කියවීම්
2026 ඔක්තෝබර් 30
Friday of the Thirtieth Week in Ordinary Time
දවසේ දේව මෙහෙය
Reading I
පිලිප්පි 1:1-11
1ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ සේවකයන් වන පාවුලු ද තිමෝතියස් ද යන අපි, පිලිප්පියෙහි වසන සභා නායකයන් සහ උපස්ථායකවරුන් ඇතුළු සකල කිතුනු සැදැහැවතුන් වෙත ලියා එවමු.
2අපගේ දෙවි පියාණන් වහන්සේගෙන් ද ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේගෙන් ද කරුණාවත් ශාන්තියත් ඔබ හට වේ වා!
3මට ඔබ සිහි වන සෑම විට ම මම මාගේ දෙවියන් වහන්සේට ස්තුති කරමි;
4මා යාච්ඤා කරන සෑම විට ම, ඔබ සියලු දෙනා උදෙසා යාච්ඤා කරමින් ප්‍රීතියෙන් පිරී සිටිමි.
5මා එසේ කරන්නේ පළමු දවස පටන් මේ වන තුරු ධර්මදූත සේවයට ඔබ සහභාගි වූ නිසා ය.
6ඔබ තුළ යහපත් කාර්යයක් ඇරඹු උන් වහන්සේ, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ පැමිණීමේ දවස දක්වා එය සම්පූර්ණ කරනු ඇතැ යි මම ඒකාන්තයෙන් ම විශ්වාස කරමි.
7ඔබ මට ඉතා හිතවත් බැවින් ද මා සිරගත ව සිටිය දී ද සුබ අස්න ගැන වගඋත්තර දීමේ දී හා එය ස්ථිර කිරීමේ දී ද මා ලැබූ දේව වරප්‍රසාදයන්ට ඔබ පංගුකාරයන් වූ බැවින් ද ඔබ හැම ගැන මා මෙසේ සිතීම යුතු ය.
8ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ සෙනෙහසින් මා ඔබට සැබැවින් ම ප්‍රේම කරන බව දෙවියන් වහන්සේ දන්නා සේක.
9ඔබ උදෙසා මාගේ යාච්ඤාව මේ ය: විශිෂ්ටතම දේවල් වටහාගැනීමට හැකි වන පිණිස, දැනගැන්මෙන් හා සියලු ආකාර විමසීමෙන් ඔබගේ ප්‍රේමය බොහෝසෙයින් වර්ධනය වේ වා.
10ක්‍රිස්තුන් වහන්සේගේ දවස දක්වා අවංක ව හා නිදොස් ව සිටීමට ඔබට හැකි වේ වා.
11ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන දෙවියන් වහන්සේගේ ගෞරවය හා ප්‍රශංසාව පිණිස ඔබ දැහැමි ජීවිතයක ඵලවලින් පූර්ණ වේ වා.
Responsorial Psalm
ගීතාවලිය 111:1-2, 3-4, 5-6
1සමිඳුන් පසසන්න, දැහැමියන්ගේ සමාගමේ දී ද සභාවේ දී ද මාගේ මුළු සිතින් සමිඳුන්ට ස්තුති කරන්නෙමි.
2සමිඳුන්ගේ ක්‍රියා කොපමණ උදාර ද? ඒවාට ප්‍රිය වන සියල්ලෝ ඒවා තේරුම්ගැනීමට උත්සාහ කරති.
3එතුමන්ගේ ක්‍රියා ගෞරවයෙන් හා මහිමයෙන් පූර්ණ ය; එතුමන්ගේ දැහැමිකම සදාතන ය.
4සිය පුදුම ක්‍රියාවන් අපට අමතක වන්නට ඉඩ නාරින සේක. සමිඳාණෝ, දයාවන්ත ය; සානුකම්පිත ය.
5එතුමාණෝ තමන් කෙරෙහි ගරුබිය ඇත්තන්ට ආහාර දෙන සේක. එතුමාණෝ සිය ගිවිසුම කිසි කලක අමතක නොකරන සේක.
6එතුමාණෝ විජාතීන්ගේ දේශයන් තමන් සෙනඟට දීමෙන් තමන් බලය ඔවුන්ට පෙන්වූ සේක.
Alleluia
ශුද්ධ වූ ජොහන් 10:27
27මාගේ බැටළුවෝ මාගේ කටහඬ අසති. මම ද ඔවුන් අඳුනමි; ඔව්හු ද මා පසුපස්සේ එති.
Gospel
ශුද්ධ වූ ලූක් 14:1-6
1සබත් දිනක උන් වහන්සේ නායක පරිසිවරයෙකුගේ ගෙදරට කෑම පිණිස වැඩිය සේක. හැම දෙන ම උන් වහන්සේ දෙස සෝදිසියෙන් බලා සිටියහ.
2දිය උදර රෝගයෙන් පෙළෙන මිනිසෙක් උන් වහන්සේ ඉදිරියෙහි සිටියේ ය.
3ජේසුස් වහන්සේ කතා කරමින්, ”සබත් දිනයේ දී සුව කිරීම යුතු ද අයුතු දැ”යි විනයධරයන් හා පරිසිවරුන්ගෙන් ප්‍රශ්න කළ සේක.
4ඔව්හු නිහඬ ව සිටියහ. උන් වහන්සේ රෝගියා අතින් ගෙන ඔහුට සුවය දී යන්නට හැරිය සේක.
5පසුව උන් වහන්සේ ඔවුන්ට කතා කරමින්, ”යමෙකුට අයත් කොටළුවෙකු f හෝ ගොනෙකු හෝ සබත් දවසේ දී ළිඳේ වැටුණොත් එවේලේ ම ඌ ගොඩට අදින්නේ නැද්දැ”යි ඇසූ සේක.
6පිළිතුරක් දෙන්නට ඔව්හු අපොහොසත් වූ හ.