කියවීම්
2028 ඔක්තෝබර් 2
The Guardian Angels Obligatory Memorial
දවසේ දේව මෙහෙය
First Reading
ජෝබ් 1: 6-22
6තවද, එක් දිනෙක සගලොව රාජ සභාවෙහි ඇමති මණ්ඩලය සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි රැස් වූ අවස්ථාවේ දී විරෝධකාරී සාතන් ද ඔවුන් අතර විය.
7නුඹ දැන් මෙහි පැමිණියේ කොහේ සිට දැ”යි සමිඳාණන් වහන්සේ සාතන්ගෙන් විචාළ සේක. සාතන් සමිඳාණන් වහන්සේට උත්තර දෙමින්, ”මම මහ පොළොවේ තැනින් තැන සැරිසරා මෙහි ආවෙමි”යි කී ය.
8එවිට සමිඳාණන් වහන්සේ, ”මාගේ සේවක ජෝබ් ගැන සොයා බැලීමට නුඹට අවස්ථාවක් වී ද? ඔහු වැනි විනය ගරුක, අවංක, දේව භය ඇති, පවින් වැළකී සිටින අන් කිසි අයෙක් මුළු මහ පොළොවෙහි නැතැ”යි වදාළ සේක.
9සාතන් උන් වහන්සේට පිළිතුරු දෙමින්, ”ජෝබ් දේව ගරුබිය ඇති කෙනෙකු ව කල් යවන්නේ යම් හේතුවක් ඇති නිසා නොවේ ද?
10ඔබ ඔහු ද ඔහුගේ පවුල ද සතු සකල සම්පත් වටා පවුරු බැඳ රැකවරණය දී නැද් ද? ඔහුගේ හැම වැඩ කටයුතුවලට ඔබ ආශිර්වාද කොට ඇත. එබැවින් දේශය මුළුල්ලෙහි ඔහුගේ සම්පත් අති විශාල ය.
11හොඳයි, ඔබේ හස්තය දිගු කොට ඔහු සතු සියල්ලට පහර දී බලන්න. එසේ කළොත්, ඔහු ඔබේ මුහුණට ම ඔබට සාප කරනු ඇත. එය මට සිකුරු ය”යි පැවසී ය.
12එවිට සමිඳාණන් වහන්සේ පිළිතුරු දෙමින්, ”හොඳයි, ජෝබ් සහ ඔහු සතු සියල්ල දැන් ඉතින් නුඹේ බලයට යට ය. හැබැයි, එකක් කියමි; ඔහුගේ ඇඟට පමණක් අත තබන්නට නුඹට අවසර නැතැ”යි සාතන්ට වදාළ සේක. එවිට සාතන් සමිඳාණන් වහන්සේ වෙතින් ඉවත් ව ගියේ ය.
13එක් දිනක් ජෝබ්ගේ දූ පුතුන් තම වැඩිමහල් සහෝදරයාගේ නිවෙසෙහි ආහාර වළඳමින්, මුද්‍රික පානය බොමින් සිටිය දී මෙසේ සිදු විය:
14පණිවුඩකාරයෙක් ජෝබ් වෙත වහා දිව අවුත්, ”ගවමහිෂයන් සී සාමින් ද කොටළු දෙනුන් තණ කමින් ද සිටියදී
15ෂෙබාවරු උන් වෙත කඩා පැන, උන් පැහැරගෙන ගියෝ ය. මෙහෙකරුවන් කඩුවෙන් මැරූ හ. මෙපවත් ඔබට සැළ කිරීමට යම්තම් ඉතිරි වූයේ මා පමණකි”යි කී ය.
16ඔහු කතා කරමින් සිටියදී ම තවත් කෙනෙක් අවුත්, ”අහසින් අකුණක් වැදී බැටළුවන් සහ එඬේරුන් පිට ඇවිළී ඔවුන් දවා දැමී ය. මෙපවත් ඔබට සැළ කිරීමට යම්තම් ඉතිරි වූයේ මා පමණකි”යි කී ය.
17ඔහු කතා කරමින් සිටියදී ම තවත් කෙනෙක් අවුත්, ”කල්දිවරු කණ්ඩායම් තුනකට සෑදී ඔටු රංචු වෙත පැමිණ පහර දී උන් පැහැරගෙන ගියෝ ය; මෙහෙකරුවන් කඩු පහරින් මරාදැමූ හ. ඔබට මෙපුවත සැළ කිරීමට ඉතිරි වූයේ මා පමණකි”යි කී ය.
