දෙසැම්බර් 2028

බ්‍ර සි සෙ
12
3456789
10111213141516
17181920212223
24252627282930
31
අද දිනට

කියවීම්

2028 දෙසැම්බර් 3

First Sunday of Advent

දවසේ දේව මෙහෙය
First Reading

යෙසායා 2: 1-5

1ජුදා සහ ජෙරුසලම පිළිබඳ ව ආමොස්ගේ පුත් යෙසායාට දෙවියන් වහන්සේ දුන් පණිවුඩය මෙසේ ය: 2මතු කාලයේ දී සමිඳුන්ගේ දෙව් මැදුර පිහිටා ඇති කන්ද, උතුම් ලෙස ද සියලු කඳුවලට ඉහළින් තිබෙන ලෙස ද පිහිටුවනු ලබන්නේ ය. සියලු ජාතීහු එතැනට ගලා එන්නෝ ය. 3බොහෝ දෙනෙකු පැමිණ මෙසේ කියනු ඇත: ‘එන්න, අපි යමු; සමිඳුන්ගේ කන්දට නඟිමු; ඉශ්රායෙල් දෙවිඳුන්ගේ මැදුරට පිවිසෙමු; එතුමාණන් පෙන්වන මාර්ගය ගැන ඉගෙන එහි ගමන්ගන්න අපට හැකි වනු ඇත.’ මන්ද, සමිඳුන්ගේ පණිවුඩය පැමිණෙන්නේ සියොන් කන්දෙන් ය; එතුමන් සෙනඟට කතා කරන්නේ ජෙරුසලමෙන් ය. 4මහා ජාතීන් අතර භේද එතුමාණෝ නිරවුල් කරන සේක; එතුමාණෝ ජාතීන්ගේ කාරණා තීන්දු කරන සේක. තමන්ගේ කඩුවලින් නගුල් ද තමන්ගේ හෙල්ලවලින් දෑකැති ද ඔව්හු සාදාගන්නෝ ය. ජාතියක් ජාතියකට විරුද්ධ ව කඩු ගන්නේ නැත. ඔවුන් යුද්ධයට පුහුණු වන්නේ නැත. 5අහෝ! ජාකොබ්ගේ වංශය එන්න, සමිඳුන්ගේ ආලෝකයෙහි අපි ඇවිදිමු.
Responsorial Psalm

ගීතාවලිය 122: 1-2, 3-4ab, 4cd-5, 6-7, 8-9

1දෙව් මැදුරට යමු”යි ඔවුන් මට කී විට මම ප්‍රීතියෙන් පිනා ගියෙමි. 2එම්බා ජෙරුසලම! අපේ දෙපා තිගේ වාසල ඇතුළේ තබා තිබේ. 3එම්බා ජෙරුසලම! මැනවින් සදා නිම කළ නුවරක් මෙන් තී ගොඩනඟන ලද්දී ය. 4ඉශ්රායෙල් සෙනඟට නියම කළ ලෙස ගෝත්‍රයෝ, සමිඳුන්ගේ ගෝත්‍රයෝ, එතුමන් නමට තුති දෙන පිණිස මෙම නගරය වෙත පැමිණෙති. 5මන්ද, සිංහාසනය, එනම්, දාවිත්ගේ සිංහාසනය සෙනඟ විනිශ්චය කරන පිණිස එහි පිහිටා තිබේ. 6ජෙරුසලමේ සාමය උදෙසා අයැදුම් පුදන්න; තිට ප්‍රේම කරන්නෝ දියුණු වෙත් වා! 7තිගේ පවුරු තුළ සාමය බැබළේ වා! තිගේ මාලිගා තුළ සුරැකිතාව පවතී වා! 8මාගේ නෑ මිතුරන් නිසා මම මෙසේ කියමි: ”ජෙරුසලම තුළ සාමදානය වේ වා!” 9අපේ දෙව් සමිඳුන්ගේ මාලිගාව නිසා මම තිගේ යහපත සොයන්නෙමි.
Second Reading

රෝම 13: 11-14

11මේ සියල්ලෙහි දී, තීරණාත්මක කාලය පැමිණ ඇති බව සිතට ගන්න. මෙය නින්දෙන් පිබිද සිටිය යුතු වේලාව ය. මන්ද, අප ඇදහීමට පටන්ගත් කාලයට වඩා, අපේ ගැළවීම දැන් ළං වී ඇත. 12රැය බොහෝ දුරට ගෙවී ඇත. දිවා කාලය ළඟ ය; එබැවින් අන්ධකාරයේ ක්‍රියා ඉවත ලා, ආලෝකයේ අවිආයුධ පැළඳගනිමු. 13අපේ කල්ක්‍රියාව දිවා කාලයට ඔබින සේ විය යුතු යි; අශෝභන උත්සවවලින් ද මධුපානෝත්සවයෙන් ද කාම තෘෂ්ණාවෙන් ද සල්ලාලකමින් ද අඩදබර හා ඊර්ෂ්‍යාවෙන් ද වැළකී සිටිමු. 14ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ නමැති සන්නාහයෙන් සන්නද්ධ වන්න. මින් මතු පසිඳුරන් පිනවන පිණිස පාප ආශාවනට ඉඩ නොදෙන්න.
Alleluia

ගීතාවලිය 85: 8

8දෙව් සමිඳුන් වදාරන වදනට සවන් දෙමි, මන්ද, සිය සෙනඟට ද සැදැහැවතුන්ට ද එතුමාණන් තුළ විශ්වාසය තබන අයට ද සමිඳාණෝ සාමදානය දීමට පොරොන්දු වූ සේක.
Gospel

ශුද්ධ වූ මතෙව් 24: 37-44

37තවද නෝවාගේ දවස්වල සිදු වූ ලෙස ම මනුෂ්‍ය-පුත්‍රයාණන්ගේ පුනරාගමනය වන්නේ ය. 38එකල, ජල ගැල්මට ප්‍රථමයෙන්, නෝවා නැවට ඇතුළු වූ දිනය දක්වා, ඔව්හු කමින් බොමින්, ආවාහ විවාහ වෙමින් කල් යැවූ හ. 39ජල ගැල්ම පැමිණ සියල්ලන් ගසා ගෙන යන තුරු ඔව්හු කිසිවක් නොදත්හ; මනුෂ්‍ය-පුත්‍රයාණන්ගේ පුනරාගමනය ද එලෙස ම වනු ඇත. 40එකල මනුෂ්‍යයෝ දෙදෙනෙක් කෙතෙහි සිටිති; එක් තැනැත්තෙක් ගනු ලබන්නේ ය; අනික් තැනැත්තා හැරදමනු ලබන්නේ ය. 41ස්ත්‍රීහු දෙදෙනෙක් ඇඹරුම් ගලේ අඹරමින් සිටිති; එක් තැනැත්තියක් ගනු ලබන්නී ය; අනික් තැනැත්තිය හැරදමනු ලබන්නී ය. 42එබැවින් අවදි ව ඉන්න. ඔබගේ සමිඳාණන් වහන්සේ කිනම් දවසක එන සේක් දැ යි ඔබ නොදන්නහු ය. 43සොරා කොයි යාමයේ එන්නේ දැ යි ගෙදර ස්වාමියා දැන සිටියේ නම්, ඔහු නොනිදා සිට තමාගේ ගෙය බිඳීමට ඉඩ නොදෙන බව දැනගන්න. 44එබැවින් ඔබත් සූදානම් ව සිටින්න. කුමක්නිසා ද ඔබ බලාපොරොත්තු නොවන පැයක දී මනුෂ්‍ය-පුත්‍රයාණෝ වඩින සේක.”