දෙසැම්බර් 2028

බ්‍ර සි සෙ
12
3456789
10111213141516
17181920212223
24252627282930
31
අද දිනට

කියවීම්

2028 දෙසැම්බර් 10

Second Sunday of Advent

දවසේ දේව මෙහෙය
First Reading

යෙසායා 11: 1-10

1දාවිත්ගේ රජ පෙළපත නමැති වෘක්ෂයෙන් රාජාංකුරයක් හටගන්නේ ය. එහි මුල්වලින් අලුත් පැළයක් නැඟී එන්නේ ය. 2සමිඳුන්ගේ ආත්මානුභාවය වන ප්‍රඥාව හා නුවණ ද අනුශාසනා බුද්ධිය හා බලය ද දැනගැනීම හා දේව ගරුබිය ද එතුමාණන් කෙරෙහි පිහිටන්නේ ය. 3එතුමන්ට ගරුබිය පෑම එතුමාණන්ගේ ප්‍රීතිය වන්නේ ය. එතුමාණන් තමන් ඇසට පෙනෙන හැටියට විනිශ්චය කරන්නේ වත්, කනට ඇසෙන හැටියට විනිශ්චය කරන්නේ වත් නැත. 4එතුමාණෝ යුක්ති සහගත ලෙස දුප්පතුන් විනිශ්චය කොට, යටහත් පහත් අයට තමන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන සේක. එතුමාණෝ තමන්ගේ ආඥා යෂ්ටියෙන් දේශයට පහර දෙන සේක. වචනයකින් දුෂ්ටයෝ මිය යන්නෝ ය. 5යුක්තිය එතුමාණන්ගේ ඉඟපටිය ද විශ්වාසවන්තකම බඳපටිය ද වනු ඇත. 6වෘකයා බැටළුවා සමඟ වාසය කරන්නේ ය; දිවියා එළු පැටවා සමඟ ලගින්නේ ය. සිංහ පැටියා ද වහු පැටියා ද එකට කෑම කන්නෝ ය; කුඩා දරුවෙක් උන් ගෙන යන්නේ ය. 7එළදෙන හා වළසා එක්ව තණ කන්නෝ ය; උන්ගේ පැටව් එකට ලගින්නෝ ය. සිංහයා හරකා මෙන් පිදුරු කන්නේ ය. 8කිරි දරුවා නාගයාගේ තුඹස පිට සෙල්ලම් කරන්නේ ය. සිඟිති දරුවා පොළඟාගේ ගුල පිට අත තබන්නේ ය. 9සමිඳාණන් වහන්සේගේ ශුද්ධ කන්දේ සීමාව තුළ කිසි නපුරක් වත්, අනතුරක් වත් නොවන්නේ ය. මුහුද, ජලයෙන් පිරී තිබෙන්නාක් මෙන් සමිඳාණන් වහන්සේ පිළිබඳ දැනගැන්මෙන් පොළොව පිරී යන්නේ ය.” 10දාවිත් රජුගේ වංශයෙන් උද්ගත වන රජතුමා ජාතීන් හට සංඥාවක් වන කාලය පැමිණෙන්නේ ය. ජාතීහු එතුමන් සොයා යන්නෝ ය; එතුමන්ගේ වාසභවනය මහිමයෙන් පිරී යන්නේ ය.
Responsorial Psalm

ගීතාවලිය 72: 1-2, 7-8, 12-13, 17

1දෙවිඳුනි, රජතුමාට ඔබගේ විනිශ්චය කිරීමේ ඥානය දුන මැනව! රජ කුමරු හට යුක්තිගරුක ව ක්‍රියා කිරීමට ඔබගේ හැකියාව දුන මැනව! 2එවිට එතුමා ඔබේ ජනතාව සාධාරණ ලෙස පාලනය කරන්නේ ය. ඔබේ පීඩිත ජනතාවට යුක්තිය ඉටු කරන්නේ ය. 7එතුමන් සමයෙහි දමිටු බව දියුණු වේ වා! ඉර හඳ පවතින තෙක් සාමය පැතිරේ වා! 8මුහුදින් මුහුදට එතුමාගේ රජ දහන පැතිරේ වා! යුප්‍රටීස් නදියේ සිට පොළොවේ කෙළවර දක්වා එසේ ම වේ වා! 12එතුමා සහන පතා මොරගසන අසරණයන් මුදාගත්තේ ය; පිහිට නැති පීඩිතයන් ද නිදහස් කරගත්තේ ය. 13එතුමා, දුගී දුප්පතුන්ට හා දුබලුන්ට අනුකම්පා කරන්නේ ය; දිළිඳුන්ගේ ජීවිත මුදාගත්තේ ය. 17එතුමාගේ නාමය සදහට ම පවතී වා! ඉර හඳ පවතින තෙක් එතුමාට කීර්තිය අත් වේ වා! එතුමා අතින් සව් සත ආසිරි ලබත් වා! සියලු ජාතීහු එතුමාට සව්සිරි පතත් වා!
Second Reading

