කියවීම්
2027 මාර්තු 7
Fourth Sunday of Lent / Scrutiny
Lenten
First Reading
වංශාවලියේ දෙ වන පොත 36: 14-16, 19-23
පාඨ අන්තර්ගතය ලබා ගත නොහැක.
Responsorial Psalm
ගීතාවලිය 137: 1-2, 3, 4-5, 6
1බබිලොන්හි ගං තෙරවල අපි හිඳගතිමු. සියොන් කන්ද අපට සිහි වූ විට අපි හඬා වැලපුණෙමු.
2එහි බට පඳුරුවල අපේ වීණා එල්ලා තැබීමු.
3එසේ කෙළේ, අප වහල්කමට ගෙන ගිය අය ගැයුම් වැයුම් කරන ලෙස අපට බල කළ බැවිනි. අපට පීඩා කළ අය, සියොන් ගීයක් ගයා ඔවුන් විනෝද කරවන ලෙස අපෙන් ඉල්ලූ බැවිනි.
4විදේශයක දී, සමිඳුන්ගේ ගීතය අපි කෙසේ ගයමු ද?
5එම්බා ජෙරුසලම! තී මට අමතක වී නම්, මාගේ දකුණත වියළී යේ වා!
6මම තී සිහි නොකරම් නම්, මාගේ පරමානන්දය මෙන් ජෙරුසලම මම නොසලකම් නම් මාගේ දිව ගොළු වේ වා!
Second Reading
එපීස 2: 4-10
4එහෙත් දයාවෙන් සමෘද්ධ වූ දෙවියන් වහන්සේ, අධික ප්‍රේමයකින් අපට ප්‍රේම කළ බැවින්,
5අපේ වැරදි ක්‍රියා හේතුකොටගෙන අප මැරී සිටිය දී පවා, ක්‍රිස්තුන් වහන්සේ සමඟ අප ජීවත් කර වදාළ සේක. ඔබ ගැළවී සිටින්නේ දේව වරප්‍රසාදයෙන් ය.
6තවද, දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළින් උන් වහන්සේ සමඟ අප උත්ථාන කර, උන් වහන්සේ සමඟ සග ලොවෙහි අපට අසුන් ගැනීමට සැලැසූ සේක.
7එසේ කෙළේ ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ අපට දැක්වූ කරුණාව කරණකොටගෙන උන් වහන්සේගේ වරප්‍රසාදයේ මහා ධන සම්භාරය මතු යුගවලට පෙන්වන පිණිස ය.
8ඔබ ගැළවී සිටින්නේ දේව වරප්‍රසාදය මඟින් වූ ඇදහීම කරණකොටගෙන ය. එය ඔබගේ ම ක්‍රියාවක් නොව, දෙවියන් වහන්සේගේ දීමනාව ය.
9ගැළවීම පුණ්‍ය ක්‍රියාවල ප්‍රතිඵලයක් නොවන බැවින්, කිසිවෙකුට පාරට්ටුවට ඉඩක් නැත.
10මන්ද, අපි වනාහි යහපත් ක්‍රියා කරන පිණිස දෙවියන් වහන්සේ විසින් ක්‍රිස්තුන් වහන්සේ තුළ මවනු ලැබූ මැවිලි වෙමු. ඒ යහපත් ක්‍රියා කරන පිණිස දෙවියන් වහන්සේ කල් තියා අප සූදානම් කළ සේක.
Verse Before the Gospel
ශුද්ධ වූ ජොහන් 3: 16
16දෙවියන් වහන්සේ ලෝකයාට කොතරම් ප්‍රේම කළ සේක් ද කීවොත්, ස්වකීය ඒක ජාතක පුත්‍රයාණන් වුව ද ලොවට දෙවා වදාළ සේක. එසේ කෙළේ, උන් වහන්සේ කෙරෙහි අදහන සියලු දෙනා ම විනාශ නොවී සදාතන ජීවනය ලබන පිණිස ය.
Gospel
ශුද්ධ වූ ජොහන් 3: 14-21
14පාළුකරයෙහි දී මෝසෙස් සර්පයා එසවූ ලෙස ම මනුෂ්‍ය-පුත්‍රයාණන් ද,
15උන් වහන්සේ කෙරෙහි අදහාගන්නා සෑම දෙන ම සදාතන ජීවනය ලබන පිණිස, ඔසවනු ලබන්නට ඕනෑ ය.”
