කියවීම්
2028 අගෝස්තු 16
Ordinary Weekday/ Stephen of Hungary, Married Man
Stephen of Hungary, Married Man
First Reading
එසකියෙල් 9: 1-7; 10: 18-22
1ඉන්පසු උන් වහන්සේ ”මේ නගරයට දඬුවම් කිරීමට පත් කර සිටින සියල්ලෙනි, නුඹලා එකිනෙකාගේ අතේ මාරක අවි ආයුධ ඇති ව ළං වන්නැ”යි මහ හඬින් මොරගසනවා මට ඇසිණි.
2එවිට උතුරු දෙස තිබෙන ඉහළ දොරටුවේ මාර්ගයෙන් මිනිස්සු හයදෙනෙක් එකිනෙකා තම තමාගේ මාරක ආයුධ අතේ ඇති ව ආහ. ඔවුන් අතරේ ඉඟ පටියේ ලිපි උපකරණ මල්ල එල්ලාගත්, හණ වස්ත්‍රයක් හැඳගත් මිනිසෙක් සිටියේ ය. ඔව්හු ඇතුළු වී ලෝකඩ පූජාසනය ළඟ සිට ගත්හ.
3එවිට ඉශ්රායෙල්හි දෙවියන් වහන්සේගේ තේජෝ මහිමය එය නැවතී තිබුණු ස්ථානය වන කෙරුබ්වරුන් කෙරෙන් නැඟී දේව මාලිගාවේ එළිපත්ත ළඟට ගොස් ලිපි උපකරණ මල්ල ඇති ව, හණ වස්ත්‍රයක් හැඳගත් මිනිසාට මොරගැසී ය.
4සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට, ”නගරය මුළුල්ලෙහි එනම්, ජෙරුසලම මුළුල්ලෙහි ගොස්, ඒ තුළ කෙරෙන සියලු පිළිකුල්කම් ගැන සුසුම්ලමින්, කෙඳිරිගාන මිනිසුන්ගේ නළල්වල ලකුණක් තබන්නැ”යි වදාළ සේක.
5මා අසා සිටිය දී උන් වහන්සේ සෙසු අයට කතා කොට, ”නුඹලා ඔහු පසුපස නගරය තුළට ගොස් එයට පහර දෙන්න. ඔවුන් දෙස දයාවෙන් නොබලන්න; ඔවුන්ට කරුණා නොකරන්න.
6මාගේ ශුද්ධස්ථානයෙන් පටන්ගෙන මහල්ලන් ද තරුණයන් ද තරුණියන් ද බාලයන් ද ස්ත්‍රීන් ද මරා විනාශ කර දමන්න. එහෙත්, නළලේ ලකුණ ඇති කිසිවෙකුට අත නොගසන්නැ”යි වදාළ සේක. එවිට ඔව්හු දේව මාලිගාවේ සිටි මහලු අයගෙන් එසේ විනාශ කිරීමට පටන්ගත්තෝ ය.
7උන් වහන්සේ කතා කරමින්, ”නුඹලා දේව මාලිගාව අපවිත්‍ර කරමින්, එය මළකඳන්වලින් පුරවා පිටත යන්නැ”යි ඔවුන්ට වදාළ සේක. ඔව්හු පිටතට ගොස්, නුවර ඇතුළෙහි සෙනඟට පහර දුන්නෝ ය.
18එවිට සමිඳාණන් වහන්සේගේ තේජස මාලිගාවේ එළිපත්ත මතුපිටින් පිටතට ගොස් කෙරුබ්වරුන්ට ඉහළින් පිහිටියේ ය.
19කෙරුබ්වරු ඉදිරියට යමින් සිය පියාපත් විදහා පා මා බලා සිටිය දී පොළොවෙන් ඉහළට නැංඟෝ ය. රෝදත් ඔවුන් සමඟ ම නැංඟේ ය. ඔව්හු සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ නැගෙනහිර දොරකඩ සිටියෝ ය. ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේගේ තේජස ද ඔවුන්ට උඩින් තිබුණේ ය.
20මොවුහු වනාහි කෙබාර් ගංගාව ළඟ දී ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේට යටින් සිටිනු මා දුටු සත්ත්වයෝ ය. ඔවුන් කෙරුබ්වරුන් බව මම දැනගතිමි.
