කියවීම්
2026 ඔක්තෝබර් 7
Memorial of Our Lady of the Rosary
දවසේ දේව මෙහෙය
Reading I
ගලාති 2:1-2, 7-14
1අවුරුදු දහ හතරකට පසු මම බාර්ණබස් සමඟ තීතස් ද කැඳවාගෙන නැවත ජෙරුසලමට ගියෙමි.
2මා එසේ ගියේ, මට දේව මඟ පෙන්වීමක් ලැබුණු බැවිනි. මා විජාතීන්ට දේශනා කළ සුබ අස්න එහි සිටි ප්‍රධානීන් ඉදිරියෙහි රහසිගත ව තැබීමි. එසේ කළේ මා පෙර කළ, දැන් කරන, සේවය නිෂ්ප්‍රභ නොවන පිණිස ය.
7අනෙක් අතට, චර්මඡේදනය ලත් අයට සුබ අස්න දේශනා කිරීම පේදුරුට භාරවූවාක් මෙන්, චර්මඡේදනය නොලත් අයට එය දේශනා කිරීම මට භාර කරන ලද බව ඔව්හු පිළිගත්හ.
8චර්මඡේදනය ලත් අයගේ ප්‍රේරිතයා වශයෙන් පේදුරු පත් කළ තැනැන් වහන්සේ ම විජාතීන්ගේ ප්‍රේරිතයා ලෙස මා පත් කළ සේක.
9මේ සේවය මට භාර දුන් බව පිළිගත් සභා නායකයන් වන ජාකොබ්, පේදුරු සහ ජොහන් අතට අත දී බාර්ණබස් ද මා ද පංගුකාරකමට පිළිගෙන, විජාතීන් වෙත අප ද ජුදෙව්වන් වෙත ඔවුන් ද යා යුතු යයි තීරණය කළහ.
10ඔවුන් අපෙන් කළ එක ම ඉල්ලීම නම් දිළිඳුන් සිහි කරන ලෙස ය. මා කරන්න ආශාවෙන් සිටියේත් එය ම ය.
11පේදුරු අන්තියෝකියට ආ විට ඔහු වරදක් කර තිබුණ බැවින් මම එළිපිට ම ඔහුට විරුද්ධ වීමි.
12ඒ වරද නම්, ඇතැම් අය ජාකොබ් වෙතින් එන්න ප්‍රථම ඔහු විජාතීන් සමඟ ආහාර වැළඳූ නමුත්, ඔවුන් පැමිණියාට පසු චර්මඡේදනවාදීන්ට භය ව, පසුබැස, වෙන් ව සිටීම යි.
13ඔහු සමඟ අනෙක් ජුදෙව්වරු ද චපල ලෙස ක්‍රියා කළහ. බාර්ණබස් පවා ඔවුන්ගේ චපලකමින් මුළාවිය.
14එහෙත් ඔවුන්ගේ හැසිරීම සුබ අස්නේ සත්‍යයට පටහැනි බව දුටු මම මුළු සමූහයා ඉදිරියේ පේදුරුට මෙසේ කීවෙමි. ”ඔබ ජුදෙව්වරයෙකු වන නමුත්, ජුදෙව්වරයෙකු සේ නොව, විජාතිකයෙකු සේ ජීවත් වූවෙහි ය. එසේ නම් විජාතීන් ජුදෙව්වරුන් සේ ජීවත් විය යුතු යයි ඔබ ඔවුන්ට බල කරන්නේ කෙසේ ද?”
Responsorial Psalm
ගීතාවලිය 117:1, 2
1සකල ජාතීනි, සමිඳුන්ට ප්‍රශංසා කරන්න. සව් සතුනි, හිමි තුම ගුණ මහිමය වර්ණනා කරන්න.
2මන්ද, අප කෙරෙහි සමිඳුන්ගේ ප්‍රේමය ඉමහත් ය, එතුමන්ගේ විශ්වාසකම සදහට ම පවත්නේ ය. සමිඳුන්ට ප්‍රශංසා කරන්න.
Alleluia
රෝම 8:15
15මන්ද, ඔබ ලබා ඇත්තේ නැවතත් බිය ගෙන දෙන වහල් සේවයේ තත්ත්වය නොව, ”අබ්බා, පියාණෙනි”යි අමතා යාච්ඤා කිරීමට ඉඩ ඇති පුත්‍රකම ලැබීමේ තත්ත්වයකි.
Gospel
ශුද්ධ වූ ලූක් 11:1-4
1උන් වහන්සේ එක් තැනක යාච්ඤා කරමින් සිටි සේක. එය නිම වූ පසු උන් වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් එක් තැනැත්තෙක් කතා කොට, ”ස්වාමීනි, ජොහන් තම ගෝලයන්ට ඉගැන්වූ ලෙස, අපටත් යාච්ඤා කරන්නට ඉගැන්නුව මැනවැ”යි කීවේ ය.
2උන් වහන්සේ ඔවුන්ට මෙසේ වදාළ සේක: ”ඔබ යාච්ඤා කරන කල මෙසේ කියන්න: ‘පියාණෙනි, ඔබ වහන්සේගේ නාමයට ගෞරව වේ වා, ඔබ වහන්සේගේ රාජ්‍යය පැමිණේ වා.
3අපේ දිනපතා ආහාරය දිනෙන් දින අපට දුන මැනව.
4අපේ පව් අපට කමා කළ මැනව; මන්ද, අපට ණයගැති ව සිටින හැමට අප කමා වන බැවිනි. අප පරීක්ෂාවට නොපමුණුවනු මැනව.’ ”