16දෙවියන් වහන්සේ ලෝකයාට කොතරම් ප්‍රේම කළ සේක් ද කීවොත්, ස්වකීය ඒක ජාතක පුත්‍රයාණන් වුව ද ලොවට දෙවා වදාළ සේක. එසේ කෙළේ, උන් වහන්සේ කෙරෙහි අදහන සියලු දෙනා ම විනාශ නොවී සදාතන ජීවනය ලබන පිණිස ය.
17දෙවියන් වහන්සේ ස්වකීය පුත්‍රයාණන් ලොවට එවා වදාළේ, ලෝකයා විනිශ්චය කරන පිණිස නොව, උන් වහන්සේ කරණකොටගෙන ලෝකයා ගළවනු ලබන පිණිස ය.
18උන් වහන්සේ අදහාගන්නා විනිශ්චය කරනු නො ලැබේ. අදහා නොගන්නා දෙවියන් වහන්සේගේ ඒක ජාතක පුත්‍රයාණන් අදහා නොගන්නා බැවින් දැනට ම විනිශ්චය ලබා ඇත.
19විනිශ්චය නම් මේ ය: ලෝකයට ආලෝකය පැමිණ තිබේ; එහෙත්, තමන්ගේ ක්‍රියා නපුරු බැවින් මනුෂ්‍යයෝ ආලෝකයට වඩා අන්ධකාරයට ප්‍රිය කළහ.
20නපුරු ක්‍රියා කරන හැම දෙන ම ආලෝකයට ද්වේෂ කරති; ඔවුන්ගේ ක්‍රියා එළි වන බැවින් ඔව්හු ආලෝකයට නොපැමිණෙති.
21එහෙත්, සත්‍ය දේ කරන තැනැත්තා තමාගේ ක්‍රියා දෙවියන් වහන්සේට කීකරු ව කරන ලද බව පෙනෙන පිණිස ආලෝකයට පැමිණේ ය”යි වදාළ සේක.
Scrutiny
First Reading
සාමුවෙල්ගේ පළමු වන පොත 16: 1, 6-7, 10-13
පාඨ අන්තර්ගතය ලබා ගත නොහැක.
Responsorial Psalm
ගීතාවලිය 23: 1-3a, 3b-4, 5, 6
1සමිඳාණෝ මා එඬේරාණෝ ය; අග හිඟ මට නොවන්නේ ය.
2එතුමාණෝ නිල් තණ බිම් මත මා සතප්වා, නිසල දිය වෙත පමුණුවා,
3මා පණගන්වන සේක. සිය නාමයේ මහිමය සැලසෙන ලෙස දමිටු මඟ මා ගෙන යන සේක.
4මරණය වැනි ගන’ඳුරු රුදුරු නිම්නය මැදින් ගියත්, ඔබ මා සමඟ බැවින්, මට කිසි බියක් නොවන්නේ ය. ඔබේ කෙවිට ද සැරයටිය ද මා නියත සැනසිල්ල වන්නේ ය.
5ඔබ මාගේ සතුරන් ඉදිරියේ දී, මංගල බොජුනක් පිළියෙළ කර දී, මා සිරස තෙලින් ආලේප කරන සේක. මාගේ කුසලාන උතුරා යන්නේ ය.
6ඔබේ දයාව හා කරුණාව නියත ව, දිවිහිමියෙන් මා අනුව එන්නේ ය. සමිඳුන්ගේ නිවාසය මාගේ සදාතන වාසය වන්නේ ය.
Second Reading
එපීස 5: 8-14
8මන්ද, වරක් ඔබ අන්ධකාරයෙහි සිටිය නමුත්, දැන් සමිඳාණන් වහන්සේ තුළ ආලෝකයෙහි සිටින්නහු ය.
9ආලෝකයට අයිති දරුවන් මෙන් හැසිරෙන්න. ආලෝකයේ ප්‍රතිඵල නම්, සියලු ආකාර යහපත්කමත්, දමිටුකමත්, සැබෑකමත් ය.
10සමිඳාණන් වහන්සේට ප්‍රිය මනාප දේ කුමක් දැ යි විමසා බලන්න.