21එක එකාට මුහුණු සතරක් බැගින් ද එක එකාට පියාපත් සතරක් බැගින් ද ඔවුන්ගේ පියාපත් යට මනුෂ්‍ය අත් වැනි ස්වරූපයක් ද තිබුණේ ය.
22ඔවුන්ගේ මුහුණුවල පෙනීමත් හරියට ම මා කෙබාර් ගඟ ළඟ දී දුටු මුහුණුවල පෙනීමට සමාන ය. ඔව්හු එකිනෙකා කෙළින් ම ඉස්සරහට ගියහ.
Responsorial Psalm
ගීතාවලිය 113: 1-2, 3-4, 5-6
1සමිඳුන්ට ප්‍රශංසා කරන්න, සමිඳුන්ගේ මෙහෙකරුවෙනි, ප්‍රශංසා කරන්න, සමිඳුන්ගේ නාමයට ප්‍රශංසා කරන්න.
2මෙතැන් පටන් සදහට සමිඳුන්ගේ නාමයට ප්‍රශංසා වේ වා!
3සමිඳුන්ගේ නාමයට නැගෙනහිර පටන් බස්නාහිර දක්වා ප්‍රශංසා කටයුතු ය.
4සියලු ජාතීන්ට ඉහළින් සමිඳාණෝ වැජඹෙන සේක. එතුමන්ගේ මහිමාලංකාරය අහස් තලය ඉක්මවා යයි.
5අපේ දෙවි සමිඳුන්ට සමාන අන් කෙනෙක් නැත; එතුමාණෝ උසස් තැන්හි වැඩ හිඳින සේක.
6එහෙත්, අහසත්, පොළොවත් බලන පිණිස එතුමාණෝ පහතට නැමෙන සේක.
Alleluia
2 කොරින්ති 5: 19
පාඨ අන්තර්ගතය ලබා ගත නොහැක.
Gospel
ශුද්ධ වූ මතෙව් 18: 15-20
15ඔබගේ සහෝදරයා ඔබට විරුද්ධ ව පව් කළොත්, පෞද්ගලික ව ඔහු හමු වී ඔහුගේ වරද පෙන්වා දෙන්න. ඔබ කියන දේ ඔහු පිළිගත්තොත්, ඔබ ඔබේ සහෝදරයා දිනාගත්තෙහි ය.
16නොපිළිගත්තොත්, සාක්ෂිකාරයන් දෙදෙනෙකුගේ හෝ තුන් දෙනෙකුගේ හෝ සාක්ෂියෙන් හැම පැමිණිල්ලක් ම ස්ථීර වන පිණිස ඔබ සමඟ තවත් එක් කෙනෙකු නොහොත් දෙදෙනෙකු කැඳවාගෙන යන්න.
17ඔහු ඔවුන් කියන දේත් නොපිළිගත්තොත්, සභාවට දන්වන්න. සභාව කියන දේත් නොපිළිගත්තොත්, ඔහු විජාතිකයෙකු හෝ අයකැමියෙකු මෙන් සලකන්න.
18සැබැවින් ම මම ඔබට කියමි, ඔබ පොළොවෙහි දී යමක් බඳින්නහු ද, එය ස්වර්ගයෙහි දී බඳිනු ලබන්නේ ය. ඔබ පොළොවෙහි දී යමක් මුදන්නහු ද, එය ස්වර්ගයෙහි දී මුදනු ලබන්නේ ය.
19නැවතත් මම ඔබට කියමි, පොළොවෙහි ඔබෙන් දෙදෙනෙක් තමන් අයැදින කවර දෙයක් ගැන වුව ද එකඟ වන්නෝ නම්, ස්වර්ගයෙහි වසන මාගේ පියාණන් වහන්සේගෙන් ඒ දෙය ඔවුන්ට ලැබෙන්නේ ය.
20මන්ද, යම් තැනක දෙදෙනෙක් හෝ තුන්දෙනෙක් හෝ මාගේ නාමයෙන් රැස් ව සිටිත් ද එතැන ඔවුන් මැද මමත් වැඩ සිටිමි.”