කියවීම්
2028 අප්‍රේල් 30
Third Sunday of Easter
දවසේ දේව මෙහෙය
First Reading
ක්‍රියා 5: 27-32, 40b-41
27ඔව්හු ඔවුන් ගෙනවුත් මන්ත්‍රණ සභාව ඉදිරියෙහි සිටෙව්වෝ ය. උත්තම පූජකයා ඔවුන් අමතා,
28මේ මිනිසාගේ නාමයෙන් නූගන්වන ලෙස අපි ඔබට අණ කෙළෙමු. එහෙත් ඔබ, ඔබගේ මේ ධර්මය ජෙරුසලම පුරා පතළ කර, මේ මිනිසාගේ මරණය ගැන අප වගකිව යුත්තන් කරන්නට අදහස් කරන්නහු දැ”යි ඇසූ හ.
29එවිට පේදුරු සහ ප්‍රේරිතයෝ පිළිතුරු දෙමින්, ”අප මිනිසුන්ට නොව දෙවියන් වහන්සේට කීකරු විය යුතු ය.
30අප පියවරුන්ගේ දෙවියන් වහන්සේ, ඔබ විසින් ගසක එල්ලා මරණයට පත් කළ ජේසුස් වහන්සේ උත්ථාන කොට වදාළ සේක.
31එම තැනැන් වහන්සේ නායකයාණන් ද ගැළවුම් කාරයාණන් ද වන පිණිස දෙවියන් වහන්සේ සිය දකුණතින් දකුණතට උසස් කර වදාළ සේක. එසේ කෙළේ, ඉශ්රායෙල්ට පසුතැවී සිත් හරවා ගැනීමත් පව් කමාවත් දෙන පිණිස ය.
32මේ කරුණුවලට අපි සාක්ෂිකාරයෝ වෙමු. දෙවියන් වහන්සේට කීකරු වන අයට ප්‍රදානය කර ඇති ශුද්ධාත්මයාණන් වහන්සේ ද අප සමඟ, සාක්ෂිකාරයෙක් වන සේකැ”යි කී හ.
40ඉන්පසු ඔව්හු ප්‍රේරිතයන් තමන් වෙතට ගෙන්වා, කස පහර දී, ජේසුස් වහන්සේගේ නාමයෙන් කතා නොකරන්නට අණ කොට ඔවුන් නිදහස් කර යැවූ හ.
41එවිට ප්‍රේරිතයෝ ඒ නාමය උදෙසා නින්දා විඳීමේ භාග්‍යය ගැන ප්‍රීති වෙමින්, මන්ත්‍රණ සභාවෙන් ඉවත් ව ගියහ.
Responsorial Psalm
ගීතාවලිය 30: 2 and 4, 5-6, 11-12, 13
2මාගේ දෙවි සමිඳුනි, ඔබට යාදිනි කීවෙමි, ඔබ මට සුව සෙත දුන් සේක.
4පින්වතුනි, සමිඳුන්ට ගී පසස් නඟන්න; ඒ නිර්මල නාමයට තුති ගී ගයන්න.
5මන්ද, එතුමන්ගේ උදහස ඇසිල්ලකට පමණ ය. එතුමන්ගේ කරුණාව දිවි ඇති තාක් ය. රැයේ හැඬීම පවතියි; උදය ප්‍රීතිය උදා වෙයි.
6සැප සම්පතේ දී කිසිදාක මම නොසෙල්වෙන්නෙමි”යි කියා ගතිමි.
11ඔබ මාගේ දොම්නස සොම්නසට හැරෙවු සේක. ඔබ මාගේ ගෝණි රෙදි මුදා තුටු පිළියෙන් මා සැරසූ සේක.
12දැන් ඉතින් මම නිහඬ ව නොසිටිමි. ඔබට ගී පසස් ගයන්නෙමි. මාගේ දෙවි සමිඳුනි, සදහට ම ඔබ හට ගී ගයන්නෙමි.
Second Reading
එළිදරව් 5: 11-14
11එවිට මා බැලූ කල, සිංහාසනය ද ජීවමාන සත්ත්වයන් ද කුලදෙටුවන් ද සිසාරා සිටි මහා දේව දූත පිරිසක් දිටිමි. ඔවුන්ගේ හඬ ද මට ඇසුණේ ය. ඔවුන්ගේ ගණන දස දහසක් වර දස දහසක් ද දහස් වර දහසක් ද විය.
