කියවීම්
2026 ඔක්තෝබර් 6
Tuesday of the Twenty-seventh Week in Ordinary Time
දවසේ දේව මෙහෙය
Reading I
ගලාති 1:13-24
13මා ජුදෙව් භක්තිකයෙකු ව සිටිය දී, කිසි අනුකම්පාවක් නැති ව දෙවියන් වහන්සේගේ සභාවට පීඩා කොට, එය විනාශ කරදැමීමට වෑයම් කරමින් හැසුරුණු අන්දම ගැන ඔබ අසා ඇත.
14මාගේ පියවරුන්ගේ පරම්පරාගත සම්ප්‍රදායයන් කෙරෙහි උද්‍යෝගිමත් ව, මාගේ ජාතියේ සමකාලීනයන් බොහෝ දෙනෙකු පරදවා, ජුදෙව් ආගම මැනැවින් පිළිපැද්දෙමි.
15එහෙත් දෙවියන් වහන්සේ ස්වකීය වරප්‍රසාදයෙන් මව් කුස පටන් මා වෙන් කොට තෝරාගෙන,
16විජාතීන් අතර ස්වකීය පුත්‍රයාණන් ප්‍රකාශ කරන පිණිස ඒ පුත්‍රයාණන් මට එළිදරව් කිරීමට තීරණය කළ සේක. එවිට අවවාද ලබන පිණිස මා කිසි පුද්ගලයෙකු වෙත ගියේ වත්,
17මට කලින් ප්‍රේරිතවරයන් ව සිටි අය හමු වන පිණිස ජෙරුසලමට ගියේ වත් නැත. එසේ නොව, මම වහා ම අරාබියට ගොස්, පසුව දමස්කයට පැමිණියෙමි.
18පේදුරු හමු වීමට මා ජෙරුසලමට ගියේ තෙවසකට පසුව ය. ඔහු සමඟ පසළොස් දිනක් ගත කෙළෙමි.
19එහෙත් සමිඳාණන් වහන්සේගේ සොහොයුරු ජාකොබ් හැර වෙන කිසි ප්‍රේරිතවරයකු නුදුටුවෙමි.
20මේ ලියන දේ සැබෑ බව දෙවියන් වහන්සේ ඉදිරියේ සහතික කර කියමි.
21පසුව මම සිරියාවේ හා සිලිසියාවේ පෙදෙස් වලට ගියෙමි.
22ජුදයේ කිතුනු සභා ඒ තාක් මා දැනහැඳින සිටියේ නැත.
23ඔවුන් දැන සිටියේ, ”වරක් අපට පීඩා කළ තැනැත්තා, තමා විනාශ කිරීමට තැත් කළ එම ඇදහිල්ල ම දැන් දේශනා කරන්නේ ය” යන ප්‍රවෘත්තිය පමණකි.
24ඒ නිසා ඔව්හු මා ගැන දෙවියන් වහන්සේට ප්‍රශංසා කළෝ ය.
Responsorial Psalm
ගීතාවලිය 139:1-3, 13-14, 14-15
1සමිඳුනි, ඔබ මා සියුම් ලෙස විමසා බලා දැනගත් සේක.
2මාගේ ඉඳුම් හිටුම් සියල්ල ඔබ දන්න සේක. දුර තියා ම මාගේ සිතිවිලි ඔබ තේරුම්ගන්න සේක.
3මා ගමනක් ගියත්, නින්දට ගියත් ඔබ මාගේ සියලු මාර්ග දන්න සේක. මාගේ හැසිරීම සහමුලින් ම ඔබ දන්න සේක.
13ඔබ මාගේ ඇතුළාන්තය මැවූ සේක; මාගේ මවු කුසෙහි මා තැනූ සේක.
14මම ඔබට තුති පුදමි. මන්ද, මා ඔබට ගරුබිය දැක්විය යුතු ය. ඔබේ සියලු ක්‍රියා අසිරිමත් ය; ඔබ තරයේ මා දන්න සේක.
15මාගේ ඇටකටු සැදෙන විට, මවු කුසෙහි මා වැඩෙන විට, රහසිගත ව මා තැනෙන විට මා එහි වූ බව ඔබ දැන සිටි සේක.
Alleluia
ශුද්ධ වූ ලූක් 11:28
28උන් වහන්සේ ද, ”එසේ ය, දෙවියන් වහන්සේගේ වචනය අසා එය පිළිපදින අය ඊටත් වඩා භාග්‍යවන්ත ය”යි වදාළ සේක.
Gospel
ශුද්ධ වූ ලූක් 10:38-42
38තවද ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන් සමඟ යද්දී, උන් වහන්සේ එක් ගමකට ඇතුළු වූ සේක. එවිට මාර්තා නම් එක් ස්ත්‍රියක් සිය නිවසට උන් වහන්සේ පිළිගත්තා ය.
39ඇයට මරියා නම් සහෝදරියක් වූවා ය. ඈ සමිඳාණන් වහන්සේගේ පාමුල හිඳ උන් වහන්සේගේ ඉගැන්වීමට සවන් දුන්නා ය.
40එහෙත් මාර්තා සත්කාර කටයුතු වැඩි වීමෙන් කරදර වී සිටියා ය. ඈ උන් වහන්සේ වෙතට පැමිණ, ”ස්වාමීනි, මාගේ සහෝදරිය පැත්තකට වී සත්කාර කටයුතු මා පිට ම පවරා සිටින හැටි ඔබ සලකන්නේ නැද් ද? එබැවින් මට උදව් කරන්නට ඈට කිව මැනවැ”යි කීවා ය.
41එහෙත් සමිඳාණන් වහන්සේ උත්තර දෙමින්, ”මාර්තා, මාර්තා, ඔබ බොහෝ දේ ගැන කරදර වෙමින් නළංගු වන්නෙහි ය.
42එහෙත් අවශ්‍ය එක දෙයකි. මරියා යහපත් දෙය තෝරාගෙන ඇත; එය ඈ කෙරෙන් පැහැරගනු නොලැබේ ය”යි වදාළ සේක.