අප්‍රේල් 2028

බ්‍ර සි සෙ
1
2345678
9101112131415
16171819202122
23242526272829
30
අද දිනට

කියවීම්

2028 අප්‍රේල් 11

Tuesday of Holy Week

දවසේ දේව මෙහෙය
First Reading

යෙසායා 49: 1-6

1මුහුදුබඩ වැසියෙනි, මාගේ බස් අසන්න. ඈත සිටින ජනයෙනි, මට සවන් දෙන්න. මා උපදින්නත් පෙර මවුකුසෙහි සිටිය දී සමිඳාණෝ මා තෝරාගෙන එතුමන්ගේ සේවකයා වන පිණිස මා පත්කළ සේක. 2එතුමාණෝ මාගේ වචන තියුණු කඩුවක් මෙන් කළ සේක. සිය අතේ සෙවණැල්ලෙහි මා ආරක්ෂා කළ සේක. එතුමාණෝ මා මුවහත් කළ ඊගසක් මෙන් කළ සේක. සිය කොපුවේ මා සඟවා තැබූ සේක. 3එතුමාණෝ කතා කොට, ”ඉශ්රායෙල්, නුඹ මාගේ සේවකයා ය, නුඹ මඟින් සෙනඟ මාගේ මහිමය ප්‍රකාශ කරනු ඇතැ”යි වදාළ සේක. 4මම කතා කරමින්, ”මම නිකරුණේ වෙහෙසුණෙමි; මාගේ මුළු ශක්තිය යෙදූ නමුත්, කිසිවක් අත්පත් කර නොගතිමි”යි කීවෙමි. එසේ වුව ද, මාගේ විනිශ්චයය සමිඳුන් අතේ ඇති බවත්, මාගේ විපාකය දෙවිඳුන් අතේ ඇති බවත් මට සහතික ය. 5මා උපදින්නටත් පෙර තමන්ගේ සෙනඟ ආපසු ගෙනෙන පිණිසත්, විසිර සිටින ඉශ්රායෙල් ජනයා, ජාකොබ්ගේ වංශය එක් රැස් කරන පිණිසත් සේවකයෙකු වශයෙන් සමිඳාණෝ මා පත් කළ සේක. සමිඳාණෝ මට ගෞරවය දෙන සේක. එතුමාණෝ මාගේ ශක්තිය වන සේක. 6එතුමාණෝ මට මෙසේ වදාළ සේක: ”ඉතිරි ව සිටින ඉශ්රායෙල්වරුන් එනම්, ජාකොබ් වංශයේ ජනයා නැඟිටුවා පුනරුත්ථාපනය කිරීමට මාගේ සේවකයා ලෙස නුඹ පත් කිරීම සුළුපටු දෙයක් නොවනු ඇත. එනම්, මුළු ලොව ගළවනු පිණිස සියලු ජාතීන් හට නුඹ ආලෝකයක් වන්න මම සලස්වන්නෙමි.”
Responsorial Psalm

ගීතාවලිය 71: 1-2, 3-4a, 5ab-6ab, 15 and 17

1අහෝ සමිඳුනි! සරණ පතා මම ඔබ වෙත පැමිණියෙමි. කිසි කලක මා ලජ්ජාවට පත් නොකළ මැනව! 2ඔබේ සාධාරණකම නිසා මට පිහිට වී මා මුදාලුව මැනව! මට සවන් දී මා ගැළෙවුව මැනව! 3ඔබ මාගේ පර්වතය ද බලකොටුව ද වන බැවින් ඔබ මට රැකවරණය දෙන පර්වතයක් වුව මැනව! මා මුදාලන බලකොටුවක් වුව මැනව! 4මාගේ දෙවිඳුනි! දුෂ්ටයන්ගේ බලයෙන් මා මුදාගත මැනව; අපරාධකරුගේ ද දුදනාගේ ද ග්‍රහණයෙන් මා මිදුව මැනව! 5මහෝත්තම දෙවි ස්වාමීනි, ඔබ මාගේ බලාපොරොත්තුව වන සේක. සමිඳුනි, මාගේ තරුණ වියේ සිට මාගේ විශ්වාසය මම ඔබ තුළ තැබුවෙමි. 6උපන් දා සිට ඔබ මට පිහිට වූ සේක; මවු කුසේ සිට ඔබ මා රැකගත් සේක. මම ඔබ ගැන නිරතුරු ප්‍රශංසා කරන්නෙමි. 15දවස පුරා ඔබේ සාධාරණ ක්‍රියා ද ඔබේ විමුක්තිදායක ක්‍රියා ද මා මුවින් ප්‍රකාශ කරමි. මන්ද, මම ඒවායේ ප්‍රමාණය නොදන්නෙමි. 17අනේ දෙවිඳුනි! මාගේ තරුණ වියේ සිට ඔබ මට උගන්වා වදාළ සේක. මම අද දක්වා ඔබේ පුදුමාකාර ක්‍රියා වර්ණනා කෙළෙමි.
Gospel

