පෙබරවාරි 2027

බ්‍ර සි සෙ
123456
78910111213
14151617181920
21222324252627
28
අද දිනට

කියවීම්

2027 පෙබරවාරි 1

Ordinary Weekday

දවසේ දේව මෙහෙය
First Reading

හෙබ්‍රෙව් 11: 32-40

32තවදුරටත් කීම අවශ්‍ය ද? ගිඩියොන් ද බාරක් ද සම්සොන් ද ජෙප්තා ද දාවිත් ද සාමුවෙල් ද දිවැසිවරයන් ද ගැන කීමට කල් වේලා නැත. 33ඔව්හු ඇදහිල්ලෙන් රාජ්‍යයන් පරාජය කළහ. යුක්තිය ඉටු කළහ. දේව පොරොන්දු අත් කර ගත්හ, සිංහයන්ගේ කට වැසූ හ. 34රෞද්‍ර ගිනි ජාලා නිවාලූ හ, කඩුපතින් නොමළහ, දුබල ව සිටි නමුත් ප්‍රබල වූ හ, රණ බිම්හි ජය කොඩි නැංවූ හ, පර සතුරු සේනා නෙරපූ හ. 35ස්ත්‍රීහු සිය මළවුන් පුනරුත්ථානයෙන් නැවත ලැබූ හ. තවත් අය වඩා විශිෂ්ට පුනරුත්ථානයක් ලබන පිණිස, බේරීමක් නොසොයා මාරක වද වේදනා වින්දහ. 36තවත් අය අපහාස හා කස පහරවලට ද විලංගු සහ හිර අඩස්සියට ද මුහුණ පෑ හ. 37ඔව්හු ගල් පහර ලැබූ හ. කියතෙන් දෙකට ඉරනු ලැබූ හ, කඩුවෙන් මරනු ලැබූ හ. ඔව්හු අනාථ ව දුක් පීඩා විඳිමින්, බැටළු හම් හා එළු හම් ඇඳ, ඔබමොබ ගියහ. 38එවැන්නන් දැරීමට මේ ලෝකය වටින්නේ නැත. ඔව්හු මරුකතරෙහි හා කඳුකරවල ද ගුහාවල ද බිම්ගෙවල ද ගැවසුණ හ. 39මොවුහු සියල්ලෝ ම ඇදහිල්ල ගැන පැසසුම් ලැබූ නමුත්, පොරොන්දු නොලදහ. 40එසේ වූයේ, දෙවියන් වහන්සේ අප ගැන සලකා, ඔවුන් පරිපූර්ණත්වය ලැබිය යුත්තේ අප හා සමඟ පමණකැ යි යන වඩා හොඳ සැලැස්මක් කල්තියා පිළියෙළ කොට තිබූ හෙයිනි.
Responsorial Psalm

ගීතාවලිය 31: 20, 21, 22, 23, 24

20මිනිසුන්ගේ කුමන්ත්‍රණවලින් ඔබ ආරක්ෂාවෙහි ඔබ ඔවුන් සඟවන සේක; කලහකාරි අයගෙන් ඔවුන් වෙන් කොට ඔබේ මැදුරෙහි සුරැකි ව තබන සේක. 21සමිඳුන් හට ප්‍රශංසා වේ වා! මන්ද, එතුමාණෝ බලකොටු නුවරක දී එතරම් පුදුම ලෙස මට කරුණාව දැක්වූ සේක. 22ඔබ වෙතින් මා ඉවත දැමූ සේකැ”යි මාගේ ඉක්මන්කාරකමින් කීවෙමි. එහෙත්, මා ඔබේ පිහිට සෙවූ කල මාගේ කන්නලව්වට ඔබ සවන් දුන් සේක. 23සමිඳුන්ගේ සියලු සැදැහැවතුනි, එතුමන්ට ප්‍රේම කරන්න; හිමි තුමාණෝ සැදැහැවතුන් රක්නා සේක; උඩඟුකම් කරන්නවුන්ට විපුල ප්‍රතිවිපාක දෙන සේක. 24සමිඳුන් කෙරේ විශ්වාසය තබන සියල්ලෙනි, ශක්තිමත් වන්න; සිතින් ධෛර්යවත් වන්න.
Alleluia

ශුද්ධ වූ ලූක් 7: 16

16එකල සියල්ලෝ ම බිය පත් ව, ”ශ්‍රේෂ්ඨ දිවැසිවරයෙක් අප අතර පහළ වී සිටියි. දෙවියන් වහන්සේ සිය සෙනඟ ගළවන්න වැඩිය සේකැ”යි කියමින් දෙවියන් වහන්සේට ප්‍රශංසා කළහ.
Gospel

