කියවීම්
2028 අප්‍රේල් 4
Lenten Weekday/ Isidore of Seville, Bishop, Doctor
Isidore of Seville, Bishop, Doctor
First Reading
ගණන් කථාව 21: 4-9
4ඔව්හු හෝර් නම් කඳුකරයෙන් නික්ම රතු මුහුදට යන මාර්ගය ඔස්සේ ඒදොම් නම් දේශය වටකර ගියහ. මෙසේ යන විට සෙනඟ බොහෝ සේ අධෛර්යයට පත් වූ හ.
5සෙනඟ දෙවියන් වහන්සේට සහ මෝසෙස්ට විරුද්ධ ව කතා කරමින්, ”මේ පාළුකරයේ අප මැරෙන්නට ඇරීමට ඔබ අප මිසරයෙන් පිටතට ගෙනාවේ මන් ද? අපට කන්නත් නැත, බොන්නත් නැත. අපට ලැබෙන මේ සිල්ලර කෑම අපට දැන් තිත්ත වී ඇතැ”යි පැවසූ හ.
6එවිට සමිඳාණන් වහන්සේ සෙනඟ මැදට විසකුරු සර්පයන් එවූ විට, ඒ සර්පයෝ ඔවුන්ට දෂ්ට කළහ. ඉශ්රායෙල් සෙනඟ අතරේ බොහෝ දෙනෙක් නැසී ගියහ.
7එබැවින් සෙනඟ මෝසෙස් වෙත පැමිණ, ”අපි සමිඳාණන් වහන්සේටත්, ඔබටත් විරුද්ධ ව කතා කිරීමෙන් පව් කෙළෙමු. මේ සර්පයන් අප මැදින් ඉවත් කරන ලෙස උන් වහන්සේට යාච්ඤා කරන්නැ”යි ඉල්ලූ හ. මෝසෙස් ද සෙනඟ උදෙසා යාච්ඤා කෙළේ ය.
8සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, ”ලෝකඩ සර්පයෙකු සාදා රිටක් පිට තබන්න. දෂ්ට කරනු ලැබූ යමෙක් ඇද්ද, ඔහු එය දෙස බැලුවහොත්, සුව වනු ඇතැ”යි වදාළ සේක.
9එවිට මෝසෙස් ලෝකඩ සර්පයෙකු සාදා ඌ රිටක් පිට තැබී ය. සර්පයෙක් යමෙකු දෂ්ට කෙළේ ද ඒ තැනැත්තා ලෝකඩ සර්පයා දෙස බැලූ විට ඔහු සුවපත් විය.
Responsorial Psalm
ගීතාවලිය 102: 2-3, 16-18, 19-21
2මාගේ විපත්ති සමයේ දී ඔබේ මුහුණ මා කෙරෙන් සඟවා නොගත මැනව; යැදුම් පුදන විට මට සවන් දී නොපමා ව පිළිතුරු දුන මැනව.
3මන්ද, මාගේ දවස් දුම් මෙන් පහ වී යයි, මාගේ ඇටකටු ගිනි උදුනක් මෙන් දැවෙයි.
16සමිඳාණෝ සියොන් යළි ගොඩනඟන සේක; සිය මහිමාලංකාරයෙන් ප්‍රකාශ වන සේක.
17එතුමාණෝ අසරණයන්ගේ යැදුමට සවන් දෙන සේක; ඔවුන්ගේ යැදුම හෙළා නොදකින සේක.
18මේ තාක් නූපන් අය ඔබට පැසසුම් කරන පිණිස, මතු එන පරම්පරාව උදෙසා මෙය සටහන් කරනු ලැබේ වා!
19සමිඳාණෝ සිය ශුද්ධස්ථානයේ සිට පහත බැලූ සේක; එතුමාණෝ ස්වර්ගයේ සිට පොළොව දෙස බැලූ සේක.
20එසේ කෙළේ, සිරකරුවන්ගේ දුක් සුසුම් අසන්න ය; මරණයට නියම වූවන් මුදන්න ය.
21ජනයෝ සියොන්හි දී සමිඳුන්ගේ නාමයත් ජෙරුසලමේ දී එතුමන්ගේ ප්‍රශංසාවත් පළ කරන්නෝ ය.
Gospel
ශුද්ධ වූ ජොහන් 8: 21-30
21ජේසුස් වහන්සේ යළිත් ඔවුන්ට කතා කොට, ”මම ඉවත් ව යමි. ඔබ මා සොයන්නහු ය. එහෙත් ඔබ ඔබේ පාපයෙහි මැරෙන්නහු ය. මා යන ස්ථානයට ඔබට එන්නට නොහැකි ය”යි වදාළ සේක.
22එවිට ජුදෙව්වරු, ” ‘ මා යන ස්ථානයට ඔබට එන්නට නොහැකි ය’යි මොහු කියන්නේ සිය පණ හානි කරගන්නට යන නිසා වත් දැ”යි ඇසූ හ.
23එබැවින් උන් වහන්සේ, කතා කොට, ”ඔබ මෙලොවින් වන්නහු ය; මම එලොවින් වන්නෙමි. ඔබ මේ ලෝකයෙන් ය; මම මේ ලෝකයෙන් නොවෙමි.
24ඔබේ පාපයෙහි ම ඔබ මැරෙන්නහු යයි මා කීවේ එබැවිනි. මම උන් වහන්සේ ම යයි ඔබ පිළිගත්තොත් මිස ඔබේ පාපයෙහි ම ඔබ මැරෙන්නහු ය”යි වදාළ සේක.
25එබැවින් ඔව්හු, ”ඔබ කවරහු දැ”යි ඇසූ හ. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, ”මා ඔබට කී පරිදි, මම මුල සිට ම ඔබට කී තැනැත්තා ම ය.
26ඔබ ගැන කියන්නටත් විනිශ්චය කරන්නටත් බොහෝ දේ මට ඇත. එහෙත් මා එවා වදාළ තැනැන් වහන්සේ සත්‍යය බැවින් උන් වහන්සේගෙන් මා ඇසූ දේ මම ලෝකයාට ප්‍රකාශ කරමි”යි වදාළ සේක.
27උන් වහන්සේ පියාණන් වහන්සේ ගැන කතා කළ බව ඔවුන්ට අවබෝධ නො වී ය.
28එබැවින් ජේසුස් වහන්සේ කතා කොට, ”ඔබ මනුෂ්‍ය-පුත්‍රයාණන් ඔසවා ලූ කල මා උන් වහන්සේ ම බවත්, පියාණන් වහන්සේ මට ඉගැන්වූ ලෙස මෙසේ කතා කරනවා මිස, මාගේ ම අධිකාරිත්වයෙන් මා කිසිවක් නොකරන බවත්, ඔබට අවබෝධ වනු ඇත.
29මා එවා වදාළ තැනැන් වහන්සේ මා සමඟ වැඩ වසන සේක. උන් වහන්සේ මා තනි වෙන්නට නොහැරිය සේක. මන්ද, මා නිරතුරු උන් වහන්සේට ප්‍රිය මනාප දේ කරන බැවිනි”යි වදාළ සේක.
30උන් වහන්සේ මෙසේ කතා කරන අතර, බොහෝ දෙනෙක් උන් වහන්සේ අදහාගත්හ.