11අන්ධකාරයේ නිෂ්ඵල ක්‍රියාවලට හවුල් නොවී, ඒවා එළිකරන්න.
12සැබැවින් ම ඔවුන් රහසිගත ව කරන දේ ගැන කතා කිරීම පවා පිළිකුලකි.
13එහෙත් ආලෝකයෙන් එළි වන සියල්ලේ නියම ස්වභාවය සක්සුදක් සේ පැහැදිලි ව පෙනෙයි.
14එසේ එළි වන දේ ආලෝකය බවට හැරේ. එබැවින් මෙසේ කියා ඇත: ”නිදා සිටින ඔබ අවදි වන්න, මරණින් නැඟිටින්න, එවිට ක්‍රිස්තුන් වහන්සේ ඔබගේ ආලෝකය වන සේක.”
Verse Before the Gospel
ශුද්ධ වූ ජොහන් 8: 12
12යළිත් අවස්ථාවක ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට, ”ලෝකයේ ආලෝකය මම ය; මා අනුගමනය කරන්නා අඳුරෙහි නොහැසිර ජීවනයේ ආලෝකය ලබන්නේ ය”යි වදාළ සේක.
Gospel
ශුද්ධ වූ ජොහන් 9: 1-41
1උන් වහන්සේ වඩිනා කල්හි, උපන් දා සිට අන්ධ වූ මිනිසෙකු දුටු සේක.
2ගුරුදේවයෙනි, මොහු අන්ධ ව ඉපදුණේ මොහු හෝ මොහුගේ දෙමවුපියන් හෝ පව් කළ නිසා දැ”යි ශ්‍රාවකයෝ උන් වහන්සේගෙන් ඇසූ හ.
3ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, ”මොහු අන්ධ ව ඉපදුණේ මොහු වත් මොහුගේ දෙමවුපියන් වත් පව් කළ නිසා නොව; දෙවියන් වහන්සේගේ බලය මොහු තුළ ප්‍රකාශ වන පිණිස ය.
4දිවා කාලය තිබෙන තුරු මා එවා වදාළ තැනැන් වහන්සේගේ ක්‍රියා අප විසින් කළ යුතු ය. රාත්‍රි කාලය පැමිණෙයි; එවිට කිසිවෙකුට ක්‍රියා කළ නොහැකි ය.
5මම ලෝකයෙහි සිටින තුරු ලෝකයේ ආලෝකය වෙමි”යි වදාළ සේක.
6මෙසේ කියමින් උන් වහන්සේ බිමට කෙළ පිඬක් ගසා, එයින් මඬ සාදා, ඔහුගේ නෙත්වල ගල්වා,
7ගොස් සිලෝවම් පොකුණෙන් සෝදා ගන්නැ”යි වදාළ සේක. (සිලෝවම් යන්නෙහි අර්ථය ‘එවන ලද්දේ ය’ යනු යි.) එවිට ඔහු ගොස් සෝදාගෙන පෙනීම ලැබ ආපසු පැමිණියේ ය.
8අසල්වාසීහු ද, පෙර ඔහු සිඟනු දුටු අය ද, ”මේ, අර හිඳගෙන සිඟා කෑ මිනිසා නොවේ දැ”යි ඇසූ හ.
9මේ ඔහු ම ය”යි සමහරු කී හ. ”නැත, ඔහු නොවේ, ඔහුට සමාන අන් අයෙකැ”යි වෙනත් අය, කී හ. එහෙත්, ”මම ඒ මිනිසා ම ය”යි ඔහු කී ය.
10එසේ නම් නුඹේ ඇස් පෑදුණේ කෙසේ දැ”යි ඔව්හු ඔහුගෙන් ඇසූ හ.
11ඔහු පිළිතුරු දෙමින්, ”ජේසුස් නම් කෙනෙක් මඬ සාදා මගේ ඇස්වල ගල්වා, ‘සිලෝවම් පොකුණට ගොස් සෝදාගන්නැ’යි මට කී හ. මම ගොස් සෝදාගෙන පෙනීම ලබාගතිමි”යි කී ය.
12ඒ තැනැත්තා කොහේ දැ”යි ඔව්හු ඇසූ හ. ”මම නො දනිමි”යි ඔහු කී ය.
13ඔව්හු කලින් අන්ධ ව සිටි ඒ තැනැත්තා පරිසිවරුන් වෙතට ගෙන ගියහ.
