූ නමුත්, දෙවියන් වහන්සේ හා සමානත්වය තමන් විසින් බදාගෙන ම තබාගත යුතු වස්තුවකැ යි නොසිතා,
7තමන් වහන්සේ ම ත්‍යාජ කරගනිමින්, වහලෙකුගේ ස්වරූපයක් ගෙන, අප හා සමාන මිනිස් කෙනෙක් වූ සේක.
8මනුෂ්‍යාකාරයෙන් සිටිමින්, උන් වහන්සේ, මරණය, එනම් කුරුසියේ මරණය දක්වා, පහත් වී කීකරු වූ සේක.
9එබැවින් දෙවියන් වහන්සේ උන් වහන්සේ අති උසස් තැනට නංවා, සියලු නාමයන්ට වඩා අග්‍ර නාමය උන් වහන්සේට දුන් සේක.
10එසේ කළේ, ස්වර්ගයෙහි ද පොළොවෙහි ද, පාතාල ලෝකයෙහි ද සියල්ලන්, ‘ජේසුස්’ යන නාමයට දණ නමන පිණිසත්,
11ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ සමිඳාණන් වහන්සේ යයි දෙවි පියාණන් වහන්සේගේ මහිමය සඳහා, සෑම දිවකින් ම ප්‍රකාශ කරන පිණිසත් ය.
Verse Before the Gospel
පිලිප්පි 2: 8-9
8මනුෂ්‍යාකාරයෙන් සිටිමින්, උන් වහන්සේ, මරණය, එනම් කුරුසියේ මරණය දක්වා, පහත් වී කීකරු වූ සේක.
9එබැවින් දෙවියන් වහන්සේ උන් වහන්සේ අති උසස් තැනට නංවා, සියලු නාමයන්ට වඩා අග්‍ර නාමය උන් වහන්සේට දුන් සේක.
Gospel
ශුද්ධ වූ ලූක් 22: 14 - 23: 56
14නියම වේලාව පැමිණි කල, උන් වහන්සේ කෑමට හිඳගත් සේක. ප්‍රේරිතයෝ ද උන් වහන්සේ සමඟ හිඳගත්හ.
15උන් වහන්සේ ඔවුන්ට කතා කොට, ”මා වද විඳීමට පළමුවෙන්, මේ පාස්කු භෝජනය ඔබ සමඟ වළඳන්නට අතිශයින් ආශා වීමි.
16ඒ මන්දැ යි මම ඔබට කියමි, දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ දී එය මුදුන්පත් වනතුරු මම එය තවත් නොවළඳමි”යි වදාළ සේක.
17උන් වහන්සේ කුසලානක් ගනිමින්, තුති පුදා, ”මෙය ගෙන ඔබ අතරෙහි බෙදාගන්න.
18මන්ද, මම ඔබට කියමි, මෙතැන් පටන්, දෙවියන් වහන්සේගේ රාජ්‍යය පැමිණෙන තුරු, මම මිදියුස පානය නො කරන්නෙමි”යි වදාළ සේක.
19උන් වහන්සේ රොටි ගෙන තුති පුදා, ඒවා කඩා, ඔවුන්ට දී, ”ඔබ උදෙසා දෙනු ලබන මාගේ ශරීරය මේ ය; මා සිහි කිරීම පිණිස මෙය කරන්නැ”යි වදාළ සේක.
20එලෙස ම භෝජනයෙන් පසු කුසලාන දී, ”මේ කුසලාන ඔබ උදෙසා වගුරුවනු ලබන මාගේ රුධිරයෙන් කළ නව ගිවිසුම ය.
21එහෙත්, දැන් මා පාවා දෙන්නාගේ අත මා ළඟින් ම මේසය මත තිබේ.
22මන්ද, මනුෂ්‍ය-පුත්‍රයාණෝ නියමිත ගමන යන සේක් ම ය. එහෙත්, ඔහු පාවා දෙන ඒ මනුෂ්‍යයාට වන විපතක මහතැ”යි උන් වහන්සේ වදාළ සේක.
23එවිට එය කරන්නට යන්නේ ඔවුන්ගෙන් කවරෙක් දැ යි ඔව්හු තම තමන් අතර විමසන්නට පටන්ගත්හ.
24තමන් අතරෙන් ශ්‍රේෂ්ඨතම ලෙස සැලකිය යුත්තේ කවරෙක් දැ යි ශ්‍රාවකයන් අතර විවාදයක් ඇති විය.
