කියවීම්
2028 අගෝස්තු 23
Ordinary Weekday/ Rose of Lima, Virgin
Rose of Lima, Virgin
First Reading
එසකියෙල් 34: 1-11
1තවද, සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක:
2මනුෂ්‍ය පුත්‍රය, ඉශ්රායෙල්වරුන්ගේ එඬේරුන්ට විරුද්ධ ව දිවැස් වැකි කියන්න. දිවැස් වැකි කියමින්, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි ඔවුන්ට එනම්, එඬේරුන්ට කියන්න. තමන් ම පෝෂණය කරගන්න ඉශ්රායෙල් එඬේරුනි, නුඹලාට වන විපතක මහත! නුඹලා බැටළුවන් පෝෂණය කළ යුතු නොවන්නහු ද?
3නුඹලා කිරි බොන්නහු ය; ලෝම ඇඳුම් ඇඳගන්නහු ය; තර සතුන් මරා කන්නහු ය. එහෙත්, නුඹලා බැටළුවන් පෝෂණය නොකරන්නහු ය;
4දුර්වල බැටළුවන් නුඹලා ශක්තිමත් කෙළේ වත්, ලෙඩ වූ බැටළුවන් සුව කෙළේ වත්, තුවාළ වූ බැටළුවන්ගේ තුවාළ බැන්දේ වත් නැත; මුළා ව ගිය බැටළුවන් නැවත ගෙනාවේ වත්, නැති වූ බැටළුවන් සෙව්වේ වත් නැත. බලයෙන් ද කුරිරු ලෙස ද නුඹලා උන් පාලනය කළහු ය.
5එඬේරෙකු නැති ව බැටළුවෝ විසිරී ගොස් සියලු වන මෘගයන්ට ගොදුරු වූ හ.
6මාගේ බැටළුවෝ සියලු කඳුවල ද උස් වූ සියලු හෙල් පිට ද මුළා ව ගියහ. එසේ ය, මුළු පොළෝ තලයෙහි මාගේ බැටළුවෝ විසිරී ගියහ. උන් සොයන්න හෝ බලන්න හෝ කිසිවෙක් නොවූ හ.
7එබැවින් එඬේරුනි, සමිඳාණන් වහන්සේගේ වචනය අසන්න.
8දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. මාගේ ජීවමාන නාමයෙන් මෙසේ දිවුරා කියමි: එඬේරෙකු නැති බැවින් මාගේ බැටළුවන් වන මෘගයන් විසින් ඩැහැගෙන යනු ලැබ උන්ට ගොදුරු වී ඇත; මාගේ එඬේරු මාගේ බැටළුවන් සොයන්න උත්සාහ නොකර, මාගේ බැටළුවන් පෝෂණය නොකර, තමන් ම පෝෂණය කරගත්හ.
9එබැවින්, එඬේරුනි, සමිඳාණන් වහන්සේගේ වචනය අසන්න.
10මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. බලන්න, මම එඬේරුන්ට විරුද්ධ ව සිට මාගේ බැටළුවන් ඔවුන් අතින් ආපසු ගන්නෙමි. ඒ එඬේරුන් බැටළුවන් රැකබලාගැනීමෙන් මම අස් කරන්නෙමි. තවත් තමන් ම පෝෂණය කරගන්න එඬේරුන්ට ඉඩ නොදෙමි. මාගේ බැටළුවන් ඔවුන්ට ගොදුරු නොවන ලෙස මම ඔවුන්ගේ කටින් උන් ගළවා ගන්නෙමි.”
11මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: බලන්න, මම ම මාගේ බැටළුවන් ගැන සොයා බලා, උන් රැකබලාගන්නෙමි.
Responsorial Psalm
ගීතාවලිය 23: 1-3a, 3b-4, 5, 6
1සමිඳාණෝ මා එඬේරාණෝ ය; අග හිඟ මට නොවන්නේ ය.
2එතුමාණෝ නිල් තණ බිම් මත මා සතප්වා, නිසල දිය වෙත පමුණුවා,
3මා පණගන්වන සේක. සිය නාමයේ මහිමය සැලසෙන ලෙස දමිටු මඟ මා ගෙන යන සේක.
4මරණය වැනි ගන’ඳුරු රුදුරු නිම්නය මැදින් ගියත්, ඔබ මා සමඟ බැවින්, මට කිසි බියක් නොවන්නේ ය. ඔබේ කෙවිට ද සැරයටිය ද මා නියත සැනසිල්ල වන්නේ ය.
5ඔබ මාගේ සතුරන් ඉදිරියේ දී, මංගල බොජුනක් පිළියෙළ කර දී, මා සිරස තෙලින් ආලේප කරන සේක. මාගේ කුසලාන උතුරා යන්නේ ය.