14ජේසුස් වහන්සේ මඬ පිඬක් සාදා ඔහුගේ ඇස් පෑදුවේ සබත් දවසක දී ය.
15එබැවින් ඔහුට පෙනීම ලැබුණේ කොහොම දැ යි නැවතත් පරිසිවරු ඔහුගෙන් ඇසූ හ. ඔහු පිළිතුරු දෙමින්, ”උන් වහන්සේ මාගේ ඇස්වල මඬ ගැල්වූ සේක: මම සෝදාගතිමි; එවිට පෙනීම ලදිමි”යි කී ය.
16එබැවින් පරිසිවරුන්ගෙන් සමහරෙක්, ”ඒ මිනිසා සබත් විනය කඩ කරන බැවින් ඔහු දෙවියන් වහන්සේ වෙතින් පැමිණියෙක් නොවේ ය”යි කී හ. එහෙත් අන් සමහරෙක්, ”පව්කාර මිනිසෙකුට මෙබඳු හාස්කම් කළ හැක්කේ කෙසේ දැ”යි ඇසූ හ. මෙසේ ඔවුන් අතර භේදයක් ඇති විය.
17එබැවින් ඔව්හු නැවතත් අන්ධයාට කතා කොට, ”නුඹේ ඇස් පෑදුවේ ඒ මිනිසා නම්, ඔහු ගැන නුඹේ අදහස කුමක් දැ”යි ඇසූ හ. ”ඔහු නම් දිවැසිචරයෙකැ”යි හෙතෙම පිළිතුරු දුන්නේ ය.
18ඔහු අන්ධ ව සිටි බවත්, පසුව පෙනීම ලැබූ බවත්, පෙනීම ලැබූ මිනිසාගේ දෙමවුපියන් කැඳවා විමසන තුරු විශ්වාස කිරීමට ජුදෙව්වරු මැළි වූ හ.
19මේ මිනිසා ඔබේ පුතා ද? ඇත්තට ම ඔහු අන්ධ ව උපන්නේ ද? එසේ නම් දැන් ඔහුට පෙනෙන්නේ කෙසේ දැ”යි ඔව්හු දෙමවුපියන්ගෙන් ප්‍රශ්න කළහ.
20ඔහුගේ මවුපියෝ පිළිතුරු දෙමින්, ”මේ අපගේ පුත්‍රයා බව අපි දනිමු, ඔහු අන්ධ ව උපන් බවත් අපි දනිමු.
21එහෙත් දැන් ඔහුට පෙනෙන්නේ කොහොම දැ යි අපි නොදනිමු. ඔහුගේ ඇස් පෑදුවේ කවරෙක් ද කියාත් අපි නොදනිමු. ඔහුගෙන් ම අසන්න; දැන් ඔහු තේරෙන වයසැති කෙනෙකි. තමා ගැන ම කතා කරන්නට ඔහුට පුළුවනැ”යි කී හ.
22ඔහුගේ දෙමවුපියන් මෙසේ කීවේ ජුදෙව්වරුන්ට බියෙනි. මන්ද, ‘යමෙක් උන් වහන්සේ ක්‍රිස්තුවරයාණෝ යයි ඒත්තුගන්නේ නම් ඔහු ධර්මශාලාවෙන් නෙරපාදැමිය යුතු ය’යි ජුදෙව්වරුන් නියම කරගෙන සිටි හෙයිනි.
23ඒ නිසා ඔහුගේ මවුපියෝ, ”ඔහු තේරෙන වයසැති කෙනෙකි; ඔහුගෙන් අසන්නැ”යි කී හ.
24ඔව්හු අන්ධ ව සිටි මිනිසා නැවතත් ගෙන්වා, ”දෙවියන් වහන්සේ ඉදිරියේ e ඇත්ත කියන්න; මේ මිනිසා නම් පව්කාරයෙකු බව අපි දනිමු”යයි කී හ.
25එවිට ඔහු පිළිතුරු දෙමින්, ”ඒ තැනැත්තා පව්කාරයෙක් ද නැද්දැ යි මම නොදනිමි; එහෙත් එක දෙයක් මම දනිමි; මම අන්ධ ව සිටියෙමි, දැන් මට පෙනේ” යයි කී ය.