25උන් වහන්සේ ඔවුන්ට මෙසේ වදාළ සේක: ”විජාතීන්ගේ රජවරු වැසියන් කෙරෙහි අධිපති බලය පාන්නාහ; ඔවුන් කෙරෙහි බලය පවත්වන්නෝ ජාති හිතෛෂීහු යයි කියනු ලබති.
26එහෙත් ඔබ අතර එය එසේ නොවේ. ඔබ අතර ශ්‍රේෂ්ඨ තැනැත්තා ඉතා සුළු තැනැත්තා මෙන් ද නායකයා සේවකයා මෙන් ද වේ වා;
27වඩා උතුම් කවරේ ද, කෑමට හිඳින තැනැත්තා ද, නැතහොත් සේවකයා ද? කෑමට හිඳින තැනැත්තේ නොවේ ද? එහෙත්, මම නම්, ඔබ මැද සේවකයා මෙන් වෙමි.
28මාගේ පරීක්ෂාවල දී මා සමඟ සිටි අය ඔබ ම ය.
29එබැවින් මාගේ පියාණන් වහන්සේ මට රාජ්‍යය පවරා දුන් සේ ම,
30මාගේ රාජ්‍යයෙහි මාගේ මේසයේ දී කන බොන පිණිස ද සිහසුන් අරා ඉශ්රායෙල් ගෝත්‍ර දොළොස කෙරෙහි විනිශ්චය කරන පිණිස ද වරය මමත් ඔබට පවරා දෙමි.”
31සීමොන්, සීමොන්, මෙය අසන්න. තිරිඟු පොළන්නාක් මෙන් ඔබ සියලු දෙන පොළාලන්නට සාතන් අවසර ලබා ඇත.
32එහෙත්, ඔබේ ඇදහිල්ල නොබිඳෙන පිණිස ඔබ උදෙසා මම යාච්ඤා කෙළෙමි. ඔබ යළිත් හැරුණු පසු, ඔබේ සහෝදරයන් ධෛර්යවත් කරන්නැ”යි වදාළ සේක.
33ඔහු උත්තර දෙමින්, ”ස්වාමීනි, ඔබ හා සමඟ හිරේ යාමට හා මරණයට වුව ද මම සූදානම් ව සිටිමි”යි උන් වහන්සේට කී ය.
34ජේසුස් වහන්සේ කතා කරමින්, ”පේදුරු, මම මෙය ඔබට කියමි, ඔබ මා නොදන්නා බව තුන් වරක් කියන තුරු, අද රෑ කුකුළා නොහඬළන්නේ ය”යි වදාළ සේක.
35උන් වහන්සේ ඔවුන්ට වදාරමින්, ”පසුම්බියක් වත්, මල්ලක් වත්, පා වහන් වත් නැති ව මා ඔබ යැවූ කල කිසිවක් හිඟ වී දැ”යි ඇසූ සේක. ඔව්හු උත්තර දෙමින්, ”නැතැ”යි කී හ.
36උන් වහන්සේ ඔවුන්ට කතා කොට, ”එහෙත් දැන් පසුම්බියක් ඇති තැනැත්තා එය ගනී වා, එසේ ම මල්ලක් ද ගනී වා, කඩුවක් නැති තැනැත්තා තම සළුව විකුණා, කඩුවක් මිළ දී ගනී වා.
37මම මෙය ඔබට කියමි, ‘උන් වහන්සේ අපරාධකරුවන් සමඟ ගණන් ගනු ලැබී ය’යි ලියා තිබෙන ඒ කීම මා තුළින් මුදුන් පත් විය යුතු ය; මා ගැන ලියා ඇති දෙය සම්පූර්ණ වන්නේ ම ය”යි වදාළ සේක.
38ඔව්හු කතා කරමින්, ”ස්වාමීනි, බැලුව මැනව, කඩු දෙකක් මෙහි ඇතැ”යි කී හ. උන් වහන්සේ ද: ”ඔය ඇති”යි වදාළ සේක.
39එවිට ජේසුස් වහන්සේ පිටත් ව සිරිත් පරිදි ඔලීව කන්දට වැඩිය සේක; ශ්‍රාවකයෝ ද උන් වහන්සේ පසුපස්සේ ගියහ.
