ඔක්තෝබර් 2028

බ්‍ර සි සෙ
1234567
891011121314
15161718192021
22232425262728
293031
අද දිනට

කියවීම්

2028 ඔක්තෝබර් 13

Ordinary Weekday

දවසේ දේව මෙහෙය
First Reading

ගලාති 3: 7-14

7එබැවින් ආබ්‍රහම්ගේ සැබෑ පුත්‍රයෝ ඇදහිල්ල ඇති අය වෙති. 8තවද දෙවියන් වහන්සේ ඇදහිල්ල කරණකොටගෙන විජාතීන් දමිටු බවට පත් කරන බව ශුද්ධ ලියවිල්ල කල්මත්තෙන් දැක, ”ඔබ තුළ සියලු ම ජාතීහු ආශීර්වාද ලබන්නො‍් ය” කියා සුබ අස්න කලින් ආබ්‍රහම්ට ප්‍රකාශ කළේ ය. 9මෙසේ ඇදහිල්ලෙහි පිහිටි සියල්ලෝ ඇදහිල්ලේ පිහිටි ආබ්‍රහම් සමඟ ආශීර්වාද ලබති. 10අනෙක් අතට, ව්‍යවස්ථාව කෙරෙහි විශ්වාසය තබන්නො‍් සාපයට යටත් ව සිටිති. එසේ වන්නේ: ”ව්‍යවස්ථාව පොතෙහි ලියා ඇති සියල්ල ම නොකඩවා නොරකින සියලු දෙනාට ම සාපයක් ඇතැ”යි ලියා තිබෙන බැවිනි. 11ව්‍යවස්ථාව කරණකොටගෙන කිසිවෙකු දමිටු බවට පත් කරනු නොලබන බව එයින් පැහැදිලි ය. මන්ද, ඇදහිල්ලෙන් දමිටු බවට පැමිණි අය ජීවත් වන්නො‍් ය. 12ව්‍යවස්ථාව ඇදහිල්ල පිට රඳා පවතින්නක් නොවේ. එහෙත් ව්‍යවස්ථාව පිළිපදින තැනැත්තා එයින් ජීවත් වන්නේ ය කියා ශුද්ධ ලියවිල්ලේ ලියා ඇත. 13ගසක එල්ලනු ලබන සියල්ලෝ සාප ලද්දෝ ය”යි ශුද්ධ ලියවිල්ලේ ලියා තිබෙන ලෙස, ක්‍රිස්තුන් වහන්සේ අප උදෙසා එම සාපය විඳ, ව්‍යවස්ථාවේ සාපයෙන් අප මුදාගත් සේක. 14මෙසේ කෙළේ ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ මඟින් ආබ්‍රහම් ලත් ආශීර්වාදය අන්‍ය විජාතීන් කෙරෙහි පැමිණෙන පිණිසත් ඇදහිල්ල කරණකොටගෙන ආත්මයාණන් වහන්සේගේ පොරොන්දුව අප විසින් ලබාගන්නා පිණිසත් ය.
Responsorial Psalm

ගීතාවලිය 111: 1b-2, 3-4, 5-6

1සමිඳුන් පසසන්න, දැහැමියන්ගේ සමාගමේ දී ද සභාවේ දී ද මාගේ මුළු සිතින් සමිඳුන්ට ස්තුති කරන්නෙමි. 2සමිඳුන්ගේ ක්‍රියා කොපමණ උදාර ද? ඒවාට ප්‍රිය වන සියල්ලෝ ඒවා තේරුම්ගැනීමට උත්සාහ කරති. 3එතුමන්ගේ ක්‍රියා ගෞරවයෙන් හා මහිමයෙන් පූර්ණ ය; එතුමන්ගේ දැහැමිකම සදාතන ය. 4සිය පුදුම ක්‍රියාවන් අපට අමතක වන්නට ඉඩ නාරින සේක. සමිඳාණෝ, දයාවන්ත ය; සානුකම්පිත ය. 5එතුමාණෝ තමන් කෙරෙහි ගරුබිය ඇත්තන්ට ආහාර දෙන සේක. එතුමාණෝ සිය ගිවිසුම කිසි කලක අමතක නොකරන සේක. 6එතුමාණෝ විජාතීන්ගේ දේශයන් තමන් සෙනඟට දීමෙන් තමන් බලය ඔවුන්ට පෙන්වූ සේක.
Alleluia