ශුද්ධ වූ මාර්ක් 5: 1-20

1ඔව්හු මුහුදින් එතෙර ගෙරසීනයන්ගේ රටට පැමිණියහ. 2උන් වහන්සේ ඔරුවෙන් බැස ආ කෙණෙහි ම අශුද්ධාත්මයක් ආවේශ වූවෙක් සොහොන් ගුහා අතරින් නික්ම එනු උන් වහන්සේට හමු විය. 3ඔහු වාසය කෙළේ සොහොන් ගුහාවල ය. කිසිවෙකුට ඔහු කිසි සේත් දමනය කළ නොහැකි විය; යදමකින් වත් එය කළ නොහැකි විය. 4බොහෝ වර විලංගුවලින් ද යදම්වලින් ද බඳිනු ලැබූ නමුත්, ඔහු යදම් කැබලි කොට කඩා, විලංගු සුණු විසුණු කොට දැමී ය. ඔහු මැඩලීමට තරම් ශක්තිය කිසිවෙකුට නො වී ය. 5ඔහු දිවා රෑ දෙක්හි ම, කෑකෝගසමින් ද ගල්වලින් කපාගනිමින් ද සොහොන් ගුහා අතරත්, කඳු බෑවුම්වලත් සිටියේ ය. 6ඔහු ජේසුස් වහන්සේ වඩිනු දුරතියා දැක, දිව අවුත්, පසඟ පිහිටුවා වැඳ, 7මහහඬින් මොරගා, ”පරමෝත්තම දෙවියන්ගේ පුත්‍ර වූ, ජේසුස් වහන්ස, ඔබත් මාත් අතර මොන ගනුදෙනුවක් ද? මට වද නොදෙන මෙන්‍ දෙවියන්ගේ නාමයෙන් අයැදිමි”යි කී ය. 8එසේ කීවේ ”අශුද්ධාත්මය, මේ මිනිසාගෙන් දුරුවෙව”යි උන් වහන්සේ ඔහුට කී බැවිනි. 9නුඹේ නම කුමක් දැ”යි උන් වහන්සේ ඔහුගෙන් ඇසූ සේක. ”මගේ නම සේනා ය, අපි සේනාංකයක් වම්හ”යි ඔහු කී ය. 10තමන් රටෙන් පිට නොකරන ලෙස ඔහු උන් වහන්සේගෙන් උදක් ම අයැද සිටියේ ය. 11එතැන කන්ද අද්දර මහත් ඌරු රැළක් ගොදුරු කමින් සිටියෝ ය. 12අශුද්ධාත්මයෝ ද, ”ඌරන්ට වැහෙන පිණිස අප උන් මැදට යැවුව මැනවැ”යි අයැද සිටියහ. 13උන් වහන්සේ අවසර දුන් සේක. අශුද්ධාත්මයෝ නික්ම අවුත් ඌරන්ට වැහුණෝ ය. දෙ දහසක් පමණ වූ ඒ ඌරු රැළ ප්‍රපාතයෙන් පහත මුහුදට වේගයෙන් දිව ගොස් මුහුදේ ගිලී මළෝ ය. 14ඌරු ගොවුවෝ පලා ගොස්, නුවර ද ගම්මානයේ ද එපවත් පතළ කළෝ ය. එවිට සිදුවූ දේ කුමක් දැ යි බලන පිණිස මිනිස්සු නික්ම ආහ. 15ඔව්හු ජේසුස් වහන්සේ වෙත පැමිණ, අශුද්ධාත්මාවේශ වූ මිනිසා, එනම්, දුෂ්ටාත්ම සේනාංකය වැහී සිටි මිනිසා දැන් වස්ත්‍ර හැඳ හොඳ සිහිකල්පනාවෙන් හිඳිනු දැක භීතියට පත් වූ හ. 16එය සියැසින් දුටු අය අශුද්ධාත්මාවේශ වූ මනුෂ්‍යයාට සිදුවූ දෙය ද ඌරන් පිළිබඳ සිද්ධිය ද ඔවුන්ට කියා දුන්හ. 17ඔව්හු ද සිය දේශ සීමාවලින් පිට වී යන මෙන්‍ උන් වහන්සේගෙන් බැගෑපත්ව ඉල්ලා සිටියෝ ය. 18උන් වහන්සේ ඔරුවට නඟිද්දී, අශුද්ධාත්මාවේශ ව සිටි මිනිසා තමාටත් උන් වහන්සේ සමඟ යාමට අවසර දෙන මෙන්‍ ආයාචනා කෙළේ ය. 19උන් වහන්සේ ඊට අවසර නුදුන් සේක. ”එහෙත්, ඔබ ගෙදර නෑ මිතුරන් වෙත ගොස්, සමිඳාණන් වහන්සේ ඔබට කොතරම් මහත් දේ කළ සේක් ද කොතරම් අනුකම්පාව පෙන්වූ සේක් ද කියා ඔවුන්ට දන්වන්නැ”යි වදාළ සේක. 20ඔහු නික්ම ගොස්, ජේසුස් වහන්සේ තමාට කොතරම් මහත් දේ කළ සේක් දැ යි දෙකපොලිසෙහි ප්‍රසිද්ධ කරන්න වුනි. සියල්ලෝ ම විස්මිත වූ හ.