කියවීම්
2028 ඔක්තෝබර් 6
Ordinary Weekday/ Bruno, Priest, Hermit, Religious Founder/ Blessed Marie-Rose Durocher, Virgin, Religious Founder
Blessed Marie-Rose Durocher, Virgin, Religious Founder
First Reading
ජෝබ් 38: 1, 12-21; 40: 3-5
1එවිට දෙවිඳාණෝ කුණාටුව මැදින් ජෝබ්ට මෙසේ පිළිතුරු දුන් සේක;
12ජෝබ්, නුඹ උපන් දින සිට කිසි ම දාක අලුත් දිනක් උදා වන්නට නුඹ අණ දුන්නෙහි ද?
13පොළොව පුරා අරුණෝදය නැඟී එන්නටත්, දුදනන් මිහි පිටින් පැන්නීමටත් නුඹ ආඥාවක් පැණවූයෙහි ද?
14හිරු උදාව, කඳු හා නිම්න මතු කරයි; ඒවා මැටිවල තබන ලද මුද්‍රාව මෙන් ද ඇඳුමක රැළි මෙන් ද කැපී පෙනෙයි.
15දවල් එළිය දුදනන්ට දැරිය නොහැකි තරම් දීප්තිමත් ය. එය ඔවුන්ගේ සැහැසිකම් වළක්වාලයි.
16නුඹ මුහුදේ උල්පත්වලට ළං වූයෙහි ද? මුහුදු පත්ලේ යා ගත නොහැකි පෙදෙස්වල ඇවිද්දෙහි ද?
17මරහුගේ ලොවට පිවිසෙන දොරටු නුඹට පෙන්වා ඇත්තේ ද? අඳුරු ලොවේ මුර දොරටු කවදාවත් නුඹ දුටුවෙහි ද?
18මහ පොළොව කොතරම් විසල් දැ යි නුඹ මඳක් වත් දන්නෙහි ද? දන්නෙහි නම් මට කියව.
19ආලෝකය එන්නේ කෙහෙන් දැ යි, අඳුර බිහි වන්නේ කොහේ දැ යි නුඹ දන්නෙහි ද?
20නුඹට ඒවායේ නියම ස්ථානවලට මඟ පෙන්විය හැකි ද? නුඹට ඒවායේ නිවෙස්වලට ඒවා ගෙන ගිය හැකි ද?
21නුඹ මෙපමණ දිගායු වළඳා සිටින බැවින්, විශ්වය මැවෙන්නට පෙර නුඹ ජීවත් වී සිටි හෙයින් ඔය කොයි දේත් නුඹට කළ හැකි නොවේ ද?
3එවිට ජෝබ් පිළිතුරු දෙමින් මෙසේ කී ය:
4සමිඳුනි, මම අනුවණ ලෙස කතා කෙළෙමි. ඔබට කුමන පිළිතුරක් දෙන්නෙම් ද? මම කට පියා නිහඬ වන්නෙමි.
5මම එක් වරක්, කතා කෙළෙමි; පිළිතුරු නොදෙමි. මම දෙවරක් කතා කෙළෙමි. ඉන්පසු කතා නොකරමි.”
Responsorial Psalm
ගීතාවලිය 139: 1-3, 7-8, 9-10, 13-14ab
1සමිඳුනි, ඔබ මා සියුම් ලෙස විමසා බලා දැනගත් සේක.
2මාගේ ඉඳුම් හිටුම් සියල්ල ඔබ දන්න සේක. දුර තියා ම මාගේ සිතිවිලි ඔබ තේරුම්ගන්න සේක.
3මා ගමනක් ගියත්, නින්දට ගියත් ඔබ මාගේ සියලු මාර්ග දන්න සේක. මාගේ හැසිරීම සහමුලින් ම ඔබ දන්න සේක.
7ඔබෙන් සැඟවී මම කොතැනට යම් ද? ඔබ ඉදිරියෙන් කොතැනට පලා යම් ද?
8මා ස්වර්ගයට නැඟුණත්, ඔබ එහි ය. පාතාලයට බැස සැතපුණත්, ඔබ එහි ය.
9මා නැගෙනහිරට ඉගිළී ගියත්, බටහිර මුහුදු සීමාන්තයේ විසුවත්
10එහිදීත් ඔබේ අත මට මඟ පෙන්වන්නේ ය. ඔබේ දකුණත මට පිහිට වන්නේ ය.
13ඔබ මාගේ ඇතුළාන්තය මැවූ සේක; මාගේ මවු කුසෙහි මා තැනූ සේක.
14මම ඔබට තුති පුදමි. මන්ද, මා ඔබට ගරුබිය දැක්විය යුතු ය. ඔබේ සියලු ක්‍රියා අසිරිමත් ය; ඔබ තරයේ මා දන්න සේක.
Alleluia
ගීතාවලිය 95: 8
8පාළුකරයේ මස්සා නම් ස්ථානයේ සිටි දවසේ දී මෙන් ද මෙරිබා නම් ස්ථානයේ දී මෙන් ද ඔබේ සිත් දැඩි කර නොගන්න.
Gospel
ශුද්ධ වූ ලූක් 10: 13-16
13එම්බා කොරාශීනය, ඔබට වන විපතක මහත! එම්බා බෙත්සයිදාව, ඔබට වන විපතක මහත! ඔබ තුළ කළ ප්‍රබල ක්‍රියා තීර්හි හා සීදොන්හි කළා නම්, මීට කලින් ගෝනි රෙදි හැඳ අළු තවරා ගෙන පසුතැවී සිත් හරවා ගැනීමට ඔවුන්ට ඉඩ තිබිණි.
14එසේ වුව ද දේව විනිශ්චය දවසේ දී ඔබට වඩා තීර්ට හා සීදොනට සහනය ලැබෙන්නේ ය.
15එම්බා කපර්ණවුම, ඔබ සගලොව දක්වා උසස් කරනු ලබන්නෙහි ද? නැත, පාතාලය දක්වා පහත හෙළනු ලබන්නෙහි ය.
16ඔබගේ වචන අසන්නා මාගේ වචන අසයි; ඔබ ප්‍රතික්ෂේප කරන්නා මා ප්‍රතික්ෂේප කරයි; මා ප්‍රතික්ෂේප කරන්නා මා එවූ තැනැන් වහන්සේ ප්‍රතික්ෂේප කරන්නේ ය.”