කියවීම්
2026 ඔක්තෝබර් 26
Monday of the Thirtieth Week in Ordinary Time
දවසේ දේව මෙහෙය
Reading I
එපීස 4:32-5:8
32එකිනෙකා කෙරෙහි කරුණාව ද දයානුකම්පාව ද ඇති ව සිට, දෙවියන් වහන්සේ ක්‍රිස්තුන් වහන්සේ තුළින් ඔබට කමා කළාක් මෙන් ඔබත් එකිනෙකාට කමා කරන්න.
1ඔබ දෙවියන් වහන්සේගේ ප්‍රේමණීය දරුවන් වන බැවින්, උන් වහන්සේ මෙන් වන්නට උත්සාහ කරන්න.
2ක්‍රිස්තුන් වහන්සේ අපට ප්‍රේම කොට, මිහිරි සුගන්ධ පූජාවක් ද යාගයක් ද හැටියට අප වෙනුවෙන් දෙවියන් වහන්සේට සිය ජීවිතය පරිත්‍යාග කළාක් මෙන්, ඔබත් ප්‍රේමයෙන් ජීවත් වන්න.
3ඔබ දෙවියන් වහන්සේගේ සෙනඟ වන බැවින්, කාමමිථ්‍යාචාරය හෝ සියලු ආකාර අශිෂ්ටකම් හෝ තණ්හාව හෝ ඔබ අතර සඳහන් කිරීමවත් සුදුසු නැත.
4අශික්ෂිත, මෝඩ කතා හා නීච කවටකම් යන මේවාත් සුදුසු නැත. ඒ වෙනුවට ස්තුති දීමේ වචන පවසන්න.
5මේ දේ තරයේ සිතට ගන්න: කාමමිථ්‍යාචාරය කරන්නෙකුට වත්, අශිෂ්ට කෙනෙකුට වත්, ලෝභයෙකුට වත්, මෙවැනි රූප වන්දනාවන් කරන කෙනෙකුට වත්, ක්‍රිස්තුන් වහන්සේගේ ද දෙවියන් වහන්සේගේ ද රාජ්‍යයෙහි උරුමයක් නොලැබෙන්නේ ම ය.
6පුහු තර්කවලින් ඔබ රවටන්ට කිසිවෙකුට ඉඩ නොදෙන්න. මන්ද, අකීකරුවූවන් පිට දේව උදහස පැමිණෙන්නේ මේ කාරණා නිසා ම ය.
7එවැන්නන් සමඟ කිසි ම ගනු දෙනුවක් නොකරන්න.
8මන්ද, වරක් ඔබ අන්ධකාරයෙහි සිටිය නමුත්, දැන් සමිඳාණන් වහන්සේ තුළ ආලෝකයෙහි සිටින්නහු ය.
Responsorial Psalm
ගීතාවලිය 1:1-2, 3, 4, 6
1දුදනන් උපදෙස් අනුව නොයන, පව්කරුවන්ගේ මඟ නොයන, දෙවිඳුන් ගරහන්නන් ඇසුරු නොකරන,
2සමිඳුන්ගේ විනයෙහි ප්‍රීති ප්‍රමුදිත වන, දිවා රෑ එය භාවනා කරන මිනිසා භාග්‍යවන්තයෙක් වන්නේ ය.
3ඔහු ඇල දොළ අද්දර සිටුවා ඇති, නියම කලට පල දරන, කොළ පර වී නොයන ගසකට සමාන ය; ඔහු කරන සැම දේ සරු සාර වේ.
4පවිටු දනෝ එසේ නොවෙති; ඔව්හු සුළඟේ යන බොල් හා සමාන වන්නෝ ය.
6දමිටුන් හට සමිඳාණෝ සරණ වන සේක. පවිටුන්ගේ මාර්ගය විනාශයට යන්නේ ය.
Alleluia
ශුද්ධ වූ ජොහන් 17:17, 17
17සත්‍යයෙහි ඔවුන් කැප කළ මැනව; සත්‍යය නම් ඔබගේ ධර්මය ය.
Gospel
ශුද්ධ වූ ලූක් 13:10-17
10උන් වහන්සේ සබත් දිනක එක් ධර්මශාලාවක අනුශාසනා කරමින් සිටි සේක.
11එහි දසඅට වසක් තිස්සේ අශුද්ධාත්මයක් නිසා දුර්වලකමින් පෙළුණු, කොයි අන්දමකින් වත් කෙළින් වෙන්නට බැරි ස්ත්‍රියක් වූවා ය.
12ජේසුස් වහන්සේ ඈ දැක කැඳවා, ”ස්ත්‍රිය, ඔබේ දුර්වල කමින් ඔබ මිදුණෙහි ය”යි කියා
13ඈ පිට අත් තැබූ සේක. එකෙණෙහි ම ඈ කෙළින් සිට, දෙවියන් වහන්සේට ප්‍රශංසා කළා ය.
14ජේසුස් වහන්සේ සබත් දිනයේ දී සුව කළ බැවින් ධර්මශාලා නායකයා කෝප ව සමූහයා අමතා, ”වැඩපල සඳහා සදවසක් ඇත. සබත් දිනයේ නොව වෙන දවස්වල අවුත් සුවය ලබාගන්නැ”යි ඔවුන්ට කී ය.
15සමිඳාණන් වහන්සේ ඔහුට උත්තර දෙමින්, ”කෛරාටිකයෙනි, ඔබ හැම කෙනෙකු ම සබත් දිනයේ දී තමාගේ ගොනා හෝ කොටළුවා හෝ ගාලෙන් ලිහා වතුර දීමට ගෙන යනවා නොවේ ද?
16එසේ නම්, දසඅට වසක් තිස්සේ සාතන් විසින් බඳිනු ලැබ සිටි, ආබ්‍රහම්ගේ දියණියක වූ මේ ස්ත්‍රිය ඒ බන්ධනයෙන් සබත් දිනයේ දී මුදන්න යුතු ව තිබුණා නොවේ දැ”යි වදාළ සේක.
17මෙසේ වදාළ විට උන් වහන්සේගේ සියලු විරුද්ධවාදීහු ලජ්ජාවට පත් වූ හ. මුළු සමූහයා ද උන් වහන්සේ කළ මහිමාන්විත ක්‍රියා සියල්ල ගැන අමන්දානන්දයට පත් වූ හ.