මාර්තු 2027

බ්‍ර සි සෙ
123456
78910111213
14151617181920
21222324252627
28293031
අද දිනට

කියවීම්

2027 මාර්තු 20

Lenten Weekday

දවසේ දේව මෙහෙය
First Reading

එසකියෙල් 37: 21-28

21මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ඉශ්රායෙල් සෙනඟ ගොස් සිටින තැන්වල විජාතීන් අතරෙන් මම ඔවුන් රැගෙන වටින් පිටින් ඔවුන් රැස් කොට, ඔවුන්ගේ රටට ඔවුන් පමුණුවන්නෙමි. 22මම දේශයෙහි ඉශ්රායෙල් කඳු පිට ඔවුන් එක ජාතියක් කරන්නෙමි. එක රජෙක් ද ඔවුන් සියල්ලන්ට ම රජ වන්නේ ය. ඔව්හු තවත් ජාති දෙකක් නොවන්නෝ ය. තවත් රාජ්‍යයන් දෙකකට නොබෙදෙන්නෝ ය. 23ඔව්හු තමන්ගේ දේව රූපවලින් වත්, තමන්ගේ පිළිකුල් ක්‍රියාවලින් වත්, තමන්ගේ සියලු ම පාප ක්‍රියාවලින් වත් තමන් කිළුටු කර නොගනිති. ඔවුන් කළ පව්වලින් මම ඔවුන් ගළවා ඔවුන් පිරිසිදු කරන්නෙමි. මෙසේ ඔව්හු මාගේ සෙනඟ වන්නෝ ය. මම ද ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නෙමි. 24මාගේ සේවක දාවිත් වැනි රජෙක් ඔවුන් කෙරෙහි රජ වන්නේ ය; ඔවුන් සියල්ලන්ට ම එක එඬේරෙක් වන්නේ ය. ඔව්හු මාගේ නියෝග ලෙස හැසිර, මාගේ පණත් අනුගමනය කර ඒවා ඉටු කරන්නෝ ය. 25මාගේ සේවක ජාකොබ්ට මා දුන්, නුඹලාගේ පියවරුන් වාසය කළ දේශයෙහි ඔවුන් වාසය කරනු ඇත; එසේ ඔව්හු ද ඔවුන්ගේ දරුවෝ ද ඔවුන්ගේ දරුවන්ගේ දරුවෝ ද සදාකාලයට ම එහි වාසය කරන්නෝ ය. මාගේ සේවක දාවිත් වැනි රජෙක් සදාකාලයට ම ඔවුන්ට අධිපතියා වන්නේ ය. 26තවද, මම සාමදාන ගිවිසුමක් ඔවුන් සමඟ කරන්නෙමි. එය ඔවුන් සමඟ සදාකාල ගිවිසුමක් වන්නේ ය. මම ඔවුන්ට ආසිරි පතා, ඔවුන් වැඩි වර්ධනය කොට, මාගේ ශුද්ධස්ථානය ඔවුන් අතරෙහි සදාකාලයට ම පිහිටුවන්නෙමි. 27මම ඔවුන් සමඟ වැඩවසන්නෙමි. මම ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නෙමි. ඔව්හු මාගේ සෙනඟ වන්නෝ ය. 28මාගේ ශුද්ධස්ථානය හැම කල්හි ම ඔවුන් අතරෙහි තිබීමෙන් මා ඉශ්රායෙල් විශුද්ධ කරන සමිඳාණන් වහන්සේ බව විජාතීන් දැනගනු ඇත.”
Responsorial Psalm

ජෙරමියා 31: 10, 11-12, 13

10එම්බා ජාතීනි, සමිඳුන්ගේ වචනයට සවන් දී දුර බැහැර දිවයින්වල එය ප්‍රකාශ කරන්න. ‘ඉශ්රායෙල් සෙනඟ විසිරවූ මම ඔවුන් රැස් කරන්නෙමි; එඬේරා තම රැළ රැකගන්න පරිදි මම ඔවුන් රැකගන්නෙමි’යි කියන්න. 11ඉශ්රායෙල් සෙනඟට නිදහස දී, බලවත් ජාතීන්ගේ හස්තයෙන් මම ඔවුන් ගළවාගනිමි. 12ඔව්හු පැමිණ සියොන් කන්ද මත ප්‍රීතියෙන් ගී ගයති, මාගේ යහපත්කම නිසා තමන් ලත් දීමනා වන ධාන්‍ය, මිදියුස හා තෙල් ද බැටළු පැටවුන් හා ගවවස්සන් ද ගැන සතුටු වන්නෝ ය. ඔවුන්ගේ ජීවිතය ජලයෙන් සාරවත් වූ උයනක් මෙන් වන්නේ ය. ඔව්හු තවත් කිසි සේත් දුක් නොවන්නෝ ය. 13එවිට තරුණියෝ ප්‍රීතියෙන් නටන්නෝ ය. තරුණයෝ ද මහල්ලෝ ද එක් ව ප්‍රීති වන්නෝ ය. මම ඔවුන්ගේ වැලපීම ප්‍රීතියට හරවන්නෙමි. ඔවුන් සනසා ඔවුන්ගේ දොම්නස සොම්නසට හරවන්නෙමි.
Verse Before the Gospel

