දෙසැම්බර් 2028

බ්‍ර සි සෙ
12
3456789
10111213141516
17181920212223
24252627282930
31
අද දිනට

කියවීම්

2028 දෙසැම්බර් 19

Advent Weekday (O Radix Jesse)

දවසේ දේව මෙහෙය
First Reading

වීරාවලිය 13: 2-7, 24-25a

2දාන්ගේ වංශයට අයිති ශොරාහි එක්තරා මිනිසෙක් සිටියේ ය. ඔහුගේ නම මානෝවා ය. ඔහුගේ භාර්යාව වඳ වූ බැවින් දරුවන් නොලැබ සිටියා ය. 3සමිඳාණන් වහන්සේගේ දූතයා ඒ ස්ත්‍රියට පෙනී මෙසේ කීවේ ය: ”නුඹ වඳ ව දරුවන් නොලැබ සිටින්නෙහි ය. එහෙත්, නුඹ පිළිසිඳගෙන පුත්‍රයෙකු ලබන්නෙහි ය. 4ඒ නිසා දැන් ඉතින් මුද්‍රික පානය වත්, සැර බීම වත් නොබී, අපවිත්‍ර දෙයක් නොකා සිටින හැටියට වගබලාගන්න. 5මන්ද, නුඹ පිළිසිඳගෙන පුත්‍රයෙකු ලබන්නෙහි ය. දැළි පිහියකින් ඔහුගේ කෙස් නොකැපිය යුතු ය. මන්ද, දරුවා ගර්භයේ පටන් දෙවියන් වහන්සේට කැප කරන ලද නාසරීයයෙකු විය යුතු බැවිනි. ඔහු පිලිස්තිවරුන්ගේ අතින් ඉශ්රායෙල්වරුන් ගළවා ගන්නේ ය.” 6එවිට ඒ ස්ත්‍රිය ඇගේ පුරුෂයා වෙත අවුත් මෙසේ කීවා ය: ”දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයෙක් මා ළඟට ආවේ ය. ඔහුගේ පෙනීම දේව දූතයෙකුගේ පෙනීම හා සමාන ව ඉතා ප්‍රතාපවත් ව තිබුණේ ය. ඔහු කොතැනින් ආවේ ද කියා මම නොඇසීමි. ඔහු තමාගේ නම මට දැන්වූයේ නැත. 7එහෙත්, ඔහු මට කතා කොට, ‘බලන්න, නුඹ පිළිසිඳගෙන පුත්‍රයෙකු ලබන්නෙහි ය; ඒ නිසා දැන් ඉතින් මුද්‍රික පානය වත්, සැර බීම වත් නොබී, අපවිත්‍ර කිසි දෙයක් නොකා සිටින්න. මන්ද, ඒ දරුවා ගර්භයේ පටන් මැරෙන දවස දක්වා දෙවියන් වහන්සේට කැප කරන ලද නාසරීයයෙකු විය යුතු ය’යි කීවේ ය.” 24ඒ ස්ත්‍රිය පුත්‍රයෙකු ලැබූ පසු ඈ ඔහුට සම්සොන් යන නම තැබුවා ය. දරුවා වැඩුණේ ය. සමිඳාණන් වහන්සේ ඔහුට ආශීර්වාද කළ සේක. 25සම්සොන් ශොරාටත් එෂ්තායොල්ටත් අතරෙහි වූ දාන්ගේ කඳවුරේ සිටිය දී, සමිඳාණන් වහන්සේගේ ආත්මානුභාවය ඔහු ක්‍රියාවේ පොළඹවන්නට පටන්ගත්තේ ය.
Responsorial Psalm

ගීතාවලිය 71: 3-4a, 5-6ab, 16-17

3ඔබ මාගේ පර්වතය ද බලකොටුව ද වන බැවින් ඔබ මට රැකවරණය දෙන පර්වතයක් වුව මැනව! මා මුදාලන බලකොටුවක් වුව මැනව! 4මාගේ දෙවිඳුනි! දුෂ්ටයන්ගේ බලයෙන් මා මුදාගත මැනව; අපරාධකරුගේ ද දුදනාගේ ද ග්‍රහණයෙන් මා මිදුව මැනව! 5මහෝත්තම දෙවි ස්වාමීනි, ඔබ මාගේ බලාපොරොත්තුව වන සේක. සමිඳුනි, මාගේ තරුණ වියේ සිට මාගේ විශ්වාසය මම ඔබ තුළ තැබුවෙමි. 6උපන් දා සිට ඔබ මට පිහිට වූ සේක; මවු කුසේ සිට ඔබ මා රැකගත් සේක. මම ඔබ ගැන නිරතුරු ප්‍රශංසා කරන්නෙමි. 16දෙවි සමිඳුනි, ඔබේ බල මහිමය මම පසසන්නෙමි, ඔබේ ම, එසේ ය ඔබේ ම යහපත්කම මම ප්‍රකාශ කරන්නෙමි. 17අනේ දෙවිඳුනි! මාගේ තරුණ වියේ සිට ඔබ මට උගන්වා වදාළ සේක. මම අද දක්වා ඔබේ පුදුමාකාර ක්‍රියා වර්ණනා කෙළෙමි.
Gospel

