අප්‍රේල් 2028

බ්‍ර සි සෙ
1
2345678
9101112131415
16171819202122
23242526272829
30
අද දිනට

කියවීම්

2028 අප්‍රේල් 23

Second Sunday of Easter

දවසේ දේව මෙහෙය
First Reading

ක්‍රියා 5: 12-16

12ප්‍රේරිතයන් විසින් ජනයා අතර කරන ලද ලකුණු ද අරුමපුදුම දේ ද බොහෝ විය. ඔව්හු සියලු දෙනා ම එක්සිත් ව සලමොන්ගේ සක්මන් මළුවෙහි රැස් වූ හ. 13සෙසු අයගෙන් කිසිවෙක් ඔවුන් හා එක් වන්නට තරම් ධෛර්යවත් නො වූ හ. එසේ වුව ද ජනයා ඔවුන් පැසසූ හ. 14සමිඳාණන් වහන්සේ අදහාගත් අයගේ සංබ්‍යාව තව තවත් වැඩි විය. ඒ මහා ජනකාය ස්ත්‍රී-පුරුෂ දෙපක්ෂයෙන් සමන්විත විය. 15එබැවින් පේදුරු මඟ යන විට, ඔහුගේ සෙවණැල්ල වත් රෝගීන් මත වැටෙන පිණිස, ඔව්හු ඔවුන් මහ මඟට ගෙනැවිත් යහන්වල ද පැදුරුවල ද තැබූ හ. 16ජෙරුසලම අවට නුවරවලින්, රෝගාතුරයන් ද දුෂ්ටාත්මයන්ගෙන් පීඩිත වූවන් ද රැගත් ජනකායක් රැස් වූ හ. ඒ සියල්ලෝ ම සුවය ලැබූ හ.
Responsorial Psalm

ගීතාවලිය 118: 2-4, 13-15, 22-24

2එතුමන්ගේ තිර පෙම සදාකාලයට පවත්නේ ය”යි ඉශ්රායෙල් දැන් කියත් වා! 3එතුමන්ගේ තිර පෙම සදාකාලයට පවත්නේ ය”යි ආරොන්ගේ වංශය දැන් කියත් වා! 4සමිඳුන්ගේ තිර පෙම සදාකාලයට පවත්නේ ය”යි එතුමන් කෙරෙහි ගරුබිය ඇත්තෝ දැන් කියත් වා! 13වැටෙන පිණිස මම තදින් තල්ලු කරන ලදිමි; එහෙත්, සමිඳාණෝ මට පිහිට වූ සේක. 14සමිඳාණෝ මාගේ සවිය ද ගීය ද වෙති; එතුමාණෝ මාගේ ගැළවුම්කාරයාණෝ ය. 15ප්‍රීතිවීමේ හා ගැළවීමේ හඬට සවන් දෙන්න. දමිටුන්ගේ කූඩාරම්වල ජය නාදය ඇසේ. සමිඳුන්ගේ බාහු බලය විකුම් දක්වයි. 22ගෘහ ශිල්පීන් ඉවත ලූ ගල ම මුල් ගල වී ඇත. 23මෙය සමිඳුන්ගේ ක්‍රියාවකි; එය අපේ දෙනෙතට අසිරිමත් ය. 24මෙන්න, සමිඳුන්ගේ ජය මංගල දිනය! මෙදින අපි ප්‍රීති වමු; සන්තෝෂ වමු.
Second Reading

එළිදරව් 1: 9-11a, 12-13, 17-19

9ඔබගේ සහෝදරයා වන, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ දුක් පීඩාවල ද, උන් වහන්සේගේ රාජ්‍යයේ ද, ඔබේ ඉවසිල්ලේ ද පංගුකාරයා වන, ජොහන් නම් මම, පැට්මොස් නම් දිවයිනෙහි සිටියෙමි. මා එහි සිටියේ දෙවියන් වහන්සේගේ පණිවුඩය දේශනා කිරීම නිසාත්, ජේසුස් වහන්සේ ගැන සාක්ෂි දීම නිසාත් ය. 10සමිඳාණන් වහන්සේගේ දවසේ දී මම ආත්මයාණන් වහන්සේ තුළ සිටියෙමි. එවිට හොරණෑ හඬක් වැනි මහත් ශබ්දයක් මා පිටුපසින් ඇසිණි. 11ඔබ දකින දර්ශන පොතක ලියා, එපීසය, ස්මර්ණය, පෙර්ගමම්, තියාතිරා, සර්දිස්, පිලදෙල්පියාව, ලවෝදීසය යන මේ සභා සතට යවන්නැ”යි ඒ හඬ පැවසී ය. 12එකල මට කතා කළ ඒ ශබ්දය කිමෙක් දැ යි බලන පිණිස මම හැරුණෙමි. එසේ හැරුණු කල, රන් පහන් රුක් සතක් ද, 13ඒ පහන් රුක් මැද, පාද දක්වා වස්ත්‍රයක් හැඳ, ළය රන් පටියක් බැඳගෙන සිටි, මනුෂ්‍ය පුත්‍රයෙකු වැනි තැනැත්තෙකු ද දිටිමි. 17උන් වහන්සේ දුටු කල, මම මළ තැනැත්තෙකු මෙන් උන් වහන්සේ පාමුල වැටුණෙමි. උන් වහන්සේ සිය දකුණත මා පිට තබා මෙසේ වදාළ සේක: ”බිය නොවන්න. මම පළමුවැන්නා සහ අන්තිමයා ය, 18ජීවමාන තැනැත්තා ය. මම මැරුණෙමි; එහෙත් බලන්න, මම සදහට ම ජීවත් ව සිටිමි. මරණයේ ද පාතාල ලෝකයේ ද යතුරු මට ඇත. 19එබැවින් ඔබ දුටු දේ ද දැන් තිබෙන දේ ද මතු සිදු වන්නට යන දේ ද වන ඔබ දකින මේ දේවල් ගැන ලියන්න.
Alleluia