40උන් වහන්සේ එහි පැමිණි පසු කතා කොට, ”ඔබ පරීක්ෂාවට නොවැටෙන ලෙස යාච්ඤා කරන්නැ”යි වදාළ සේක.
41ගලක් ගසන තරම් දුරක් උන් වහන්සේ ඔවුන්ගෙන් ඈත් වී, දණින් හිඳ යාච්ඤා කරමින්,
42පියාණෙනි, ඔබ කැමැති සේක් නම්, මේ කුසලාන මාගෙන් පහ කළ මැනව. එහෙත්, මාගේ කැමැත්ත නොව ඔබේ කැමැත්ත වේ වා”යි වදාළ සේක.
43එකල දේව දූතයෙක් ස්වර්ගයෙන් පහළ වී, උන් වහන්සේ ශක්තිමත් කෙළේ ය.
44උන් වහන්සේ දැඩි සිත් වේදනාවෙන් පෙළුණු සේක්, වඩාත් ඕනෑකමින් යාච්ඤා කළ සේක. උන් වහන්සේගේ ඩාදිය ලේ බින්දු මෙන් බිම වැටිණි.
45උන් වහන්සේ යාච්ඤා කරමින් සිට නැඟිට, ශ්‍රාවකයන් වෙත අවුත්, ඔවුන් ශෝකය නිසා නිඳා හිඳිනු දැක,
46ඔබ නිඳා ඉන්නේ මන් ද? පරීක්ෂාවට නොවැටෙන පිණිස නැඟිට යාච්ඤා කරන්නැ”යි ඔවුන්ට වදාළ සේක.
47උන් වහන්සේ මෙවදන් පවසත් ම සමූහයක් පැමිණියහ. දොළොස් දෙනාගෙන් එක් කෙනෙක් වූ ජූදස් නමැත්තා ඔවුන්ට පෙරටුව අවුත්, ජේසුස් වහන්සේ සිඹින පිණිස උන් වහන්සේ වෙතට ළං විය.
48ජේසුස් වහන්සේ ද ”ජූදස්, ඔබ සිඹීමකින් මනුෂ්‍ය-පුත්‍රයාණන් පාවා දෙන්නෙහි දැ”යි ඇසූ සේක.
49උන් වහන්සේ සමඟ සිටි අය සිදු වන්න යන දෙය දැක, ”ස්වාමීනි, කඩු පහරක් දෙමු දැ”යි උන් වහන්සේගෙන් ඇසූ හ.
50ඔවුන්ගෙන් එක් කෙනෙක් උත්තම පූජකයාගේ දාසයාට ගසා, ඔහුගේ දකුණු කන කපා දැමී ය.
51එහෙත් ජේසුස් වහන්සේ, ”ඔය ඇති, නවතින්න,” කියා ඔහුගේ කන අතගා සුව කළ සේක.
52ජේසුස් වහන්සේ තමන්ට විරුද්ධ ව ආ නායක පූජකයන්ට ද දේව මාලිගාවේ මුර සෙබළුන්ට ද ප්‍රජා මූලිකයන්ට ද කතා කොට, ”ඔබ සොරෙකු හා සටනට මෙන් කඩු මුගුරු රැගෙන ආවාහු ද?
53දිනපතා මා දේව මාලිගාවෙහි ඔබ හා සමඟ සිටිය දී ඔබ මට විරුද්ධ ව අත් එසෙව්වේ නැත. එහෙත් මෙය ඔබගේ අවස්ථාව ය. අන්ධකාරය රජ කරන මොහොත ය”යි වදාළ සේක.
54ඔව්හු ජේසුස් වහන්සේ අල්ලාගෙන උත්තම පූජකයාගේ මැදුරට ගෙන ගියහ. පේදුරු ද ඈතින් පසුපස්සේ ගියේ ය.
55ඔවුන් මළුව මැද ගිනි මැලයක් ගසා එක් ව හිඳගෙන සිටිය දී, පේදුරු ඔවුන් මැද හිඳගත්තේ ය.
56එවිට එක් සේවිකාවක් ඔහු ගිනි මැලය ළඟ සිටිනු දැක, ඔහු දෙස හොඳට බලා, ”මේ මිනිසාත් ඔහු සමඟ සිටියේ ය”යි කීවා ය.
57ස්ත්‍රිය, නැත. මම ඔහු නාඳුනමි”යි පේදුරු කී ය.
