කියවීම්
2026 ඔක්තෝබර් 18
Twenty-ninth Sunday in Ordinary Time
දවසේ දේව මෙහෙය
Reading I
යෙසායා 45:1, 4-6
1සමිඳුන්ගේ අභිෂේක ලත් රජ්ජුරුවෝ සයිරස් ය. ජාතීන් යටත් කිරීමටත්, රජවරුන්ගේ බලය බිඳලීමටත්, සමිඳාණෝ ඔහු සහායට ගත් සේක. නැවත නොවැසෙන පිණිස නගරවල දොරටු සමිඳාණෝ විවෘත ව තබන සේක. එතුමාණෝ සයිරස්ට මෙසේ වදාරන සේක:
4මා තෝරාගත් සෙනඟක් වන මාගේ සේවක ඉශ්රායෙල්වරුන්ට උපකාර කරන පිණිස මම නුඹ පත් කෙළෙමි.
5මම සමිඳාණන් වහන්සේ ය; අන් කෙනෙක් නැත. මා හැර අන් දෙවි කෙනෙක් නැත. නුඹ මා නොදන්න නමුත්, මම නුඹ ශක්තිමත් කරන්නෙමි.
6මා එසේ කරන්නේ, මා හැර අන් දෙවි කෙනෙකු නැති බව නැගෙනහිර සිට බස්නාහිර දක්වා සිටින සියලු දෙනා දැනගන්න පිණිස ය. මම සමිඳාණන් වහන්සේ ය, මා හැර අන් දෙවි කෙනෙක් නැත.
Responsorial Psalm
ගීතාවලිය 96:1, 3, 4-5, 7-8, 9-10
1සමිඳුන් හට නව ගීයක් ගයන්න; පොළෝ වැසි සියල්ලෙනි, සමිඳුන් හට ගී ගයන්න.
3විජාතීන් අතර එතුමන්ගේ මහිමය ප්‍රකාශ කරන්න; ජනතාවන් අතර එතුමන්ගේ ප්‍රබල ක්‍රියා පවසන්න.
4සමිඳාණෝ උතුම් ය, අතිශයින් පැසසිය යුතු ය; සියලු දෙවිවරුන්ට වඩා එතුමන්ට ගරුබිය පෑ යුතු ය.
5ජනතාවගේ සියලු දෙවිවරු පිළිම පමණකි; සමිඳාණෝ ම දෙව් ලොව මැවූ සේක.
7සකල ජනයෙනි, සමිඳුන් පසසන්න; ගෞරවය ද බලය ද සමිඳුන් හට පිරිනමන්න.
8සමිඳුන් නමට හිමි ගෞරවය එතුමන් හට පිරිනමන්න; පඬුරක් රැගෙන එතුමන් ඉදිරියට එන්න.
9සමිඳුන් අබිමුව පාරිශුද්ධත්වයෙන් සැරසී වැඳ වැටෙන්න; ලෝ වැසි සියල්ලෙනි, එතුමන් අබිමුව බියෙන් ඇලළී සිටින්න.
10විජාතීන් අතර මෙසේ පවසන්න: ”සමිඳාණෝ රජකම් කරන සේක; නොසැලෙන ලෙස ලෝකය පිහිටා ඇත; එතුමාණෝ සාධාරණ ලෙස ජනතාවන් විනිශ්චය කරන සේක.
Reading II
1 තෙසලෝනික 1:1-5
1පාවුලු ද සිල්වානස් ද තිමෝතියස් ද යන අපි, දෙවි පියාණන් වහන්සේට සහ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේට අයිති තෙසලෝනිකවරුන්ගේ සභාව වෙත ලියා එවමු. කරුණාව හා ශාන්තිය ඔබට වේ වා!
2අපේ යාච්ඤාවල දී අපි නිතර ම ඔබ සිහි කරමින්, ඔබ ගැන දෙවියන් වහන්සේට තුති පුදමු.