ශුද්ධ වූ ජොහන් 13: 21-33, 36-38

21ජේසුස් වහන්සේ මෙසේ පවසා, බොහෝ සේ කැළඹී, ”ඒකාන්තයෙන් ම මම ඔබට කියමි, ඔබ අතරෙන් කෙනෙක් මා පාවා දෙන්නේ ය”යි ප්‍රකාශ කළ සේක. 22උන් වහන්සේ එසේ කීමෙන් කවරෙකු අදහස් කළ සේක් දැ යි වියවුල් වූ ශ්‍රාවකයෝ එකිනෙකා දෙස බැලූ හ. 23ජේසුස් වහන්සේගේ ශ්‍රාවකයන් අතරෙන් උන් වහන්සේ ප්‍රේම කළ තැනැත්තා උන් වහන්සේගේ ළයට ළං ව හාන්සි වී සිටියේ ය. 24එබැවින් සීමොන් පේදුරු ඔහුට සංඥා කොට, ”උන් වහන්සේ කවරෙකු අදහස් කළ සේක් දැ යි කිව මැනැවැ”යි ඔහුට කී ය. 25ඔහු ද, සිටි ලෙස ම ජේසුස් වහන්සේගේ ළයට නැඹුරු වී, ”ස්වාමීනි, ඒ කවුරු දැ”යි ඇසී ය. 26එවිට උන් වහන්සේ පිළිතුරු දෙමින්, ”මම රොටි කෑල්ලක් පොඟවා යමෙකුට දෙම් ද, ඒ ඔහු ය”යි වදාළ සේක. මෙසේ උන් වහන්සේ ඒ කෑල්ල පොඟවා සීමොන් ඉස්කාරියොත්ගේ පුත් ජූදස්ට දුන් සේක. 27ඔහු ඒ කෑල්ල අතට ගත් විගස ඔහුට සාතන් ආවේශ විය. එවිට ජේසුස් වහන්සේ ඔහු අමතා, ”ඔබේ අදහස වහා ම ඉටු කරන්නැ”යි වදාළ සේක. 28උන් වහන්සේ කුමක් නිසා මෙසේ වදාළ සේක් දැ යි කෑමට හිඳගත් අයගෙන් කිසිවෙක් තේරුම් නොගත්හ. 29ජූදස් පොදු මුදල් පසුම්බිය භාර ව සිටි බැවින්, මංගල්‍යයට වුවමනා දේ මිල දී ගන්න කියා හෝ දිළිඳුන්ට යමක් දෙන්න කියා හෝ ජේසුස් වහන්සේ ඔහුට වදාළ සේකැ යි සමහරු සිතූ හ. 30ඔහු ඒ රොටි කෑල්ල අතට ගත් පසු, නොපමා ව පිටතට ගියේ ය. එය රෑ කාලය වී ය. 31ජූදස් පිටතට ගිය කල, ජේසුස් වහන්සේ කතා කොට, ”දැන් මනුෂ්‍ය-පුත්‍රයාණන් මහිමයට පැමිණ ඇත. 32එතුමාණන් තුළින් දෙවියන් වහන්සේ ද මහිමයට පැමිණි සේක් නම්, දෙවියන් වහන්සේ තමන් තුළින් ඔහු ද මහිමයට පමුණුවන සේක. එය වහා ම කරන සේක. 33දරුවෙනි, මා ඔබ සමඟ සිටින්නේ තව ටික වේලාවක් පමණකි. ඔබ මා සොයනු ඇත. එහෙත් මා ජුදෙව්වරුන්ට කීවාක් මෙන් දැන් ඔබටත් කියමි: මා යන තැනට ඔබට පැමිණිය නොහැකි ය; 36සීමොන් පේදුරු කතා කොට, ”ස්වාමීනි, ඔබ කොතැනට වඩින සේක් දැ”යි ඇසී ය. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, ”මා යන තැනට ඔබට දැන් පැමිණිය නොහැකි ය; එහෙත් පසුව ඔබ පැමිණෙනු ඇතැ”යි වදාළ සේක. 37පේදුරු උන් වහන්සේ අමතා: ”ස්වාමීනි, දැන් ම ඔබ අනුව එන්න මට බැරි මන් ද? ඔබ නිසා මාගේ දිවි පුදමි”යි කී ය. 38ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, ”ඔබ මා නිසා ඔබේ දිවි පුදන්නෙහි ද? ඒකාන්තයෙන් ම මම ඔබට කියමි, කුකුළා හඬලන්නට පෙර, ඔබ මා නොහඳුනති යි තුන් වරක් කියනු ඇතැ”යි වදාළ සේක.