58මඳ වේලාවකට පසු තවත් කෙනෙක් ඔහු දැක, ”ඔබත් ඔවුන්ගෙන් එක් කෙනෙක් ය”යි කී ය. පේදුරු පිළිතුරු දෙමින්, ”නැත, නැත, එසේ නොවේ ය”යි කී ය.
59පැයකට පමණ පසු තවත් කෙනෙක් කතා කොට, ”ඇත්තෙන් ම මොහුත් ඔහු සමඟ සිටියේ ය. මන්ද, මොහු ගලීලයෙකැ”යි තරයේ ම කියා සිටියේ ය.
60පේදුරු ද, ”ඔබ කියන දේ මට නොතේරේ” යයි කී ය. එකෙණෙහි ම, ඔහු කතා කරද්දී ම, කුකුළෙක් හැඬලී ය.
61සමිඳාණන් වහන්සේ හැරී පේදුරු දෙස බැලූ සේක. පේදුරු ද, ”අද කුකුළා හඬලන්නට පළමුවෙන් ‘ඔහු නාඳුනමි’යි තුන් වරක් ඔබ මා ගැන කියන්නෙහි ය”යි සමිඳාණන් වහන්සේ ඔහුට පැවසූ කීම සිහි කොට,
62පිටතට ගොස්, දැඩි දුකින් හැඬී ය.
63එකල ජේසුස් වහන්සේ අල්ලාගෙන සිටි මනුෂ්‍යයෝ උන් වහන්සේට කවට කම් කරමින් පහර දුන්හ.
64ඔව්හු ජේසුස් වහන්සේගේ ඇස් වසා බැඳ, ”ඔබට ගැසුවේ කවරෙක් ද කියා දිවැසින් කියන්නැ”යි උන් වහන්සේට කී හ.
65ඔව්හු තවත් බොහෝ දේ උන් වහන්සේට විරුද්ධ ව කියමින්, අපහාස කළහ.
66පහන් වූ කෙණෙහි ම, නායක පූජකයන් ද විනයධරයන් ද ඇතුළු ප්‍රජා මූලිකයන්ගේ සංගමය රැස් ව, සිය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට උන් වහන්සේ ගෙන ගොස්,
67ඔබ ක්‍රිස්තුස් ද? අපට කියන්නැ”යි කී හ. උන් වහන්සේ පිළිතුරු දෙමින්, ”මා ඔබට කීවත් ඔබ විශ්වාස කරන්නේ නැත;
68මා ඔබගෙන් ඇසුවත් ඔබ පිළිතුරු දෙන්නේ නැත.
69එහෙත් මෙතැන් පටන් මනුෂ්‍ය-පුත්‍රයාණන් දෙවියන් වහන්සේගේ බලපරාක්‍රමයේ දකුණු පස වැඩහිඳිනු ඇතැ”යි ඔවුන්ට වදාළ සේක.
70ඔව්හු සියල්ලෝ, ”එසේ නම් ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ දැ”යි ඇසූ හ. උන් වහන්සේ ද, ”මා එසේ බැව් පවසන්නේ ඔබ ම ය”යි වදාළ සේක.
71ඔව්හු ද, ”වෙන සාක්කියක් අපට කුමට ද? මෙය ඔහුගේ ම කටින් කියනවා අපගේ ම කණින් ඇසීමු”යි කී හ.
1එවිට ඒ මුළු සමූහයා නැඟිට, උන් වහන්සේ පිලාත් ඉදිරියට ගෙන ගියහ.
2ඔව්හු උන් වහන්සේ ගැන චෝදනා කරන්නට පටන්ගෙන, ”මොහු අපේ ජාතිය කැරලිගැසීමට පොළඹවන බවත්, අධිරාජයාට අයබදු දීම තහනම් කරන බවත්, තමා ක්‍රිස්තුස් නම් රජෙක් යයි කියාගන්න බවත් අපි දැනගතිමු”යි කී හ.
3පිලාත් කතා කරමින්, ”ඔබ ජුදෙව්වරුන්ගේ රජු දැ”යි උන් වහන්සේගෙන් ඇසී ය. ”එසේ කියන්නේ ඔබ ය”යි උන් වහන්සේ වදාළ සේක.
4එවිට පිලාත් නායක පූජකයන්ට ද සමූහයන්ට ද කතා කොට, ”මේ මනුෂ්‍යයා අත කිසි වරදක් මට නොපෙනේ ය”යි කී ය.