12ඔව්හු මහ හඬින් මෙසේ කී හ: ”මරනු ලැබූ බැටළු පෝතකයාණෝ බලය ද ධනය ද ප්‍රඥාව ද පරාක්‍රමය ද ගෞරවය ද මහිමය ද ප්‍රශංසාව ද ලබන්නට සුදුසු තැනැන් වහන්සේ ය.”
13තවද, ස්වර්ගයෙහි ද පොළොවෙහි ද පොළොව යට ද මුහුදෙහි ද යන මුළු ලෝකයෙහි ඇති සියලු සත්ත්වයන්: ”සිංහාසනයෙහි වැඩ සිටින තැනැන් වහන්සේටත්, බැටළු පෝතකයාණන්ටත් ප්‍රශංසාව ද ගෞරවය ද මහිමය ද පරාක්‍රමය ද සදහට ම වේ වා!”යි කියනු ඇසීමි.
14ජීවමාන සත්ත්වයෝ සතර දෙනා ද ”ආමෙන්” යයි කී හ. කුලදෙටුවෝ වැඳ වැටී නමස්කාර කළහ.
Gospel
ශුද්ධ වූ ජොහන් 21: 1-19
1ඉන්පසු ජේසුස් වහන්සේ තිබේරියස් නම් මුහුද ළඟ දී ශ්‍රාවකයන්ට නැවත දර්ශනය වූ සේක. උන් වහන්සේ දර්ශනය වූයේ මේ අයුරින් ය.
2සීමොන් පේදුරු ද ‘නිවුන් දරුවා’ නම් වූ තෝමස් ද ගලීලයේ කානාහි නතානියෙල් ද සෙබදීගේ පුත්‍රයෝ ද උන් වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් තවත් දෙදෙනෙක් ද එක් ව සිටියෝ ය.
3සීමොන් පේදුරු, ”මම මසුන් අල්ලන්න යමි”යි ඔවුන්ට කී ය. ”අපිත් ඔබ සමඟ එමු”යි ඔව්හු ඔහුට කී හ. ඔව්හු පිටත් ව ගොස් ඔරුවට නැංගා හ. එහෙත් ඒ රාත්‍රියේ ඔවුන් කිසිවක් ඇල්ලුවේ නැත.
4පහන් වූ කල ජේසුස් වහන්සේ වෙරළෙහි සිටි සේක. එසේ වුවත්, ඒ ජේසුස් වහන්සේ බව ශ්‍රාවකයෝ නොදත්හ.
5එවිට ජේසුස් වහන්සේ, ”මිත්‍රයෙනි, ඔබ ළඟ මාළු තිබේ දැ”යි ඔවුන්ගෙන් ඇසූ සේක. ඔව්හු, ”නැතැ”යි කී හ.
6උන් වහන්සේ ඔවුන් අමතමින්, ”ඔරුවේ දකුණු පැත්තෙන් දැල හෙළන්න, එවිට සම්බ වනු ඇතැ”යි වදාළ සේක. එසේ දැල හෙළූ කල, අසුවූ මසුන් රාශිය නිසා දැල ඇද ගන්නට වත් ඔවුන්ට නොහැකි විය.
7ජේසුස් වහන්සේ ප්‍රේම කළ ශ්‍රාවකයා පේදුරුට කතා කොට, ”අන්න, ඒ සමිඳාණන් වහන්සේ ය”යි කී ය. එවිට සීමොන් පේදුරු ඒ සමිඳාණන් වහන්සේ බව අසා, තමා ඉණ රෙද්ද ලිහාදමා සිටි බැවින්, වහා එය ඇඳගෙන මුහුදට පැන්නේ ය.
8එහෙත් සෙසු ශ්‍රාවකයෝ මසුන්ගෙන් පිරුණු දැල ඇදගෙන, කුඩා ඔරුවෙන් ආහ. ඔව්හු වෙරළට නුදුරු ව මීටර් සියයක් පමණ ඈතින් සිටියහ.
9ඔව්හු ගොඩට ආ විට එහි ගිනි අඟුරු ද ඒ පිට මාළු තිබෙන බව ද රොටි ද දුටුවෝ ය.
