කියවීම්
2028 අප්‍රේල් 16
Easter Sunday. The Resurrection of Our Lord and Savior Jesus Christ.
දවසේ දේව මෙහෙය
First Reading
ක්‍රියා 10: 34a, 37-43
34එවිට පේදුරු මෙසේ කී ය: ”දෙවියන් වහන්සේ මිනිසුන්ගේ තරාතිරම් නොබලන බව දැන් මට සැබැවින් ම පැහැදිලි ය.
37ජොහන් ප්‍රකාශ කළ බව්තීස්ම-ස්නාපනයට පසු ගලීලය පටන් ජුදය මුළුල්ලෙහි සිදු වූ දේ ඔබ දන්නහු ය;
38දෙවියන් වහන්සේ ශුද්ධාත්මයෙන් ද බලයෙන් ද නාසරෙත්හි ජේසුස් වහන්සේ ආලේප කළ සැටිත්, දෙවියන් වහන්සේ උන් වහන්සේ සමඟ සිටි බැවින්, උන් වහන්සේ යහපත් ක්‍රියා කරමින් ද යක්ෂයා විසින් පීඩා කරන ලද සියල්ලන් සුව කරමින් ද හැසුරුණ සැටිත් ඔබ දන්නහු ය.
39උන් වහන්සේ ජුදෙව්වරුන්ගේ රටෙහි ද ජෙරුසලමෙහි ද කළ සියල්ලට අපි සාක්ෂිකරුවෝ වම්හ. ඔව්හු උන් වහන්සේ ගසක එල්ලා මැරූ හ.
40එහෙත් දෙවියන් වහන්සේ තුන් වන දා උන් වහන්සේ උත්ථාන කොට දර්ශනය වන්නට සැලැස්සූ සේක.
41උන් වහන්සේ සියල්ලනට ම පෙනුණේ නැත. පෙනුණේ, දෙවියන් වහන්සේ විසින් කලින් තෝරාගන්නා ලද සාක්ෂිකරුවන් වන, උන් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වූ පසු උන් වහන්සේ සමඟ එකට කෑවා වූ, බීවා වූ, අපට ම ය.
42ජීවත් වන්නවුන්ගේ ද මළවුන්ගේ ද විනිශ්චයකාරයාණන් වන පිණිස දෙවියන් වහන්සේ විසින් නියම කරන ලද තැනැත්තාණන්, උන් වහන්සේ බව සෙනඟට ප්‍රකාශ කරන්නටත්, සාක්ෂි දෙන්නටත්, උන් වහන්සේ අපට අණ කළ සේක.
43උන් වහන්සේ අදහන සියල්ලනට උන් වහන්සේගේ නාමයේ අනුහසින් පව් කමාව ලැබෙන බවට සියලු දිවැසිවරයෝ සාක්ෂි දෙති”යි කී ය.
Responsorial Psalm
ගීතාවලිය 118: 1-2, 16-17, 22-23
1සමිඳුන්ට ස්තුති කරන්න. මන්ද, එතුමාණෝ යහපත් ය. එතුමන්ගේ තිර පෙම සදාකාලයට පවත්නේ ය.
2එතුමන්ගේ තිර පෙම සදාකාලයට පවත්නේ ය”යි ඉශ්රායෙල් දැන් කියත් වා!
16සමිඳුන්ගේ බාහු බලය උදාර ය. සමිඳුන්ගේ බාහු බලය විකුම් දක්වයි.
17මම නොනැසී, ජීවත් ව සිටින්නෙමි; සමිඳුන්ගේ ක්‍රියා ප්‍රකාශ කරන්නෙමි.
22ගෘහ ශිල්පීන් ඉවත ලූ ගල ම මුල් ගල වී ඇත.
23මෙය සමිඳුන්ගේ ක්‍රියාවකි; එය අපේ දෙනෙතට අසිරිමත් ය.
Second Reading
කොලොස් 3: 1-4 or First Corinthians 5: 6b-8
1ඔබ ක්‍රිස්තුන් වහන්සේ සමඟ උත්ථාන කරනු ලැබූ බැවින්, දෙවියන් වහන්සේගේ දකුණු පස වැඩ හිඳින ක්‍රිස්තුන් වහන්සේ වැඩ සිටින තැන ඇති, ලොව්තුරු දේ ප්‍රාර්ථනා කරන්න.
2ලෞකික දේ කෙරෙහි නොව, ලොව්තුරු දේ කෙරෙහි ඔබේ සිත යොමු කරන්න.
3මන්ද, ඔබ මැරුණු බැවින් දැන් ඔබේ ජීවිතය ක්‍රිස්තුන් වහන්සේ සමඟ දෙවියන් වහන්සේ තුළ සැඟවී පවතියි.
4අපේ ජීවනය වන ක්‍රිස්තුන් වහන්සේ ප්‍රකාශ වන විට, ඔබත් උන් වහන්සේ සමඟ තේජසින් ප්‍රකාශ වනු ඇත.
Alleluia
1 කොරින්ති 5: 7b-8a
පාඨ අන්තර්ගතය ලබා ගත නොහැක.
Gospel
ශුද්ධ වූ ජොහන් 20: 1-9 or Matthew 28: 1-10 or, at an afternoon or evening Mass, Luke 24: 13-35
1සතියේ පළමු වන දා හිමිදිරියේ ම, අඳුර තිබිය දී, මග්දලායේ මරියා සොහොන් ගෙය ළඟට අවුත්, සොහොන් ගෙයින් ගල ඉවත් කොට තිබෙන බව දුටුවා ය.
2එබැවින් ඈ සීමොන් පේදුරු ද ජේසුස් වහන්සේ ප්‍රේම කළ අනික් ශ්‍රාවකයා ද වෙත දුව ගොස්, ”ඔවුන් සමිඳාණන් වහන්සේ සොහොන් ගෙයින් ඉවතට ගෙන ගොස් තිබේ; ඔවුන් උන් වහන්සේ කොතැනක තැබුවා ද කියා අපි නොදනිමු”යි කීවා ය.
3එවිට පේදුරු ද අනික් ශ්‍රාවකයා ද නික්ම විත් සොහොන් ගේ දෙසට ගියහ.
4දෙදෙනා ම එක් ව දිව්වෝ ය. අනික් ශ්‍රාවකයා පේදුරු පසු කර දුව ගොස් පළමුවෙන් සොහොන් ගෙට පැමිණ,
5නැමී බලා, සිහින් හණ රෙදි එහි තිබෙන බව දිටී ය. එහෙත් ඔහු ඇතුළට නොගියේ ය.
6සීමොන් පේදුරු ඔහුට පසුව පැමිණ සොහොන් ගේ ඇතුළට ගොස්, හණ රෙදි එහි තිබෙන බවත්,
7උන් වහන්සේගේ හිස ඔතා තිබූ රෙදි කඩ, හණ රෙදි සමඟ නොව, වෙන ම එක් තැනෙක අකුළා තිබෙන බවත් දුටුවේ ය.
8එකල සොහොන් ගේ ළඟට පළමුවෙන් පැමිණි ඒ අනික් ශ්‍රාවකයා ද, ඇතුළට ගොස් දැක විශ්වාස කෙළේ ය.
9උන් වහන්සේ මළවුන්ගෙන් නැඟිට වදාළ යුතු යයි ලියන ලද ශුද්ධ ලියවිල්ල, ඒ වන තුරු ඔවුන් තේරුම් ගෙන සිටියේ නැත.