කියවීම්
2026 ඔක්තෝබර් 4
Twenty-seventh Sunday in Ordinary Time
දවසේ දේව මෙහෙය
Reading I
යෙසායා 5:1-7
1මාගේ පෙම්වතාට ඔහුගේ මිදි වත්ත ගැන මම ගී ගයමි. මා පෙම්වතාට මිදි වත්තක් සරුසාරවත් කඳු බෑවුමක තිබිණි.
2ඔහු බිම හාරා ගල් ඉවත්කර, ඉතා හොඳ මිදි වැල් පැළකර, ඒ මැද මුරකොටුවක් ගොඩ නඟා, මිදියුසට තටාකයක් සාදා, හොඳ මිදි පල ලබන්න බලා සිටියේ ය. අහෝ! එහෙත්, එහි හටගත්තේ වල් මිදි පමණකි.
3ඒ නිසා මාගේ පෙම්වතා මෙසේ කියයි; ”ජෙරුසලමේ හා ජුදාවේ වැසියෙනි, මා හා මාගේ මිදි වත්ත අතරේ විනිශ්චය කරන්න.
4මාගේ මිදි වත්ත උදෙසා මා කළ දේට අමතර ව තවත් කිසිවක් කරන්නට තිබුණේ ද? එසේ නම්, හොඳ මිදි පල මා බලාපොරොත්තු වන නමුත්, එහි වල් මිදි පල හට ගන්නේ මන් ද?
5මෙන්න, මාගේ මිදි වත්තට කරන්න යන දේ මම නුඹලාට කියමි. මම එහි වටේට ඇති වැට ඉවත්කර, ආරක්ෂා පිණිස ඇති තාප්පය බිඳදමා, වන මෘගයන්ට මිදි වත්ත පාගා කා දමන්න ඉඩ හරින්නෙමි.
6එය පාළු වන්න හරින්නෙමි. මා එහි අතු පාහින්නේ වත්, පස් බුරුල් කරන්නේ වත් නැත. එහි කටු ගස් හා ගොකටු හටගන්න හැරදමන්නෙමි. එහි වැසි නොවසින පිණිස වලාකුළුවලට මම අණ කරන්නෙමි.”
7සව් බලැති සමිඳුන්ගේ මිදි වත්ත නම්, ඉශ්රායෙල් වංශය ය. එතුමාණන් ප්‍රිය කළ මිදි වැල් නම්, ජුදාහි සෙනඟ ය. ඔවුන් යුක්තිය ඉටු කරනු ඇතැ යි එතුමන් බලා සිටි නමුත්, ඔවුන් කෙළේ මිනී මැරීම ය; ඔවුන් දැහැමිකම් කරනු ඇතැ යි එතුමන් බලා සිටි නමුත්, ඇති වූයේ විලාප නැඟීම ය.
Responsorial Psalm
ගීතාවලිය 80:9, 12, 13-14, 15-16, 19-20
9එය වැඩෙන පිණිස ඔබ තැනක් සූදානම් කළ සේක; එය ගැඹුරට මුල් ඇද්දේ ය. එය දේශය පුරා පැතිර ගියේ ය.
12මඟ යන එන සියල්ලන් එහි පල නෙළනු පිණිස එහි වැට කඩුලු වනසාලූයේ කුමක් නිසා ද?
13වල් ඌරෝ එය පාගා දැම්මෝ ය; නිදැල්ලේ සැරිසරන වල් සත්තු එය කා දැම්මෝ ය.
14අහෝ සව් බලැති දෙවිඳුනි! අප වෙත හැරුණ මැනව. සගලොව සිට නෙත් යොමා බලා මේ මිදිවැල වන අප රැකගත මැනව.
15ඔබේ දකුණතින් රෝපණය කළ දේ සැලකුව මැනව; ඔබට ම සවිමත් කරගත් දේ බැලුව මැනව.
16අපේ සතුරෝ එය කපා ගින්නෙන් පුළුස්සා දැමුවෝ ය. ඔබේ බැල්මේ තර්ජනයෙන් ඔව්හු වැනසී යති.
19අහෝ සමිඳුනි! සව් බලැති දෙවිඳුනි! අප ආපසු ගෙන ගිය මැනව. අප මිදෙන පිණිස ඔබේ සිරි වත සිරිය පෙන්වුව මැනව.