10ඔබ දැන් ඇල්ලූ මසුන්ගෙන් ස්වල්පයක් ගෙනෙන්නැ”යි ජේසුස් වහන්සේ ඔවුන්ට වදාළ සේක.
11සීමොන් පේදුරු ඔරුවට නැඟී, ලොකු මසුන් එකසිය පණස්තුන් දෙනෙකුගෙන් පිරුණු දැල ගොඩට ඇද්දේ ය. එපමණ තිබුණ නමුත් දැල ඉරුණේ නැත.
12ජේසුස් වහන්සේ කතා කොට, ”එන්න, අනුභව කරන්නැ”යි ඔවුන්ට වදාළ සේක. ඒ සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැන සිටි හෙයින්, ”ඔබ කවුරු දැ”යි උන් වහන්සේගෙන් අසන්නට ශ්‍රාවකයන්ගෙන් කිසිවෙකුට වත් ධෛර්යය නොතිබිණි.
13ජේසුස් වහන්සේ ඇවිත්, රොටි රැගෙන ඔවුන්ට දුන් සේක; එසේ ම මාළුත් දුන් සේක.
14මේ වනාහි ජේසුස් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වූ පසු ශ්‍රාවකයන්ට දර්ශනය වූ තුන් වන වතාව ය.
15මෙසේ ඔවුන් ආහාර වැළඳූ පසු ජේසුස් වහන්සේ සීමොන් පේදුරුට කතා කොට, ”ජොහන්ගේ පුත්‍ර වූ සීමොන්, මොවුන්ට වඩා ඔබ මට ප්‍රේම කරන්නෙහි දැ”යි ඇසූ සේක. ඔහු, ”එසේ ය ස්වාමීනි, මා ඔබට ප්‍රේම කරන බව ඔබ දන්නා සේකැ”යි පිළිතුරු දුන්නේ ය. උන් වහන්සේ, ”මාගේ බැටළු පැටවුන් පෝෂණය කරන්නැ”යි ඔහුට වදාළ සේක.
16නැවත දෙ වන වරටත්, ”ජොහන්ගේ පුත්‍ර වූ සීමොන් ඔබ මට ප්‍රේම කරන්නෙහි දැ”යි ඔහුගෙන් ඇසූ සේක. ඔහු, ”එසේ ය, ස්වාමීනි, මා ඔබට ප්‍රේම කරන බව ඔබ දන්නා සේකැ”යි පිළිතුරු දුන්නේ ය. උන් වහන්සේ ද, ”මාගේ බැටළුවන්ගේ එඬේරා වන්නැ”යි වදාළ සේක.
17උන් වහන්සේ තුන් වන වරටත් ඔහුට කතා කොට, ”ජොහන්ගේ පුත්‍ර වූ සීමොන්, ඔබ මට ප්‍රේම කරන්නෙහි දැ”යි ඔහුගෙන් ඇසූ සේක. තුන් වන වරටත්, ‘මට ප්‍රේම කරන්නෙහි දැ’යි ජේසුස් වහන්සේ තමාගෙන් ඇසූ බැවින් පේදුරු ශෝක වී: ”ස්වාමීනි, ඔබ සියල්ල දන්නා සේක; මා ඔබ වහන්සේට ප්‍රේම කරන බව ඔබ වහන්සේ දන්නා සේකැ”යි කී ය. ”මාගේ බැටළුවන් පෝෂණය කරන්නැ”යි ජේසුස් වහන්සේ ඔහුට වදාළ සේක.
18ඒකාන්තයෙන් මම ඔබට කියමි, ඔබ තරුණ වියෙහි ඔබේ ඉඟටිය බැඳගෙන කැමැති කැමැති තැන්වල ඇවිද්දෙහි ය. එහෙත් ඔබ මහලු වූ කල ඔබේ අත් දිගු කරන්නෙහි ය, වෙන කෙනෙකු ඔබේ ඉඟටිය බැඳ, ඔබ කැමැති නැති තැනකට ගෙනයනු ඇතැ”යි වදාළ සේක.
19ඔහු කෙබඳු මරණයකින් දෙවියන් වහන්සේ ගෞරවයට පමුණුවනු ඇද්දැ යි හඟවනු වස් උන් වහන්සේ මෙසේ වදාළ සේක. ඉක්බිති ”මා අනුව එන්නැ”යි නැවතත් ඔහුට කී සේක.