මාර්තු 2027

බ්‍ර සි සෙ
123456
78910111213
14151617181920
21222324252627
28293031
අද දිනට

කියවීම්

2027 මාර්තු 22

Monday of Holy Week

දවසේ දේව මෙහෙය
First Reading

යෙසායා 42: 1-7

1මා සහාය දෙන මාගේ සේවකයා මෙන්න. මට ප්‍රිය වූ මාගේ තෝරාගත් තැනැත්තා මෙන්න. මාගේ ආත්මානුභාවය මා එතුමාට ප්‍රදානය කර ඇත. සියලු ජාතීන්ට එතුමා යුක්තිය ගෙන දෙනු ඇත. 2එතුමා උස් හඬින් කතා කරන්නේ වත්, මොරගසන්නේ වත් නැත; වීථිවල ඇසෙන පරිදි හඬ නඟන්නේ නැත; 3තැළුණු බට දණ්ඩක් කඩාදමන්නේ නැත; නිවී ගෙන යන පහන් තිරයක් නිවාදමන්නේ නැත. 4සැබැවින් ම යුක්තිය ඉටු කරන්නේ ය; එතුමා කලකිරෙන්නේ වත්, අධෛර්ය වන්නේ වත් නැත; මිහි පිට යුක්තිය පිහිටුවන තුරු එතුමාගේ දහම් මඟ උදාවන තුරු දිවයින් බලා සිටිනු ඇත.” 5අහස් තලය මවා, එය පිහිටෙ වූ ද පොළෝ තලයත් එහි හටගන්න සියල්ලත් නිර්මාණය කළා වූ ද එහි වැසියන් හට පණ නළ දුන්නා වූ ද එහි යන එන සතුන්ට ජීවය දුන්නා වූ ද දෙවි සමිඳාණෝ මෙසේ වදාරන සේක: 6යුක්තිය පිහිටුවන පිණිස සමිඳාණන් වන මම නුඹ කැඳවාගතිමි. මම නුඹ අතින් ගෙන නුඹ හැඩගැසීමි. සෙනඟ හා මා අතර ගිවිසුමක් වන පිණිසත්, සියලු ජාතීන් අතර ආලෝකයක් වන පිණිසත් මම නුඹ පත් කෙළෙමි. 7මා එසේ කෙළේ, නුඹ අන්ධයන්ගේ ඇස් පහදන පිණිසත්, සිරගෙයි සිරකරුවන් ද දඟගෙයි අඳුරෙහි වසන්නන් ද මුදන පිණිසත් ය.
Responsorial Psalm

ගීතාවලිය 27: 1, 2, 3, 13-14

1හිමිසඳ මාගේ ආලෝකය හා විමුක්තිය ය; මම කිසිවෙකුට බිය නොවෙමි. හිමිසඳ මාගේ ජීව ශක්තිය ය; මට භීතියක් නැත. 2දුදනන් වන මාගේ විරුද්ධකාරයෝ සහ සතුරෝ මා කා දමන පිණිස ආ කල ඔව්හු පැකිළී වැටුණෝ ය. 3බළ ඇණියක් මට විරුද්ධ ව කඳවුරු බැන්දත්, මසිතට බියක් නැත. මට විරුද්ධ ව යුද ගිනි ඇවිළුණත්, මම සුරක්ෂිත ව සිටිමි. 13ජීවතුන් අතර සමිඳුන්ගේ යහපත්කම මට දක්නට ලැබේ ය”යි මම විශ්වාස කරමි. 14සමිඳුන් කෙරේ බලා සිටින්න; ශක්තිමත් වන්න; ධෛර්යවත් වන්න; සමිඳුන් කෙරේ බලා සිටින්න.
Gospel

ශුද්ධ වූ ජොහන් 12: 1-11

1ජේසුස් වහන්සේ පාස්කු මංගල්‍යයට සදවසකට පෙර, උන් වහන්සේ විසින් මරණයෙන් උත්ථාන කරන ලද ලාසරස් විසූ බෙතානියට වැඩම කළ සේක. 2ඔව්හු උන් වහන්සේට එහි භෝජන සංග්‍රහයක් පිළියෙළ කළහ. මාර්තා උපස්ථාන කළා ය; ලාසරස් උන් වහන්සේ සමඟ කෑමට හිඳගත් අයගෙන් කෙනෙකි. 3එවිට මරියා ඉතා වටිනා සුවඳ විලවුන් ලීටර් භාගයක් රැගෙන, උන් වහන්සේගේ පාද ආලේප කොට, ඇගේ කෙස් කළඹින් පිසදැමුවා ය. එහි සුවඳින් ගෙය පිරීගියේ ය. 4එවිට, උන් වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් එක් කෙනෙක් වූ, උන් වහන්සේ පාවා දීමට සිටි, ජූදස් ඉස්කාරියොත් කතා කොට, 5මේ විලවුන් රිදී කාසි තුන් සියයකට විකුණා දිළිඳුන්ට නුදුන්නේ මන් දැ?”යි ඇසී ය. 6ඔහු මෙසේ කීවේ දිළිඳුන් ගැන කැක්කුමක් තිබුණ නිසා නොව, ඔහු සොරෙකු වූ බැවිනි. පොදු මුදල් පසුම්බිය භාර ව සිටි ඔහු, එහි දමන ලද දේ සොරාගන්නට පුරුදු ව සිටියේ ය. 7ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, ”ඈට කරදර නොකරන්න. මා භූමදාන කරන දවස සඳහා ඈ එය තබාගත්තාවේ. 8දිළින්දො‍් නම් ඔබ සමඟ නිතර ම සිටිති; එහෙත් මම ඔබ සමඟ නිතර ම නොසිටිමි”යි වදාළ සේක. 9ජුදෙව්වරුන්ගෙන් මහා සමූහයක් ජේසුස් වහන්සේ එහි සිටින බව අසා උන් වහන්සේ දැකීමට පමණක් නොව, උන් වහන්සේ විසින් මරණයෙන් උත්ථාන කරන ලද ලාසරස් දැකීමට ද පැමිණියහ. 10එබැවින්, ලාසරස් ද මරන්නට නායක පූජකයෝ කුමන්ත්‍රණය කළහ. 11මන්ද, ඔහු නිසා ජුදෙව්වරුන් බොහෝ දෙනෙකු ඔවුන්ගෙන් අහක් ව ගොස් ජේසුස් වහන්සේ අදහාගත් නිසා ය.