5එහෙත් ඔව්හු පිළිතුරු දෙමින්, ”මොහු ගලීලයේ සිට මෙතැන දක්වා ජුදය මුළුල්ලෙහි උගන්වමින් සෙනඟ කළඹන්නේ ය”යි තරයේ ම කියා සිටියහ.
6පිලාත් ඒ අසා, ”මේ මනුෂ්‍යයා ගලීලයෙක් දැ”යි විචාළේ ය.
7එවිට පිලාත් උන් වහන්සේ හෙරොද්ගේ ප්‍රදේශයට අයිති බව දැන, හෙරොද් ඒ දවස්වල ජෙරුසලමෙහි සිටි බැවින්, උන් වහන්සේ ඔහු වෙත යැවී ය.
8හෙරොද් ජේසුස් වහන්සේ දැක, ඉතා සන්තෝෂ විය. මන්ද, ඔහු උන් වහන්සේ ගැන අසා සිටි බැවින් බොහෝ කලෙක පටන් උන් වහන්සේ දකින්න ආශාවෙන් සිටියේ ය. උන් වහන්සේ යම් ආශ්චර්යයක් කරනු දැකීමට ද ඔහු බලාපොරොත්තු විය.
9ඔහු උන් වහන්සේගෙන් බොහෝ ප්‍රශ්න ඇසූ නමුත් උන් වහන්සේ කිසි පිළිතුරක් නුදුන් සේක.
10නායක පූජකයෝ ද විනයධරයෝ ද නැඟිට, උන් වහන්සේට තදින් වරද තැබූ හ.
11හෙරොද් තමාගේ සෙබළුන් සමඟ උන් වහන්සේ හෙළා දකිමින් සරදම් කොට, විචිත්‍ර වස්ත්‍රයක් හඳවා, උන් වහන්සේ පිලාත් වෙත පෙරළා යැවී ය.
12ඊට පෙර, කාලයක් ම මේ දෙදෙනා විරුද්ධවාදී ව සිටියත් ඒ දවසේ ම මිත්‍ර වූහ.
13පිලාත් නායක පූජකයන් ද ප්‍රධානීන් ද සෙනඟ ද රැස් කරවා,
14ඔවුන්ට කියනුයේ, ”ඔබ මේ මනුෂ්‍යයා සෙනඟ කැරලිගැසීමට පොළඹවන්නෙකැ යි කියා මා වෙත ගෙනාවහු ය. බලන්න, ඔබ ඉදිරියෙහි මා ඔහු විභාග කළ විට, ඔබ විසින් මොහුට විරුද්ධ ව කළ චෝදනාවලින් කිසිවක් ගැන ඔහු වරදකාරයෙකැ යි මට පෙනුණේ නැත;
15හෙරොද්ට ද පෙනුණේ නැත. හෙරොද් මොහු නැවත අප වෙත එවුයේ ඒ නිසා ය; බලන්න, මරණීය දණ්ඩනයට සුදුසු කිසිවක් ඔහු කර නැත.
16එබැවින් මම ඔහුට තළා නිදහස් කොට හරිමි”යි කී ය.
17h එසේ කීවේ පාස්කු මංගල්‍යයක දී එක මිනිසකු නිදහස් කර දීමට ඔහු බැඳී සිටි බැවිනි.
18එහෙත් සියල්ලෝ ම, ”මොහු මරාදමන්න, බරබ්බස් අපට නිදහස් කර දෙන්නැ”යි එක හඬින් මොරගැසූ හ.
19බරබ්බස් වනාහි නගරයේ සිදුවූ කැරලිගැසීමක් ද මිනී මැරීමක් ද නිසා හිරගෙට යවනු ලැබූවෙකි.
20පිලාත් ජේසුස් වහන්සේ මුදා හැරීමට කැමැති ව නැවතත් ඔවුන්ට කතා කෙළේ ය.
21එහෙත් ඔව්හු, ”මොහු කුරුසියෙහි ඇණ ගසන්න! කුරුසියෙහි ඇණ ගසන්න!” කියා මොරගැසූ හ.
22ඔහු තෙ වන වරටත් කතා කොට, ”කිමෙක් ද? මොහු කවර අපරාධයක් කෙළේ ද? මොහු අත මරණීය දණ්ඩනයට සුදුසු කිසිවක් නැත. එබැවින් මොහුට තළා මුදා හරිමි”යි කී ය.