රෝම 15: 4-9

4ආදියෙහි ශුද්ධ ලියවිල්ලේ ලියන ලද සියල්ල, එයින් ඇති වන ඉවසීමෙන් ද සැනසීමෙන් ද අපට බලාපොරොත්තුව උදා වන පිණිස, අපේ ඉගෙනීම සඳහා ලියන ලද්දේ ය. 5ඔබ එක සිතින්, එක මුවින් ඔබගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ පිය වූ දෙවියන් වහන්සේට ගෞරව කරන පිණිස, 6ක්‍රිස්තුන් වහන්සේගේ ආදර්ශය ලෙස ඔබ එකිනෙකා සමඟ එක්සිත් ව විසීමට, ඉවසිල්ලේ හා ධෛර්යයේ උල්පත වූ දෙවියන් වහන්සේ ඔබට වරම් දෙන සේක් වා! 7එහෙයින් දෙවියන් වහන්සේගේ තේජශ්‍රීය දක්වන පිණිස ක්‍රිස්තුන් වහන්සේ ඔබ පිළිගත් ලෙස ම, ඔබත් එකිනෙකා පිළිගන්න. 8මන්ද, ක්‍රිස්තුන් වහන්සේ දෙවියන් වහන්සේගේ සත්‍යතාවය දක්වන පිණිස ජුදෙව් ජනතාවගේ සේවකයෙකු වූ සේකැ යි කියමි. එසේ වූයේ පිතෘවරයන්ට දුන් පොරොන්දු ස්ථීර කරන පිණිසත්, 9විජාතීන් විසින් දෙවියන් වහන්සේගේ දයාව ගැන උන් වහන්සේට ගෞරව කරන පිණිසත් ය. ශුද්ධ ලියවිල්ලෙහි: ”එබැවින් විජාතීන් අතර ඔබ පසසන්නෙමි. ඔබගේ නාමයට ගී ගයන්නෙමි”යි ලියා ඇත.
Alleluia

ශුද්ධ වූ ලූක් 3: 4, 6

4එපවත් දිවැසිවර යෙසායාගේ ලියවිලිවල මෙ‍සේ ලියා ඇත: ”සමිඳුන්ගේ මඟ පිළියෙළ කරන්න, එතුමන් හට ඇද නැති මාවත් සාදන්න. 6සියලු කඳු හා හෙල් සමතලා කරනු ලැබේ; සියලු වංගු ඇද හරිනු ලැබේ; රළු මාවත් මට්ටම් කරනු ලැබේ. දෙවියන් කෙරෙන් වන විමුත් මඟ මනු සත දකිනු ඇතැ යි පාළුකරයෙහි මොරගා කියන හඬෙකි.”
Gospel

ශුද්ධ වූ මතෙව් 3: 1-12

1ඒ දවස්වල දී ස්නාවක ජොහන් අවුත්, ජුදයේ පාළුකරයෙහි දේශනා කරමින්, 2පසුතැවී සිත් හරවා ගන්න; මන්ද, ස්වර්ග රාජ්‍යය ළඟ ය”යි කී ය. 3කුමක් හෙයින් ද යත්: ” ‘ සමිඳුන්ගේ මාවත පිළියෙළ කරන්න; එතුමන් හට ඇද නැති මාවත් සාදන්නැ’යි පාළුකරයෙහි මොරගා කියන හඬක් ය”යි, දිවැසිවර යෙසායා පැවසුවේ මොහු ගැන ය. 4මෙකී ජොහන් ඔටු ලොම් වස්ත්‍රයක් ඇඳ, ඉණ වටා හම් පටියක් බැඳ සිටියේ ය. පළඟැටියන් හා වන මී ඔහුගේ ආහාරය විය. 5එකල ජෙරුසලමේ ද මුළු ජුදයේ ද ජොර්දාන් අවට මුළු පෙදෙසේ ද වැසියෝ ඔහු වෙත පැමිණ, 6පාපෝච්චාරණය කරමින්, ජොර්දාන් ගංගාවෙහි ඔහු අතින් a බව්තීස්ම-ස්නාපනය ලැබූ හ. 7එහෙත්, බව්තීස්ම-ස්නාපනය ලබන පිණිස පරිසිවරුන්ගෙන් ද සද්දුසිවරුන්ගෙන් ද බොහෝ දෙනෙකු එනු දුටු ඔහු ඔවුන්ට කතා කොට, ”පොළොං වංශය, එන්න තිබෙන උදහසින් පලා යාමට ඔබට අවවාද කෙළේ කවරෙක් ද? 8එසේ නම්, ඔබ පසුතැවී සිත් හරවා ගත් බව ඔබේ හැසිරීමෙන් පෙන්වන්න. 9‘ආබ්‍රහම් අපගේ පියාණෝ ය’යි කියාගන්නට නොසිතන්න. ඒ මන්ද, මේ ගල්වලින් වුව ද ආබ්‍රහම්ට දරුපරපුරක් උපදවා දෙන්න දෙවියන් වහන්සේට පුළුවනැ යි මම ඔබට කියමි. 10තවද, දැනට ම පොරොව ගස් මුල්වලට තබා තිබේ. එබැවින් හොඳ පල නොදෙන සියලු ගස් කපා ගින්නෙහි දමනු ලැබේ. 11මම නම්, පසුතැවී සිත හරවා ගැනීමේ ලකුණක් වශයෙන් වතුරෙන් බව්තීස්ම-ස්නාපනය කරමි. එහෙත්, මට පසුව එන තැනැත්තේ මට වඩා ආනුභාසම්පන්න ය. මම උන් වහන්සේගේ පාවහන් ගෙන යාමට තරම් වත් නොවටිමි. උන් වහන්සේ ශුද්ධාත්මයාණන්ගෙන් ද ගින්නෙන් ද ඔබ බව්තීස්ම-ස්නාපනය කරන සේක. 12උන් වහන්සේගේ අතෙහි කුල්ල ඇත. උන් වහන්සේ සිය කමත හොඳ හැටි පිරිසිදු කර, ධාන්‍ය අටුවල රැස් කොට, බොල් නොනිවෙන ගින්නෙන් දවන සේකැ”යි කී ය.