3අපගේ දෙවි පියාණන් ඉදිරියෙහි, ක්‍රියාවෙන් ප්‍රකාශ වන ඔබේ ඇදහිල්ල ද, සේවයෙන් දැක්වෙන ඔබේ ප්‍රේමය ද, ඉවසීමෙන් හෙළි වන අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ තුළ වූ ඔබේ බලාපොරොත්තුව ද අපි සිහි කරමු.
4දෙවියන් වහන්සේගේ ප්‍රේමණීය සහෝදරවරුනි, උන් වහන්සේ ඔබ තෝරාගත් බව අපි දනිමු.
5මන්ද, අප සුබ අස්න ඔබ වෙත ගෙනාවේ වචන මාත්‍රයෙන් පමණක් නොව, ශුද්ධාත්ම බලය හා සහතික විශ්වාසය ඇතිව ය. ඔබගේ යහපත උදෙසා අපි ඔබ අතර කෙසේ ජීවත් වීමු දැ යි ඔබ දන්නහු ය.
Alleluia
පිලිප්පි 2:15, 16
15එවිට ඔබ නිදොස් හා අහිංසක වන්නහු ය. ඔබ වංක, හිතුවක්කාර පරම්පරාවක් මධ්‍යයෙහි, දෙවියන් වහන්සේගේ නිර්දෝෂ දරුවන් ව,
16ඔවුන් අතර ජීවන පණිවුඩය ප්‍රදානය කරමින්, අඳුරු ලෝකයක දීප්තිමත් තාරකා මෙන් බබළන්නහු ය. ඔබ එසේ කළොත්, ‘මම නිෂ්ඵල ලෙස නොදිව්වෙමි, නිෂ්ඵල ලෙස වීර්ය නොකෙළෙමි’යි ක්‍රිස්තුන් වහන්සේගේ දවසේ දී ඔබ ගැන මට පාරට්ටු කරගත හැකි වේ.
Gospel
ශුද්ධ වූ මතෙව් 22:15-21
15එවිට පරිසිවරු උන් වහන්සේ කටවචනයෙන් අල්ලාගන්නේ කෙසේ දැ යි කුමන්ත්‍රණය කළහ.
16ඔව්හු හෙරෝදිවරුන් සමඟ තමන්ගේ ගෝලයන් උන් වහන්සේ වෙත යැවූ හ. ඔව්හු කතා කොට, ”ගුරුදේවයෙනි, ඔබ අවංක කෙනෙකු බවත්, දෙවියන් වහන්සේගේ මාර්ගය හරි ලෙස උගන්වන බවත්, මිනිසුන්ගේ තරාතිරම් නොබලන බැවින් කිසිවෙකු නොතකන බවත් අපි දනිමු.
17එබැවින් ඔබ සිතන්නේ කුමක් ද? සීසර් අධිරාජයාට අයබදු ගෙවීම යුතු ද අයුතු දැ යි අපට කිව මැනවැ”යි කී හ.
18එහෙත්, ජේසුස් වහන්සේ ඔවුන්ගේ නපුරු අදහස දැන, ”කෛරාටිකයෙනි, ඔබ මා පරීක්ෂා කරන්නේ මන් ද?
19බදු ගෙවන කාසියක් මට පෙන්වන්නැ”යි වදාළ සේක. ඔව්හු රිදී කාසියක් ගෙනැවිත් උන් වහන්සේගේ අතට දුන්හ.
20මේ රූපය හා සටහන කවරෙකුගේ දැ”යි උන් වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක.
21සීසර් අධිරාජයාගේ ය”යි ඔව්හු කී හ. එවිට උන් වහන්සේ, ”එසේ නම් රජුගේ දේ රජුටත්, දෙවියන් වහන්සේගේ දේ දෙවියන් වහන්සේටත් දෙන්නැ”යි වදාළ සේක.