දෙසැම්බර් 2028

බ්‍ර සි සෙ
12
3456789
10111213141516
17181920212223
24252627282930
31
අද දිනට

කියවීම්

2028 දෙසැම්බර් 23

Advent Weekday (O Emmanuel)/ John of Kanty, Priest

John of Kanty, Priest
First Reading

මලාකි 3: 1-4, 4: 5-6

1මෙයට සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ පිළිතුරු දෙන සේක: ”මට පෙරටු ව ගොස් මාගේ මාර්ගය පිළියෙළ කරන්නාවූ මාගේ දූතයා මම එවන්නෙමි. එවිට නුඹලා සොයමින් සිටින සමිඳාණන් වහන්සේ හදිසියෙන් තමන් දේව මාලිගාවට වඩින සේක. නුඹලා පුල පුලා බලා සිටින දූතයා පැමිණ මාගේ ගිවිසුම ප්‍රකාශ කරනු ඇත.” 2එහෙත්, උන් වහන්සේගේ පැමිණීමේ දවස උහුලන්න පුළුවන් කවරෙකුට ද? උන් වහන්සේ ප්‍රකාශ වන විට ගැළවී සිටින්න පුළුවන් කවරෙකුට ද? උන් වහන්සේ රන්කරුවෙකුගේ ගින්න මෙන් ද අපුල්ලන්නෙකුගේ සබන් මෙන් ද වන සේක. 3උන් වහන්සේ රිදී උණු කර පිරිසිදු කරන කෙනෙකු මෙන් ලෙවී පුත්‍රයන් පවිත්‍ර කරන සේක. එවිට ඔව්හු සමිඳාණන් වහන්සේ වෙත නියම පූජාවක් ගෙනෙන්නෝ ය. 4ජුදාවේ හා ජෙරුසලමේ සෙනඟ සමිඳාණන් වහන්සේ වෙත ගෙනෙන පූජා පෙර කාලයේ දී මෙන් උන් වහන්සේට ප්‍රියමනාප වන්නේ ය. 5සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ”මම විනිශ්චය පිණිස නුඹලා ළඟට අවුත්, මන්ත්‍රකාරයන්ට ද කාමමිථ්‍යාචාරිකයන්ට ද බොරු සාක්ෂි දෙන්නන්ට ද කුලීකරුවන්ට පීඩා කරන්නන්ට ද වැන්දඹුවන්ට, අනාථයන්ට හා විදේශිකයන්ට අයුතු දේ කරන්නන්ට ද මට ගරුබිය නොදක්වන්නන්ට ද විරුද්ධ ව විගසින් සාක්ෂි දෙන්නෙමි.” 6සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ”මම සමිඳාණන් වහන්සේ ය; මාගේ වෙනස් වීමක් නැත. ජාකොබ්ගේ පරම්පරාවෙන් පැවත එන නුඹලා තවමත් සම්පූර්ණයෙන් විනාශ වී නැත්තේ ඒ නිසා ය.
Responsorial Psalm

ගීතාවලිය 25: 4-5ab, 8-9, 10 and 14

4සමිඳුනි, ඔබේ ක්‍රියා මාර්ගය මට හෙළි කළ මැනව; ඔබේ මාවත් මට පැහැදිලි කළ මැනව. 5ඔබේ සත්‍යය අනුව මා ගෙන ගිය මැනව; මට එය ඉගැන්නුව මැනව; මන්ද, ඔබ මාගේ විමුක්තිදායක දෙවිඳාණෝ ය. දවස පුරා ඔබ එන මඟ බලා සිටිමි. 8සමිඳාණෝ යහපත් ය; අවංක ය. එතුමාණෝ පවිටුන් හට යා යුතු මාර්ගය උගන්වන සේක. 9එතුමාණෝ නිහතමානී අය යුක්තියෙහි හසුරුවන සේක. එතුමාණෝ යටහත් පහත් අයට තම මාර්ගය උගන්වන සේක. 10හිමි තුමන්ගේ ගිවිසුම හා ශික්ෂා පද පිළිපදින අයට එතුමන්ගේ සියලු මාවත් කරුණාවේ හා සත්‍යයේ මාවත් වනු ඇත. 14හිමි තුමන්ගේ රහස් සැලැස්ම එතුමාණන් කෙරේ ගරුබිය දක්වන අයට පෙන්වා ඇත; එතුමාණන් ස්වකීය ගිවිසුම ඔවුන්ට දන්වා ඇත.
Gospel

ශුද්ධ වූ ලූක් 1: 57-66

57නියම කාලය පැමිණි විට එලිසබෙත් තොමෝ පුත්‍රයෙකු ලැබුවා ය. 58ඇගේ අසල්වැසියෝ ද නෑයෝ ද සමිඳාණන් වහන්සේ ඈ කෙරෙහි මහා දයානුකම්පාවක් දැක්වූ බැව් අසා ඇය සමඟ ප්‍රීති වූ හ. 59තවද, අට වන දා චර්මඡේදන පිළිවෙත පිණිස ඔව්හු දරුවා ගෙනැවිත් සිය පියාගේ නාමය අනුව ඔහුට සෙකරියස් යයි නම් තබන්නට සැරසුණහ. 60එහෙත්, ඔහුගේ මව කතා කරමින්, ”එසේ නොවේ; ඔහුට ජොහන් යන නාමය තැබිය යුතු ය”යි කීවා ය. 61ඔබේ නෑයන් අතර ඒ නාමය ඇත්තෙක් නැතැ”යි ඔව්හු ඈට කී හ. 62ඔහුගේ පියා ඔහුට කුමන නමක් තබන්න කැමැති දැ යි දැනගන්නා පිණිස ඔව්හු ඔහුට සංඥා කළහ. 63ඔහු ලියන ලෑල්ලක් ඉල්ලාගෙන, ”ඔහුගේ නම ජොහන් ය”යි ලිවී ය. සියල්ලෝම මවිත වූ හ. 64එකෙණෙහි ම ඔහුගේ කතා ශක්තිය ලැබිණි; ඔහු දෙවියන් වහන්සේ පසසමින් කතා කෙළේ ය. 65අසල්වැසි සියල්ලන් කෙරෙහි බිය පැමිණියේ ය. මෙ‍පවත් සියල්ල ජුදයේ කඳු රට පුරා පතළ විය. 66ඒ ඇසූ හැම දෙන ම ඒ සියල්ල සිය සිත්හි තබාගෙන, ”ඉතින් මේ දරුවා කෙබඳු කෙනෙක් වන්නේ දැ”යි ඇසූ හ. මක්නිසා ද, සමිඳාණන් වහන්සේගේ හස්තය ඔහු කෙරෙහි විය.