අගෝස්තු 2028

බ්‍ර සි සෙ
12345
6789101112
13141516171819
20212223242526
2728293031
අද දිනට

කියවීම්

2028 අගෝස්තු 9

Ordinary Weekday/ Teresa Benedicta of the Cross, Virgin, Martyr

Teresa Benedicta of the Cross, Virgin, Martyr
First Reading

ජෙරමියා 31: 1-7

1සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ”ඉශ්රායෙල්හි හැම ගෝත්‍රයකම මා දෙවියන් වහන්සේ ද ඔවුන් මාගේ සෙනඟ ද වන කාලය පැමිණෙන්නේ ය. 2කඩු පහරින් ගැළවුණු සෙනඟට පාළුකරයේ දී මම කරුණාව දැක්වීමි. ඉශ්රායෙල් සෙනඟ විවේක සුවය පැතූවිට, 3ස්වාමීන් වන මම දුර සිට ඔවුන්ට ප්‍රකාශ වුණෙමි. ඉශ්රායෙල් ජනයෙනි, මම නුඹලාට නිරන්තරයෙන් ප්‍රේම කෙළෙමි; නුඹලාට මාගේ විශ්වාසකම තවදුරටත් ප්‍රකාශ කරමි. 4එම්බා ඉශ්රායෙල් ජාතිය! මම නැවත නුඹ ගොඩනඟන්නෙමි. එවිට නුඹලා ගොඩනඟනු ලබන්නහු ය. නුඹලා නැවත නුඹලාගේ කිකිණි රබන් රැගෙන විනෝද වන්නන් සමඟ ප්‍රීතියෙන් නටන්නහු ය. 5නැවත නුඹලා සමාරියේ කඳුවල මිදි වැල් වවනු ඇත. වවන්නෝ ඒවා හිටවා ඒවායේ පල භුක්ති විඳින්නෝ ය. 6මන්ද, ‘නැඟිටින්න, සියොන් කන්දට අපේ දෙවි ස්වාමීන් වහන්සේ වෙත නැඟී යමු’යි එප්‍රායිම් කඳුවල රැකවලුන් හඬ නඟන දවසක් පැමිණෙන්නේ ය.” 7සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ”ජාතීන් අතර අගතැන්පත් ඉශ්රායෙල් ගැන ප්‍රීතියෙන් ගී ගයන්න. ‘සමිඳාණෝ සිය සෙනඟ ගැළවූ සේක; ඉතිරි ව සිටින සෙනඟ මුදාගත් සේක’ කියමින් හඬ නඟා පැසසුම් ගී ගයමින් ප්‍රශංසා කරන්න.
Responsorial Psalm

ජෙරමියා 31: 10, 11-12ab, 13

10එම්බා ජාතීනි, සමිඳුන්ගේ වචනයට සවන් දී දුර බැහැර දිවයින්වල එය ප්‍රකාශ කරන්න. ‘ඉශ්රායෙල් සෙනඟ විසිරවූ මම ඔවුන් රැස් කරන්නෙමි; එඬේරා තම රැළ රැකගන්න පරිදි මම ඔවුන් රැකගන්නෙමි’යි කියන්න. 11ඉශ්රායෙල් සෙනඟට නිදහස දී, බලවත් ජාතීන්ගේ හස්තයෙන් මම ඔවුන් ගළවාගනිමි. 12ඔව්හු පැමිණ සියොන් කන්ද මත ප්‍රීතියෙන් ගී ගයති, මාගේ යහපත්කම නිසා තමන් ලත් දීමනා වන ධාන්‍ය, මිදියුස හා තෙල් ද බැටළු පැටවුන් හා ගවවස්සන් ද ගැන සතුටු වන්නෝ ය. ඔවුන්ගේ ජීවිතය ජලයෙන් සාරවත් වූ උයනක් මෙන් වන්නේ ය. ඔව්හු තවත් කිසි සේත් දුක් නොවන්නෝ ය. 13එවිට තරුණියෝ ප්‍රීතියෙන් නටන්නෝ ය. තරුණයෝ ද මහල්ලෝ ද එක් ව ප්‍රීති වන්නෝ ය. මම ඔවුන්ගේ වැලපීම ප්‍රීතියට හරවන්නෙමි. ඔවුන් සනසා ඔවුන්ගේ දොම්නස සොම්නසට හරවන්නෙමි.
Alleluia

ශුද්ධ වූ ලූක් 7: 16

16එකල සියල්ලෝ ම බිය පත් ව, ”ශ්‍රේෂ්ඨ දිවැසිවරයෙක් අප අතර පහළ වී සිටියි. දෙවියන් වහන්සේ සිය සෙනඟ ගළවන්න වැඩිය සේකැ”යි කියමින් දෙවියන් වහන්සේට ප්‍රශංසා කළහ.
Gospel

ශුද්ධ වූ මතෙව් 15: 21-28

21ජේසුස් වහන්සේ එතැනින් නික්ම තීර් හා සීදොන් පෙදෙස්වලට වැඩිය සේක. 22එක් කානානිය ස්ත්‍රියක් ඒ පෙදෙස්වල සිට අවුත්, ”දාවිත්ගේ පුත්‍ර වූ ස්වාමීනි, මට අනුකම්පා කළ මැනව; මාගේ දුව බලවත් සේ දුෂ්ටාත්මාවේශ ව සිටින්නී ය”යි කියමින් මොරගැසුවා ය. 23එහෙත් උන් වහන්සේ ඇයට වචනයකින් වත් පිළිතුරු නුදුන් සේක. උන් වහන්සේගේ ශ්‍රාවකයෝ අවුත්, ”මේ ස්ත්‍රිය මොරගසමින් අප පස්සේ එන බැවින්, ඇයට යන්න කිව මැනවැ”යි උන් වහන්සේගෙන් ඉල්ලූ හ. 24උන් වහන්සේ කතා කරමින්, ”මා එවන ලද්දේ ඉශ්රායෙල් වංශයේ නැති වූ බැටළුවන් වෙත පමණකැ”යි වදාළ සේක. 25එහෙත්, ඈ අවුත් පසඟ පිහිටුවා උන් වහන්සේට වැඳ, ”ස්වාමීනි, මට පිහිට වුව මැනවැ”යි කීවා ය. 26උන් වහන්සේ උත්තර දෙමින්, ”දරුවන්ගේ කෑම ගෙන බල්ලන්ට දැමීම යුතු නැතැ”යි වදාළ සේක. 27එහෙත් ඈ කතා කොට, ”එසේ ය, ස්වාමීනි, බල්ලන් පවා තම ස්වාමිවරුන්ගේ මේසයෙන් වැටෙන කැබලි අවුලා කති”යි කීවා ය. 28එවිට ජේසුස් වහන්සේ උත්තර දෙමින්, ”ස්ත්‍රිය, ඔබේ ඇදහිල්ල මහත් ය. ඔබේ කැමැත්ත ලෙස ම ඔබට වේ වා”යි වදාළ සේක. ඒ මොහොතේ පටන් ඇගේ දුව සුවපත් වූවා ය.