මාර්තු 2027

බ්‍ර සි සෙ
123456
78910111213
14151617181920
21222324252627
28293031
අද දිනට

කියවීම්

2027 මාර්තු 24

Wednesday of Holy Week

දවසේ දේව මෙහෙය
First Reading

යෙසායා 50: 4-9a

4විඩාවට පත්වූවන් ශක්තිමත් කරන පිණිස ගුරුවරයෙකු මෙන් මා කිව යුතු දේ ගැන සිසුවෙකු මෙන් එතුමන්ට සවන් දෙන පිණිස මහෝත්තම දෙවි සමිඳාණෝ හැම උදයක ම මා තුළ උනන්දුවක් ඇති කරවන සේක. 5දෙවි සමිඳුන් මාගේ කන් පහදා ඇත. මා එතුමන්ට විරුද්ධ ව කැරලි ගැසුවේ වත්, එතුමන්ට පිටුපා ගියේ වත් නැත. 6මට පහර දෙන්නන්ට මම මාගේ පිට පෑවෙමි. මාගේ රැවුල් ගස් උදුරන්නන්ට මම මුහුණ දුන්නෙමි. මාගේ මුහුණ නින්දාවෙනුත්, කෙළ ගැසීමෙනුත් හරවා නොගතිමි. 7මහෝත්තම දෙවි සමිඳාණන් මට උපකාර කරන බැවින් මම වියවුල් නොවන්නෙමි. මම නිර්භීත ලෙස මුහුණ පාන්නෙමි. මා ලජ්ජාවට නොපැමිණෙන බව දනිමි. 8මන්ද, දෙවිඳාණෝ මා ළඟ ය; එතුමාණෝ මා නිදොස් බව පෙන්වන සේක. මට විරුද්ධ ව චෝදනා කරන්නේ කවරෙක් ද? අපි දෙදෙනා ම විනිශ්චයයට යමු; ඔහු මට විරුද්ධ ව චෝදනාව ඉදිරිපත් කරා වා! 9මහෝත්තම දෙවි සමිඳාණෝ මට උපකාර කරන සේක. ‘මා වැරදිකරු ය’යි ඔප්පු කළ හැක්කේ කවරෙකුට ද? කාවුන් කාදමන පරණ වස්ත්‍රයක් මෙන් මාගේ විරුද්ධකාරයෝ සියලු දෙන ම අතුරුදහන් වන්නෝ ය.
Responsorial Psalm

ගීතාවලිය 69: 8-10, 21-22, 31 and 33-34

8මාගේ සොහොයුරන්ට මම නාඳුනන්නෙක් වීමි; මාගේ මවගේ පුත්‍රයන් හට මම විදේශිකයෙක් වීමි. 9ඔබේ දෙව් මැදුරට ඇති උද්‍යෝගය මා දවන්නේ ය. ඔබට නින්දා කරන්නන්ගේ නින්දා මා පිට පැටවී ඇත්තේ ය. 10එබැවින් මා කඳුළු සලමින් උපවාස කරන විට සෙනඟ මට නින්දා කරන්නෝ ය. 21සාගින්නේ දී ඔව්හු මට වහ දුන්නෝ ය; පිපාසයේ දී ඔව්හු මට තිත්ත කාඩි බොන්න දුන්නෝ ය. 22ඔවුන්ගේ කෑම මේසය ඔවුන්ට ම මලපතක් වේ වා! ඔවුන්ගේ මංගල උත්සව ඔවුන්ට මර උගුලක් වේ වා! 31ගවයෙකු පිදීමට වඩා මෙවැන්නක් සමිඳුන්ට ප්‍රසන්න වන්නේ ය. අං සහ කුර සහිත ගොනෙකු පිදීමට වඩා එය ප්‍රසන්න වන්නේ ය. 33මන්ද, සමිඳාණෝ දිළිඳුන් හට සවන් දෙන සේක; හිරගත වී සිටින තම සෙනඟ අත් නොහරින සේක. 34අහසත්, පොළොවත් උන් වහන්සේට ප්‍රශංසා කරත් වා! මුහුදත්, එහි හැසිරෙන සියල්ලෝත් එතුමන්ට ප්‍රශංසා කරත් වා!
Gospel

ශුද්ධ වූ මතෙව් 26: 14-25

14තවද දොළොස් දෙනාගෙන් කෙනෙකු වූ ජූදස් ඉස්කාරියොත් නායක පූජකයන් වෙත ගොස්, 15ජේසුස් වහන්සේ ඔබට පාවා දුන්නොත් ඔබ මට දෙන්නේ කුමක් දැ”යි ඇසී ය. ඔව්හු රිදී කාසි තිහක් කිරා ඔහුට දුන්හ. 16එතැන් පටන් ඔහු උන් වහන්සේ පාවා දීමට සුදුසු අවස්ථාවක් සෙවී ය. 17නුමුහුන් රොටි මංගල්‍යයේ පළමු වන දින ශ්‍රාවකයෝ ජේසුස් වහන්සේ වෙතට අවුත්, ”පාස්කු භෝජනය වළඳන පිණිස අප කොතැන පිළියෙළ කරනවාට ඔබ කැමැති සේක් දැ”යි ඇසූ හ. 18ජේසුස් වහන්සේ ද, ”ඔබ නගරයේ සිටින අසවල් මනුෂ්‍යයා වෙතට ගොස්, ‘මාගේ නියමිත මොහොත ළං ව ඇත; මාගේ ශ්‍රාවකයන් සමඟ ඔබේ නිවසේ දී පාස්කු භෝජනය පවත්වමි යි ගුරුදේවයන් වහන්සේ කියන සේකැ’යි ඔහුට දන්වන්නැ”යි වදාළ සේක. 19ශ්‍රාවකයෝ ජේසුස් වහන්සේ ඔවුන්ට අණ කළ ලෙස පාස්කු භෝජනය පිළියෙළ කළහ. 20සවස් වූ කල උන් වහන්සේ ප්‍රේරිතයන් දොළොස් දෙනා සමඟ කෑමට හිඳගත් සේක. 21ඔවුන් කෑම කමින් සිටිය දී, උන් වහන්සේ කතා කොට, ”සැබැවින් ම මම ඔබට කියමි, ඔබෙන් කෙනෙක් මා පාවා දෙන්නේ ය”යි වදාළ සේක. 22ඔව්හු අතිශයින් ශෝක ව එකිනෙකා, ”ස්වාමීනි, ඒ මම දැ”යි අසන්න පටන් ගත්හ. 23උන් වහන්සේ උත්තර දෙමින්, ”මා සමඟ එක පාත්‍රයේ අතලන තැනැත්තේ මා පාවා දෙන්නේ ය. 24මනුෂ්‍ය-පුත්‍රයාණන් ගැන ශුද්ධ ලියවිල්ලේ ලියා තිබෙන ලෙස ම ඔහු නියමිත ගමන යන්නේ ය. එහෙත්, මනුෂ්‍ය-පුත්‍රයාණන් පාවා දෙන යම් මනුෂ්‍යයෙක් වේ ද, ඔහුට වන විපතක මහත! ඒ මිනිසා නූපන්නේ නම් වඩා හොඳ ය”යි වදාළ සේක. 25උන් වහන්සේ පාවා දුන් ජූදස් උත්තර දෙමින්, ”ගුරුදේවයෙනි, ඒ මම දැ”යි ඇසී ය. ”වෙන කවුදැ”යි උන් වහන්සේ ඔහුට වදාළ සේක.