23එහෙත්, උන් වහන්සේ කුරුසියෙහි ඇණ ගසන ලෙස ම ඉල්ලා ඔව්හු වැඩි වැඩියෙන් මොරගැසූ හ. ඔවුන්ගේ උද්ඝෝෂණය සාර්ථක විය.
24පිලාත් ඔවුන්ගේ ඉල්ලීම පරිදි තීන්දුව දුන්නේ ය.
25තවද, ඔහු කැරලිගැසීම හා මිනී මැරීම නිසා හිර ගෙයි දමා සිටි, සෙනඟ ඉල්ලූ තැනැත්තා මුදා හැරියේ ය. එහෙත් ඔහු ජේසුස් වහන්සේ ඔවුන්ගේ හිතුමනාපයට පාවා දුන්නේ ය.
26ඔව්හු උන් වහන්සේ ගෙන යන කල, පිටිසරින් පැමිණි සිරේනියේ සීමොන් නම් මනුෂ්‍යයෙකු අල්ලාගෙන, ජේසුස් වහන්සේ පසුපස්සෙන් කුරුසිය දරාගෙන යන පිණිස එය ඔහු පිට තැබූ හ.
27පොදු ජනයාගෙන් ද උන් වහන්සේ නිසා හඬා වැලපෙන ස්ත්‍රීන්ගෙන් ද යුක්ත වූ විශාල පිරිසක් උන් වහන්සේ පසුපස්සේ, ගමන් ගත්හ.
28ජේසුස් වහන්සේ ඔවුන් දෙසට හැරී, ”ජෙරුසලමේ දූවරුනි, මා නිසා නොහඬන්න, ඔබ සහ ඔබේ දරුවන් නිසා ම හඬන්න.
29වඳ ස්ත්‍රීහු ද කිසි කලෙක දරුවන් නොදැරූ කුස ද කිරි නුදුන් පියයුරු ද භාග්‍යවන්ත යයි පවසන දවස් පැමිණෙන්නේ ය.
30ඒ දවස්වල දී ඔව්හු කඳු අමතා, ‘අප පිට වැටෙන්න’ හෙල් අමතා, ‘අප වසාගන්නැ’යි කියන්න පටන්ගන්නෝ ය.
31මන්ද, ඔව්හු අමු ගසට මේ දේ කරත් නම්, වියළුණු ගසට කුමක් නො කරනු ඇද්දැ”යි වදාළ සේක.
32මරණ දඬුවමට වරදකරුවන් වූ තවත් දෙදෙනෙක් ද උන් වහන්සේ සමඟ ගෙන යන ලදහ.
33ඔව්හු කපාලපිටිය නම් ස්ථානයට පැමිණ, එහි දී උන් වහන්සේ කුරුසියෙහි ඇණ ගැසූ හ. වරදකරුවන්ගෙන් එක් කෙනෙකු උන් වහන්සේගේ දකුණු පස ද, අනික් එක්කෙනා වම් පස ද කුරුසිවල ඇණ ගැසූ හ.
34ජේසුස් වහන්සේ කතා කොට, ”පියාණෙනි, ඔවුන්ට කමා වුව මැනව; ඔවුන් කරන දෙය ඔව්හු නොදනිති”යි වදාළ සේක. ඔව්හු උන් වහන්සේගේ වස්ත්‍ර බෙදාගැනීම පිණිස දාදු දැමූ හ.
35සෙනඟ ද බලාගෙන සිටියහ. ප්‍රධානීහු උන් වහන්සේට ගැරහුම් කරමින්, ”මොහු අනුන් ගැළවීය; මොහු දෙවියන් වහන්සේගේ ක්‍රිස්තුස් නම්, උන් වහන්සේගේ තෝරාගත් තැනැත්තේ නම්, තමා ම ගළවා ගනීවා”යි කී හ.
36මුර සෙබළෝ ද උන් වහන්සේ ළඟට අවුත් උන් වහන්සේට කාඩි පිළිගන්වා,
37ඔබ ජුදෙව්වරුන්ගේ රජු නම්, ඔබ ඔබ ම ගළවාගන්න” කියා සරදම් කළහ.
38ජුදෙව්වරුන්ගේ රජ මොහු ය”යි කියා ලියන ලද පුවරු කඩක් උන් වහන්සේට ඉහළින් තබා තිබිණි.