එසකියෙල් 18: 31

31නුඹලා කළ නුඹලාගේ සියලු වරද නුඹලා වෙතින් ඉවතදමා අලුත් සිතක් ද අලුත් මනසක් ද නුඹලාට ම සලසාගන්න. ඉශ්රායෙල්වරුනි, නුඹලා නසින්නේ කුමට ද?
Gospel

ශුද්ධ වූ ජොහන් 11: 45-56

45මරියා වෙතට ආ ජුදෙව්වරුන්ගෙන් බොහෝ දෙනෙක් ජේසුස් වහන්සේ කළ දේ දැක උන් වහන්සේ අදහාගත්හ. 46එහෙත් ඔවුන්ගෙන් ඇතැමෙක් පරිසිවරුන් වෙතට ගොස් ජේසුස් වහන්සේ කළ දේවල් ඔවුන්ට සැළ කළහ. 47එවිට නායක පූජකයෝ ද, පරිසිවරු ද ශ්‍රේෂ්ඨාධිකරණය රැස් කරවා, ”අපි කුමක් කරමු ද? මේ මිනිසා බොහෝ හාස්කම් කරයි. 48අප ඔහුට මෙසේ ඉඩ හැරියොත්, සියල්ලන් ම ඔහු අදහාගනු ඇත. එවිට රෝමවරුන් පැමිණ අපේ ශුද්ධස්ථානයත්, අපේ ජාතියත් වනසනු ඇතැ”යි කී හ. 49ඔවුන්ගෙන් එක් කෙනෙක් වූ, ඒ අවුරුද්දේ උත්තම පූජකයා වූ කායාපස් කතා කොට, 50ඔබ දන්නා දෙයක් නැත; මුළු ජාතියේ විනාශයට වඩා, ජනතාව උදෙසා එක මිනිසෙකුගේ මරණය යෝග්‍ය බව ඔබට තේරෙන්නේ නැතැ”යි කී ය. 51මෙය ඔහු ම හිතා කී දෙයක් නොවේ. ඒ වනාහි, ඔහු ඒ අවුරුද්දට උත්තම පූජකයා ව සිටි බැවින්, ජේසුස් වහන්සේ ජාතිය උදෙසා ද, 52ජාතිය උදෙසා පමණක් නොව, දෙවියන් වහන්සේගේ විසිරී ගිය දරුවන් එක්රැස් කරන පිණිස ද, දිවි පිදිය යුතු බවට ඔහු පැවසූ දිවැසි කීමකි. 53එබැවින් එදා පටන් ඔව්හු උන් වහන්සේ මරන්නට කුමන්ත්‍රණය කළහ. 54ඒ නිසා ජේසුස් වහන්සේ ජුදෙව්වරුන් අතරෙහි තවත් ප්‍රසිද්ධියේ නොගැවසී, එයින් ඉවත් ව පාළුකරයට යාබද පෙදෙසෙහි, එප්‍රායිම් නම් නුවරට වැඩම කර ශ්‍රාවකයන් සමඟ එහි නැවතී සිටි සේක. 55එකල ජුදෙව්වරුන්ගේ පාස්කු මංගල්‍යය ළං ව තිබිණි. මංගල්‍යයට තම තමන් පවිත්‍ර කරගන්නා පිණිස බොහෝ දෙනෙක් පිටිසරින් නික්ම ජෙරුසලමට ගියහ. 56එවිට, ඔව්හු ජේසුස් වහන්සේ සොයමින් දේව මාලිගාවේ සිටිය දී, ”ඔබ කුමක් සිතන්නහු ද? ඔහු මංගල්‍යයට නෑවිත් සිටී දැ”යි ඔවුනොවුන් අතර කතා කරගත්හ.