කියවීම්
2028 දෙසැම්බර් 4
Advent Weekday / John of Damascus, Priest, Religious, Doctor
John of Damascus, Priest, Religious, Doctor
First Reading
යෙසායා 4: 2-6
2සමිඳාණන් වහන්සේගේ අංකුරය අලංකාර ව හා සරුසාර ව වැඩෙන කාලයක් පැමිණෙන්නේ ය. ඉශ්රායෙල්හි ඉතිරි ව සිටින සෙනඟ භූමියෙන් හටගන්න අස්වැන්න ගැන ආඩම්බර වෙති. ප්‍රීති වෙති.
3ජෙරුසලමේ ඉතිරි ව සිටින අය එනම්, විනාශ නොවී ජීවත් ව සිටින පිණිස දෙවියන් වහන්සේ විසින් තෝරා ගනු ලැබූ අය, ‘ශුද්ධවන්තයෝ යැ’යි කියනු ලබන්නෝ ය.
4සමිඳාණන් වහන්සේ ස්වකීය බලයෙන් සියොන්හි ස්ත්‍රීන් විනිශ්චයකර, පිරිසිදුකර ජෙරුසලමේ අපරාධය ද එහි වගුරුවනු ලැබූ ලේ ද සෝදා හරින සේක.
5එවිට උන් වහන්සේ සියොන් කන්දට හා එහි සිටින සියල්ලන්ට ඉහළින් දවාලේ වලාකුළක් ද රාත්‍රියේ දුමාරයක් හා දීප්තිමත් ගින්නක් ද මවා එවන සේක. දෙවියන් වහන්සේගේ තේජාලංකාරය මුළු නගරය වසා ගෙන එය ආරක්ෂා කරන ආවරණයක් මෙන් වන්නේ ය.
6එය දාවල් ග්‍රීෂ්මයෙන් මුවා වීමට සෙවණක් පිණිසත්, රක්ෂා ස්ථානයක් පිණිසත් කුණාටුවෙන් හා වර්ෂාවෙන් ආරක්ෂා වීමට ස්ථානයක් පිණිසත් වන්නේ ය.
Responsorial Psalm
ගීතාවලිය 122: 1-2, 3-4b, 4cd-5, 6-7, 8-9
1දෙව් මැදුරට යමු”යි ඔවුන් මට කී විට මම ප්‍රීතියෙන් පිනා ගියෙමි.
2එම්බා ජෙරුසලම! අපේ දෙපා තිගේ වාසල ඇතුළේ තබා තිබේ.
3එම්බා ජෙරුසලම! මැනවින් සදා නිම කළ නුවරක් මෙන් තී ගොඩනඟන ලද්දී ය.
4ඉශ්රායෙල් සෙනඟට නියම කළ ලෙස ගෝත්‍රයෝ, සමිඳුන්ගේ ගෝත්‍රයෝ, එතුමන් නමට තුති දෙන පිණිස මෙම නගරය වෙත පැමිණෙති.
5මන්ද, සිංහාසනය, එනම්, දාවිත්ගේ සිංහාසනය සෙනඟ විනිශ්චය කරන පිණිස එහි පිහිටා තිබේ.
6ජෙරුසලමේ සාමය උදෙසා අයැදුම් පුදන්න; තිට ප්‍රේම කරන්නෝ දියුණු වෙත් වා!
7තිගේ පවුරු තුළ සාමය බැබළේ වා! තිගේ මාලිගා තුළ සුරැකිතාව පවතී වා!
8මාගේ නෑ මිතුරන් නිසා මම මෙසේ කියමි: ”ජෙරුසලම තුළ සාමදානය වේ වා!”
9අපේ දෙව් සමිඳුන්ගේ මාලිගාව නිසා මම තිගේ යහපත සොයන්නෙමි.
Alleluia
ගීතාවලිය 80: 4
4අහෝ සමිඳුනි! සව් බලැති දෙවිඳුනි, ඔබේ සෙනඟගේ අයැදීම ගැන කොපමණ කල් ඔබ උදහස් ව සිටින සේක් ද?
Gospel
ශුද්ධ වූ මතෙව් 8: 5-11
5උන් වහන්සේ කපර්ණවුමට ඇතුළු වූ කල එක් ශතාධිපතියෙක් උන් වහන්සේ වෙත අවුත්, කන්නලවු කරමින්,
6ස්වාමීනි, මාගේ මෙහෙකරුවා අංසබාග රෝගයෙන් දැඩි වේදනා විඳිමින් ගෙයි ඔත්පළ ව සිටී ය”යි කී ය.
7මම අවුත් ඔහු සුව කරමි”යි උන් වහන්සේ ඔහුට වදාළ සේක.
8ශතාධිපතියා උත්තර දෙමින්, ”ස්වාමීනි, ඔබ මාගේ නිවසට පැමිණීමට තරම් මම නොවටිමි. වචන මාත්‍රයක් පැවසුව මැනව. එවිට මාගේ මෙහෙකරුවා සුව වනු ඇත.
9මන්ද, මම ද බලය ලත් අය යටතේ සිටින මිනිසෙක්මි. මා යටතේ ද හේවායෝ සිටිති. මා කෙනෙකුට, ‘යන්නැ’යි කී කල, ඔහු යන්නේ ය; කෙනෙකුට, ‘එන්නැ’යි කී කල, ඔහු එන්නේ ය. මාගේ දාසයාට, ‘මෙය කරන්නැ’යි කී කල ඔහු එය කරන්නේ ය”යි කීවේ ය.
10ජේසුස් වහන්සේ ඒ අසා විස්මිත ව තමා පසුපස්සේ ආ අයට කතා කොට, ”සැබැවින් ම මම ඔබට කියමි, එක ම ඉශ්රායෙල් මිනිසෙකු තුළ වත් මෙතරම් මහත් ඇදහිල්ලක් මම නුදුටිමි.
11තවද, ඔබට කියමි, පෙර අපර දෙදිගින් බොහෝ දෙනෙක් අවුත්, ආබ්‍රහම් ද ඊසාක් ද ජාකොබ් ද සමඟ ස්වර්ග රාජ්‍යයෙහි අසුන් ගන්නෝ ය.