39එල්ලා සිටි වරදකරුවන්ගෙන් එක් කෙනෙක් උන් වහන්සේට අපහාස කරමින්, ”ඔබ ක්‍රිස්තුස් නොවේ ද? ඔබ වත් ගළවාගෙන අප වත් ගළවා ගන්නැ”යි කී ය.
40අනෙකා ඔහුට තරවටු කරමින්, එම දඬුවමට පැමිණ සිටින ඔබ දෙවියන් වහන්සේට වත් බිය නැද් ද?
41අපට දඬුවම් ලැබීම සාධාරණ ය: අපට මේ ලැබෙන්නේ අපේ ක්‍රියාවලට සුදුසු විපාක හැටියට ය. එහෙත්, මේ තැනැත්තා කිසි ම වරදක් කර නැතැ”යි උත්තර දුන්නේ ය.
42තවද ඔහු, ”ජේසුස් වහන්ස, ඔබ රාජශ්‍රීයෙන් වඩිනා කල මා සිහි කළ මැනවැ”යි කී ය.
43උන් වහන්සේ ද, කතා කරමින් ”ඇත්තෙන් ම මම ඔබට කියමි, ඔබ මා සමඟ අද ම පාරාදීසයෙහි සිටින්නෙහි ය”යි වදාළ සේක.
44එය මද්දහන් වේලාව පමණ විය; රට පුරා අන්ධකාරයක් පහළ වී, එය සවස තුන දක්වා පැවතිණි.
45හිරු අඳුරු විය; දේව මාලිගාවේ තිරය දෙකඩ ව ඉරී ගියේ ය.
46ජේසුස් වහන්සේ මහ හඬින් මොරගසා, ”පියාණෙනි, ඔබ හස්තයට මාගේ ආත්මය භාර දෙමි”යි වදාළ සේක. මෙවදන් කියා උන් වහන්සේ අවසන් හුස්ම හෙළූ සේක.
47එවිට ශතාධිපතියා සිදු වූ දෙය දැක දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින්, ”සැබැවින් ම මේ මනුෂ්‍යයා නිදොස් කෙනෙකැ”යි කීවේ ය.
48මේ සිද්ධිය බැලීමට ආ සමූහයා සිදු වූ සියල්ල දැක, ළයට ගසාගනිමින් ආපසු ගියහ.
49උන් වහන්සේ දැන හැඳින සිටි සියල්ලෝ ද ගලීලයේ සිට උන් වහන්සේ සමඟ ආ ස්ත්‍රීහු ද ඒ දේ නරඹමින් දුරින් සිටියහ.
50ජුදෙව් නුවරක් වූ අරිමාතියෙන් පැමිණි ජෝසෙප් නම් මනුෂ්‍යයෙක් විය. ඔහු යහපත් දැහැමි තැනැත්තෙකි.
51ජුදා මන්ත්‍රණ සභාවෙහි ගරුතර සාමාජිකයෙකි. ඔහු ජුදෙව්වරුන්ගේ තීරණය හා ක්‍රියා කලාපය අනුමත නොකෙළේ ය; ඔහු දෙවියන් වහන්සේගේ රාජ්‍යය පිළිබඳ අපේක්ෂාවෙන් සිටියේ ය.
52ඔහු පිලාත් වෙත ගොස් ජේසුස් වහන්සේගේ මෘත දේහය ඉල්ලී ය.
53ඔහු එය පහතට ගෙන, සිහින් හණ රෙද්දකින් වෙළා, ඒ දක්වා කිසිවකු නොතැබූ, ගලක කණින ලද සොහොනක උන් වහන්සේ තැන්පත් කෙළේ ය.
54ඒ දවස සබත් දිනයට සූදානම් වීමේ දවස වන සිකුරාදා විය;
55ගලීලයේ සිට උන් වහන්සේ සමඟ ආ ස්ත්‍රීහු ගොස්, සොහොන් ගෙය ද උන් වහන්සේගේ මෘත දේහය තැන්පත් කළ අන්දම ද බලාගත්හ.
56ඔව්හු ආපසු අවුත් සුගන්ධ ද්‍රව්‍ය හා විලේපන සූදානම් කළහ. ව්‍යවස්ථාවට අනුකූල ව ඔව්හු සබත් දවසේ නිවාඩු ගත්හ.