18ඔහු කතා කරමින් සිටියදී ම සතර වැනි කෙනෙක් ද අවුත්, ”ඔබේ දූ පුතුන් තම වැඩිමහල් සහෝදරයාගේ නිවෙසෙහි ආහාර වළඳමින්, මුද්‍රික පානය බොමින් සිටියදී,
19කාන්තාරය හරහා චණ්ඩ මාරුතයක් හමා අවුත් ගෙයි සතර කොණට වැදුණේ ය. එය දූ පුතුන් පිට කඩා වැටී ඔව්හු මළෝ ය. මේ පුවත සැළ කිරීමට යම්තම් ඉතිරි වූයේ මා පමණකි”යි කී ය.
20මෙපවත් ඇසූ ජෝබ් නැඟිට, දුක දරාගත නොහැකි ව තම වස්ත්‍ර ඉරාගෙන, හිස මුඩු කොට, මුණින් වැටී වැඳ මෙසේ කී ය:
21මම කිසිත් නැති ව මව් කුසින් ආවෙමි; කිසිත් නැති ව පෙරළා යන්නෙමි. සමිඳාණෝ දුන් සේක; සමිඳාණෝ ගත් සේක; සමිඳුන් නමට ගරු පැසසුම් වේ වා.”
22මේ සියල්ලේ දී ජෝබ් පව් කෙළේත් නැත, දෙවියන් වහන්සේ පිට දොස් තැබුවේත් නැත.
Responsorial Psalm
ගීතාවලිය 17: 1bcd, 2-3, 6-7
1සමිඳුනි, මාගේ මේ සාධාරණ යැදුමට සවන් දුන මැනව; මාගේ හඬගැසීමට කන් දුන මැනව. මන්ද, මා එය පුදන්නේ අවංක සිතිනි.
2මා ගැන නඩු තීන්දුව ඔබෙන් ම පැමිණේ වා! ඔබේ දෙනෙතට යුක්තිය පෙනේ වා!
3ඔබ මසිත උරගා බැලූ සේක; රාත්‍රියේ මා පරීක්ෂා කළ සේක; ඔබ මා විමසා බැලූ සේක; එහෙත්, කිසි නපුරක් නැති බව දුටු සේක.
6දෙවිඳුනි, ඔබ මට පිළිතුරු දෙන නිසා මම ඔබට හඬගසමි. මා අයැදුමට කන් යොමු කළ මැනව; මාගේ බස් ඇසුව මැනව.
7මිදුම්කරුනි, ඔබේ දකුණු අතින් සතුරු බියෙන් අප ගළවනු මැනව; ඔබේ අසිරිමත් පෙම හෙළි කළ මැනව.
Alleluia
ගීතාවලිය 103: 21
21සමිඳුන්ගේ සේනා සියල්ලෙනි, එතුමන්ගේ කැමැත්ත ඉටු කරන මෙහෙකරුවෙනි, සමිඳුන් පසසන්න.
Gospel
ශුද්ධ වූ මතෙව් 18: 1-5, 10
1එවේලෙහි ශ්‍රාවකයෝ ජේසුස් වහන්සේ වෙතට අවුත්, ”ස්වර්ග රාජ්‍යයෙහි ඉතා ම උතුම් වන්නේ කවරෙක් දැ”යි ඇසූහ.
2එවිට උන් වහන්සේ කුඩා දරුවෙකු තමන් වෙතට කැඳවා ඔවුන් මැද සිටුවා මෙසේ වදාළ සේක:
3සැබැවින් ම මම ඔබට කියමි, ඔබ වෙනස් වී කුඩා දරුවන් මෙන් නොවූවොත්, කිසි සේත් ස්වර්ග රාජ්‍යයට ඇතුළු නො වන්නහු ය.
4එබැවින් මේ කුඩා දරුවා මෙන් යටහත් වන යමෙක් ඇද්ද, ස්වර්ග රාජ්‍යයෙහි ඉතා ම උතුම් වන්නේ ඔහු ය.
5තවද, යමෙක් මාගේ නාමයෙන් මෙවැනි කුඩා දරුවෙකු පිළිගන්නේ ද ඔහු මා පිළිගන්නේ ය.”
10මේ බාලයන්ගෙන් එකෙකු වත් හෙළා නොදැකීමට වගබලාගන්න. මන්ද, ‘ස්වර්ගයෙහි ඔවුන්ගේ දේව දූතයෝ ස්වර්ගයෙහි වැඩ වසන මාගේ පියාණන් වහන්සේ ඉදිරියෙහි නිරතුරු ම සිටිති’යි මම ඔබට කියමි.