ශුද්ධ වූ ජොහන් 12: 31b-32

31මේ ලෝකය පිළිබඳ විනිශ්චය මොහොත දැන් ය; මේ ලෝකයේ අධිපතියා දැන් පරාජය කරනු ලැබේ. 32තවද මා පොළොවෙන් ඔසවනු ලැබූ කල, සියල්ලන් මා වෙතට ඇදගන්නෙමි”යි වදාළ සේක.
Gospel

ශුද්ධ වූ ලූක් 11: 15-26

15එහෙත් ඔවුන්ගෙන් සමහරෙක් කතා කොට, ”මොහු දුෂ්ටාත්මයන් දුරු කරන්නේ දුෂ්ටාත්මාධිපති වූ බෙල්සෙබුල්ගේ අනුහසින් ය”යි කී හ. 16අන් සමහරු උන් වහන්සේ වචනයකින් අල්ලාගන්න පිණිස, ස්වර්ගයෙන් හාස්කමක් උන් වහන්සේගෙන් ඉල්ලූ හ. 17උන් වහන්සේ ඔවුන්ගේ සිතුවිලි දැන මෙ‍සේ වදාළ සේක: ”ඊට ම විරෝධී ව භේද වූ යම් රාජ්‍යයක් ඇද්ද එය පාළු වන්නේ ය, ඊට ම විරෝධී ව භේද වූ යම් ගෙදරක් ඇද්ද එය පිරිහී යන්නේ ය. 18සාතන් ඔහුට ම විරෝධී ව භේද ව සිටී නම් ඔහුගේ රාජ්‍යය පවතින්නේ කෙසේ ද? මා දුෂ්ටාත්මයන් දුරු කරන්නේ බෙල්සෙබුල්ගේ අනුහසින් යයි ඔබ කියන්නාහු ය. 19එහෙත් මම බෙල්සෙබුල්ගේ අනුහසින් දුෂ්ටාත්මයන් දුරු කරම් නම්, ඔබගේ අනුගාමිකයෝ කවරකුගේ අනුහසින් ඔවුන් දුරු කරද් ද? මෙ‍ලෙස ඔබේ අනුගාමිකයෝ ම ඔබේ තර්කය බිඳදමති. 20එහෙත් මම දෙවියන් වහන්සේගේ අනුහසින් දුෂ්ටාත්මයන් දුරු කරම් නම්, සැබැවින් ම දෙවියන් වහන්සේගේ රාජ්‍යය ඔබ කෙරෙහි උදා වී ඇත. 21අවිආයුධ ගත් බලවන්තයකු සිය නිවස රක්නා කල ඔහු සතු දේපළ සුරක්ෂිත ව ඇත. 22එහෙත් ඔහුට වඩා බලවන්තයෙක් අවුත් ඔහු මැඩපවත්වන්නේ නම්, ඔහු විශ්වාසය තැබූ ආයුධ පැහැරගෙන, කොල්ලකාගත් දේ බෙදාගන්නේ ය. 23මාගේ පක්ෂයට නොවන්නා මට විපක්ෂ ය; මා සමඟ රැස් කිරීමට උදව් නොකරන්නා විසුරුවා දමන්නේ ය.” 24අශුද්ධාත්මය මිනිසකුගෙන් දුරු ව ගිය කල, ඔහු දිය නැති තැන්වල සැරිසරමින්, නවාතැනක් සොයන්නේ ය, එය නොලදහොත් ‘මා නික්ම ආ මාගේ නිවසට ආපසු යමි’යි කියන්නේ ය. 25ඔහු එහි පැමිණි කල, නිවස අතුගා අස්පස් කොට තිබෙනු දකියි. 26එවිට ඔහු ගොස් තමාට වඩා අශුද්ධ වූ තවත් ආත්මයන් සත් දෙනෙකු තමා කැටුව ගෙන එන්නේ ය. ඔව්හු ඒ නිවසට පිවිස එය අරක්ගනිති. එවිට ඒ පුද්ගලයාගේ දෙ වන තත්ත්වය පළමු තත්ත්වයට වඩා නපුරු වන්නේ ය.”