ශුද්ධ වූ ජොහන් 20: 29

29එවිට ජේසුස් වහන්සේ, ”ඔබ මා දුටු බැවින් අදහාගත්තෙහි ය. නුදුටු නමුත් අදහන්නො‍් භාග්‍යවන්තයෝ ය”යි වදාළ සේක.
Gospel

ශුද්ධ වූ ජොහන් 20:19-31

19සතියේ පළමු වන දා වූ එදා සවස ජුදෙව්වරුන්ට බියෙන් ශ්‍රාවකයන් දොරවල් වසාගෙන සිටි තැනට ජේසුස් වහන්සේ වැඩම කර ඔවුන් මැද සිට, ”ඔබට ශාන්තිය වේ වා!’යි වදාළ සේක. 20උන් වහන්සේ මෙසේ වදාරා තමන් අත් ද ඇලය ද ඔවුන්ට පෙන්වූ සේක. ශ්‍රාවකයෝ සමිඳාණන් වහන්සේ දුටු කල ප්‍රීතියෙන් පිනාගියහ. 21ඔබට ශාන්තිය වේ වා!”යි යළිත් උන් වහන්සේ ඔවුන්ට වදාරා ”පියාණන් වහන්සේ මා එවා වදාළාක් මෙන් මම ද ඔබ යවමි”යි ඔවුන්ට කී සේක. 22උන් වහන්සේ ඉක්බිති ඔවුන් පිට හුස්ම හෙළා, ”ශුද්ධාත්මයාණන් පිළිගන්න; 23ඔබ යමෙකුගේ පව් කමා කරන්නහු ද, ඒවා ඔවුන්ට කමා කරනු ලැබේ; ඔබ යමෙකුගේ පව් කමා නොකරන්නහු ද, ඒවා කමා නොකරනු ලැබේ ය”යි ඔවුන්ට වදාළ සේක. 24ජේසුස් වහන්සේ වැඩිය කල, දොළොස් දෙනාගෙන් එක් කෙනෙක් වූ ‘නිවුන් දරුවා’ යයි නම් ලත් තෝමස් ඔවුන් සමඟ නොසිටියේ ය. 25එහෙයින් සෙසු ශ්‍රාවකයෝ, ”අපි සමිඳාණන් වහන්සේ දුටිමු”යි ඔහුට කී හ. එහෙත් ඔහු කතා කොට, ”උන් වහන්සේගේ අත්වල ඇණ කැළැල් දැක, ඇණ ගසා තිබූ තැන්වල මාගේ ඇඟිල්ල තබා, උන් වහන්සේගේ ඇලයෙහි මාගේ අත දමා බැලුවොත් මිස, නැත්නම් විශ්වාස නොකරමි”යි කී ය. 26අට දවසකට පසු උන් වහන්සේගේ ශ්‍රාවකයෝ නිවස තුළට වී සිටියෝ ය. තෝමස් ද ඔවුන් සමඟ සිටියේ ය. දොරවල් වසා තිබිණි. එහෙත්, ජේසුස් වහන්සේ පැමිණ, ඔවුන් මැද වැඩ සිට: ”ඔබට ශාන්තිය වේ වා!”යි වදාළ සේක. 27ඉන්පසු උන් වහන්සේ තෝමස් අමතා, ”ඔබේ ඇඟිල්ල මෙහි බහා මාගේ අත් බලන්න; ඔබේ අත දිගු කර මාගේ ඇලයෙහි තබන්න. අවිශ්වාස නොකර විශ්වාස කරන්නැ”යි වදාළ සේක. 28තෝමස් පිළිතුරු දෙමින්, ”මාගේ ස්වාමීනි, මාගේ දෙවියෙනි”යි උන් වහන්සේට කී ය. 29එවිට ජේසුස් වහන්සේ, ”ඔබ මා දුටු බැවින් අදහාගත්තෙහි ය. නුදුටු නමුත් අදහන්නො‍් භාග්‍යවන්තයෝ ය”යි වදාළ සේක. 30මේ පොතෙහි ලියා නැති වෙනත් බොහෝ හාස්කම් ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන් ඉදිරියෙහි සිදු කළ සේක. 31එහෙත් මේවා ලියන ලද්දේ, ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍ර වන ක්‍රිස්තුවරයාණන් බව ඔබ අදහාගන්නා පිණිසත්, ඇදහීමෙන් ජීවනය ලබන පිණිසත් ය.