ශුද්ධ වූ ලූක් 1: 5-25

5ජුදාහි රජ වූ හෙරොද්ගේ කාලයෙහි අබියාගේ පේරුවට අයත් සෙකරියස් නම් එක් පූජක නමක් විය. ඔහුට ආරොන්ගේ පෙළපතෙන් බිරිඳක් වූවා ය. ඇගේ නම එලිසබෙත් ය. 6මේ යුවල සමිඳාණන් වහන්සේගේ සියලු ආඥා හා නියෝග නිවැරදි ව පිළිපදිමින් දෙවියන් වහන්සේ අබිමුවෙහි දැහැමින් විසූ හ. 7එලිසබෙත් වඳ ව සිටි බැවින් ඔවුන්ට දරුසම්පතක් නො වී ය. ඇරත් ඒ දෙපොළ වයස් ගත ව සිටියහ. 8සෙකරියස්ගේ පේරුවේ අයට දෙවියන් වහන්සේ ඉදිරියෙහි පූජක කටයුතු කරන අවස්ථාව පැමිණි විට, 9පූජක නිල පිළිවෙළින් සමිඳාණන් වහන්සේගේ ශුද්ධස්ථානයට පිවිස සුවඳ දුම් පූජා කිරීමේ වාරය, දාදු දැමීමෙ‍න්, සෙකරියස්ට පැවරිණි. 10සුවඳ දුම් පූජා පවත්වන වේලෙහි මුළු පිරිස පිටත යාච්ඤා කරමින් උන්හ. 11එවිට දුම් පූජාසනයට දකුණු පසින් සමිඳාණන් වහන්සේගේ දූතයෙක් ඔහුට දර්ශනය විය. 12සෙකරියස් ඔහු දැක කැළඹී බියපත් විය. 13දේව දූතයා ඔහුට කතා කොට, ”සෙකරියස්, බිය නොවන්න. මන්ද, ඔබේ යාච්ඤාව අසනු ලැබී ය. ඔබේ බිරිඳ වන එලිසබෙත් ඔබගෙන් පුතෙකු ලබන්නී ය. ඔහුට ජොහන් යයි නම් තබන්න. 14සතුට හා සොම්නස ඔබට ඇති වේ. බොහෝ දෙන ඔහුගේ උත්පත්තිය නිමිත්තෙන් ප්‍රීති වන්නාහ. 15මන්ද, ඔහු සමිඳාණන් වහන්සේ අබිමුවෙහි ශ්‍රේෂ්ඨ වන්නේ ය. ඔහු මිදියුස වත්, මත්පැන් වත් නොබොන්නේ ය. මව්කුස සිට ම ඔහු ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ වන්නේ ය. 16ඔහු ඉශ්රායෙල්වරුන් බොහෝ දෙනෙකු ඔවුන්ගේ දෙවි ස්වාමීන් වහන්සේ වෙත හරවන්නේ ය. 17ඔහු මවුපියන් හා දරුවන් සමඟි කරවන පිණිස ද, නොදැමුණු ජනයන් දමිටුන්ගේ ප්‍රඥාවට හරවන පිණිස ද, සැදී පැහැදී සිටින සෙනඟක් සමිඳාණන් වහන්සේට සූදානම් කර දෙන පිණිස ද, එලියාගේ ආත්මානුභාවයෙන් හා බලයෙන් උන් වහන්සේට පෙරටුව යන්නේ ය”යි කී ය. 18එවිට සෙකරියස්, දේව දූතයා අමතමින්, ”මා මෙ‍ය දැනගන්නේ කෙසේ ද? මම මහල්ලෙක්මි; මාගේ භාර්යාව ද වයස්ගත ව සිටී ය”යි කී ය. 19දේව දූතයා පිළිතුරු දෙමින්, ”දෙවියන් වහන්සේ අබිමුවෙහි සේවා කරන ගාබ්‍රියෙල් මම ය; මා එවන ලද්දේ ඔබ සමඟ කතා කරන්නටත්, මේ සුබ ආරංචිය ඔබට පවසන්නටත් ය. 20බලන්න. නියම කාලයෙහි ඉටුවන්න යන, මා කී දේ ඔබ අවිශ්වාස කළ බැවින්, මේ කාරණා සිදු වන දවස දක්වා ඔබ කතා කළ නොහැකි ව නිහඬ වනු ඇතැ”යි කී ය. 21සෙකරියස් එන තෙක් බලා සිටි සමූහයා ඔහු ශුද්ධස්ථානයෙහි පමා වීම ගැන මවිත වූ හ: 22ඔහු පිට වී ආ කල ඔවුන් සමඟ කතා කිරීමට අපොහොසත් විය. ඔහු පූජා ස්ථානයෙහි යම් කිසි දර්ශනයක් දක්නට ඇතැ යි ඔව්හු තේරුම්ගත්හ. ඔහු ද අතින් සංඥා කරමින් ගොළුගැහී සිටියේ ය. 23සේවා කාලය නිම වූ පසු ඔහු සිය නිවෙසට ගියේ ය. 24මඳ කලකට පසු ඔහුගේ බිරිඳ වන එලිසබෙත් ගැබ්ගෙන, පස් මසක් රහසිගත ව වෙසෙමින්, 25ලෝකයා අතර පැවති මාගේ නින්දාව පහ කරනු වස් සමිඳාණන් වහන්සේ මෙ‍කල මා දෙස කරුණාවෙන් බලා මේ දේ කළ සේකැ”යි කීවා ය.