Reading II
පිලිප්පි 4:6-9
6ඔබ කිසිවක් ගැන කරදර නොවී, සියල්ලෙහි දී ස්තුති පූර්වක ව, යාච්ඤාවෙන් හා කන්නලව්වෙන් ඔබගේ අයැදීම් දෙවියන් වහන්සේට දන්වන්න.
7එවිට සියලු නැණනුවණ ඉක්මවා යන දෙවියන් වහන්සේගේ සාමදානය, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළින් ඔබගේ සිතුම් පැතුම් ආරක්ෂා කරන්නේ ය.
8අවසන් කොට, සහෝදරවරුනි, සත්‍ය වූ හා උදාර වූ කොයි දේ ගැනත්, සාධාරණ වූ හා පිරිසිදු වූ කොයි දේ ගැනත්, ප්‍රිය වඩන හා මනහර කොයි දේ ගැනත් සදාචාරාත්මක යයි ප්‍රශංසනීය යයි සිතිය හැකි යමක් ඇද්ද, ඒවා ගැනත් සිත යොදවන්න.
9ඔබ මාගෙන් ඉගෙනගත්, මා ඔබට භාරදුන්, මා කියනු ඇසූ, මා කරනු දුටු, සියල්ල ක්‍රියාවෙහි යොදවන්න. එවිට සාමදානයේ දෙවියන් වහන්සේ ඔබ සමඟ වන සේක.
Alleluia
Cf. John 15:16
පාඨ අන්තර්ගතය ලබා ගත නොහැක.
Gospel
ශුද්ධ වූ මතෙව් 21:33-43
33ජේසුස් වහන්සේ නැවතත් කතා කොට මෙසේ වදාළ සේක: ”මේ උපමාවත් අසන්න. එක් වතු හිමියෙක් මිදි වත්තක් වවා එය වටා වැට බැඳ, එහි මිදි යන්ත්‍රයකට වළක් කැණ, මුර අට්ටාලයක් ඉදි කොට, එය ගොවීන්ට අඳේට දී පිටරට ගියේ ය.
34අස්වැන්න කාලය ළං වූ කල, පලදාවෙන් තම කොටස ගන්නා පිණිස ඔහු තම දාසයන් ගොවීන් වෙත යැවී ය.
35එවිට ගොවීහු ඔහුගේ දාසයන් අල්ලා එකෙකුට තැළූ හ; එකෙකු මැරූ හ; තව එකෙකුට ගල් ගැසූ හ.
36යළිත්, ඔහු මුලින් යැවූ අයට වඩා දාසයන් වැඩි ගණනක් යැවී ය. ඒ ගොවීහු ඔවුන්ටත් පෙර සේ ම කළහ.
37අන්තිමට ඔහු, ‘මාගේ පුතණුවන්ට ඔවුන් ගෞරව කරනු ඇත’ කියා සිය පුත්‍රයා ඔවුන් වෙත යැවී ය.
38එහෙත්, ගොවීහු පුත්‍රයා දැක, ‘මේ උරුමක්කාරයා ය; එන්න, මොහු මරාදමා මොහුගේ උරුමය ගනිමු’යි ඔවුනොවුන් අතර කතා කොට,
39ඔහු අල්ලා මිදි වත්තෙන් පිටතට දමා මැරූ හ.
40එහෙයින් ස්වාමියා ආ කල ඒ ගොවීන්ට කුමක් කරනු ඇද් ද?”
41ඔව්හු කතා කොට, ”ඔහු ඒ නපුරු මිනිසුන් දරුණු ලෙස විනාශ කොට, නියම කන්නයේ දී තමාගේ අස්වැන්න කොටස දෙන, වෙන ගොවීන්ට මිදි වත්ත භාර දෙනු ඇතැ”යි කී හ.
42ජේසුස් වහන්සේ ඔවුන් අමතා මෙසේ වදාළ සේක: ” ‘ගෘහ ශිල්පීන් ඉවත ලූ ගල ම, කොණේ ප්‍රධාන ගල වී ඇත. මෙය සමිඳුන්ගේ ක්‍රියාවකි. අපේ ඇස් හමුයෙහි එය විස්මයජනක ය’ යන්න ශුද්ධ ලියවිල්ලෙහි ඔබ කවදාවත් කියවා නැද් ද?
43එබැවින් මම ඔබට කියමි, දෙවියන් වහන්සේගේ රාජ්‍යය ඔබ කෙරෙන් ඉවත් කොට එය නියම පල උපදවන ජාතියකට දෙනු ලබන්නේ ය.