6ඔබේ දයාව හා කරුණාව නියත ව, දිවිහිමියෙන් මා අනුව එන්නේ ය. සමිඳුන්ගේ නිවාසය මාගේ සදාතන වාසය වන්නේ ය.
Alleluia
හෙබ්‍රෙව් 4: 12
12දෙවියන් වහන්සේගේ වචනය ජීවමාන ය; ක්‍රියාශීලී ය; දෙමුවහත් කඩුවකටත් වඩා තියුණු ය; ආත්මය ප්‍රාණයෙන් ද, සන්ධි ඇටමිදුලුවලින් ද වෙන් කරන තරම් විනිවිද යන්නේ ය; සිතේ සිතුවිලි ද අරමුණු ද විමසන්නේ ය.
Gospel
ශුද්ධ වූ මතෙව් 20: 1-16
1උන් වහන්සේ මෙසේ ද වදාළ සේක: ”ස්වර්ග රාජ්‍යය වූකලී තමාගේ මිදි වත්තට කුලීකරුවන් ගන්නා පිණිස එක් දිනක් අලුයම පිටත් ව ගිය ඉඩම් හිමියෙකුට සමාන ය.
2ඔහු දිනකට රිදී කාසියක් බැගින් ගෙවීමට කුලීකරුවන්ට පොරොන්දු වී, තමාගේ මිදි වත්තට ඔවුන් යැවී ය.
3උදේ නවයට පමණ ඔහු පිටත් ව ගොස්, කඩමණ්ඩියේ වැඩක් නැති ව සිටි තවත් අය දැක,
4‘ඔබත් මිදි වත්තට යන්න, සෑහෙන කුලියක් ඔබට දෙමි’යි කී ය.
5ඔව්හු වැඩට ගියහ. නැවත මද්දහනේ දී ද අපර භාග තුනට පමණ ද ඔහු පිටත් ව ගොස් එසේ ම කෙළේ ය.
6සවස පහට පමණ ද පිටත් ව ගොස් එහි තවත් අය සිටිනු දැක, ‘ඔබ මෙතැන දවස තිස්සේ නිකම් සිටින්නේ මන්දැ’යි ඔවුන්ගෙන් ඇසී ය.
7‘කිසිවෙකු අප වැඩට නොගත් නිසා ය’යි ඔව්හු කී හ. ‘ඔබත් මිදි වත්තට යන්නැ’යි ඔහු ඔවුන්ට කී ය.
8සවස් වූ කල මිදි වත්ත හිමියා සිය කළමනාකාරයාට කතා කොට, ‘කුලීකරුවන් කැඳවා අන්තිමට ආ අයගෙන් පටන්ගෙන පළමු වැන්නා දක්වා ඔවුන් හැමට කුලිය ගෙවන්නැ’යි කී ය.
9එවිට සවස පහට පමණ වැඩට ආ අය අවුත් එක එක මිනිසා රිදී කාසිය බැගින් ලැබූ හ.
10මුලින් ම වැඩට ගිය අය ආ විට තමන්ට ඊට වැඩියෙන් ලැබෙනු ඇතැයි සිතූ හ. එහෙත්, ඔව්හු ද එක එක මිනිසා රිදී කාසියක් බැගින් ලැබූ හ.
11එසේ ලැබූ ඔව්හු ඉඩම් හිමියාට විරුද්ධ ව දොස් කියමින්,
12‘මේ අන්තිමට ආ අය වැඩ කෙළේ එක පැයක් පමණි. එහෙත්, අවු රස්නය නොබලා මුළු දවසේ ම වෙහෙස මහන්සි වූ අපටත් ඔබ රිදී කාසියක කුලිය ම ගෙවන්නෙහි ය’යි කී හ.
13එහෙත්, ඔහු ඔවුන්ගෙන් කෙනෙකුට උත්තර දෙමින්, ‘යහළුව, මා ඔබට අයුත්තක් කරනවා නොවේ. ඔබ මා සමඟ රිදී කාසියක කුලියට එකඟ වුණා නොවේ ද?
14ඔබට දුන් කුලිය රැගෙන යන්න; ඔබට ගෙවූ ලෙස ම මේ අන්තිමයාටත් ගෙවීම මාගේ කැමැත්ත ය.
15මා සන්තක දෙයින් මා කැමැති දෙයක් කිරීමට මට අයිතියක් තිබෙනවා නොවේ ද? මා කාරුණික බැවින් ඔබ ඊර්ෂ්‍යා වන්නේ මන්දැ’යි ඇසී ය.
16මෙසේ අන්තිමයෝ ප්‍රථමයෝ ද ප්‍රථමයෝ අන්තිමයෝ ද වන්නෝ ය.”