26එවිට ඔව්හු, ”ඔහු ඔබට කුමක් කෙළේ ද? ඔබේ ඇස් පැහැදුවේ කොහොම දැ”යි ඔහුගෙන් ඇසූ හ.
27ඔහු පිළිතුරු දෙමින්, ”මම කලින් ඔබට කීවෙමි, එහෙත් ඔබ මගේ කීම ඇසුවේ නැත. ඔබ එය නැවතත් අසන්නට තැත් කරන්නේ මන් ද? ඔබත් උන් වහන්සේගේ ශ්‍රාවකයන් වෙන්නට අදහස් කරන නිසා වත් දැ”යි ඇසී ය.
28ඔව්හු ඔහුට බැණවදිමින්, ”ඔබ යි ඔහුගේ ශ්‍රාවකයා; අපි නම් මෝසෙස්ගේ ශ්‍රාවකයෝ වම්හ.
29දෙවියන් වහන්සේ මෝසෙස්ට කතා කළ බව අපි දනිමු. එහෙත් මේ මිනිසා ගැන නම්, මොහු කොහෙන් වී දැ යි අපි නොදනිමු”යි කී හ.
30ඒ මිනිසා පිළිතුරු දෙමින්, ”මෙය මහ පුදුමයක්! ඔහු කොතැනින් ආවේ දැ යි ඔබ නොදන්නහු ය; එහෙත් මාගේ ඇස් පෑදුවේ ඔහු ය.
31දෙවියන් වහන්සේ පව්කාරයන්ගේ බස් නොඅසන බවත්, දේව භක්තිය ඇති, දේව කැමැත්ත කරන, යමෙකු ඇත්නම් ඔහුගේ බස් අසන බවත් අපි දනිමු.
32යම් කිසිවෙකු අන්ධ ව උපන් කෙනෙකුගේ ඇස් පෑදූ බව ලෝකයේ පටන්ගැන්මේ සිට කවදාවත් ඇසූ දෙයක් නොවේ.
33මේ තැනැත්තා දෙවියන් වහන්සේ වෙතින් නොපැමිණියෙක් නම් කිසිවක් කරන්නට ඔහුට නොහැකි ය”යි කී ය.
34ඔව්හු පිළිතුරු දෙමින්, ”උපන් දා සිට ම පාපයේ සිටින ඔබ අපට උගන්වන්නට එන්නෙහි දැ”යි කියා ඔහු ධර්මශාලාවෙන් නෙරපාදැමූ හ.
35ඔවුන් ඒ මිනිසා නෙරපාදැමූ බව ජේසුස් වහන්සේට ආරංචි වී, ඔහු හමු වූ පසු, ”ඔබ මනුෂ්‍ය-පුත්‍රයාණන් අදහන්නෙහි දැ”යි ඇසූ සේක.
36ස්වාමීනි, ඒ කවරෙක් ද? එතුමා අදහාගන්න පිණිස මට කියන්නැ”යි ඔහු යැදී ය.
37ඔබ එතුමා දැක ඇත; දැන් ඔබ සමඟ කතා කරන තැනැත්තේ එතුමා ය”යි පිළිතුරු දුන් සේක.
38ඔහු ද, ”ස්වාමීනි, මම අදහමි”යි කියා පසඟ පිහිටුවා උන් වහන්සේට වැන්දේ ය.
39ජේසුස් වහන්සේ කතා කොට: ”මා මෙලොවට වැඩියේ විනිශ්චය සඳහා ය. එයින්, පෙනීම නැත්තන්ට පෙනීම ඇති වනු ඇත, පෙනීම ඇත්තන්ට පෙනීම නැති වනු ඇතැ”යි වදාළ සේක.
40උන් වහන්සේ සමඟ සිටි පරිසිවරුන්ගෙන් ඇතැමෙක් එය අසා, ”අපිත් අන්ධයෝ දැ?”යි උන් වහන්සේගෙන් ඇසූ හ.
41උන් වහන්සේ පිළිතුරු දෙමින්, ”ඔබ අන්ධ ව සිටියා නම් ඔබට පාපයක් නැත. එහෙත් දැන් ‘අපට පෙනේ ය’යි ඔබ කියන නිසා ඔබේ පාපය එසේ ම පවතී ය”යි ඔවුන්ට වදාළ සේක.