කියවීම්
2028 අගෝස්තු 19
Ordinary Weekday/ Optional Memorial of the Blessed Virgin Mary/ John Eudes, Priest, Religious Founder
John Eudes, Priest, Religious Founder
First Reading
එසකියෙල් 18: 1-10, 13b, 30-32
1සමිඳාණන් වහන්සේ මට යළිත් මෙසේ වදාළ සේක:
2‘පියවරු ඇඹුල් මිදි පල කෑවෝ ය; දරුවන්ගේ දත් හිරි වැටෙන්නේ ය’ යන ප්‍රස්තාව පිරුළ නුඹලා ඉශ්රායෙල් රටෙහි නැවත නැවත කියන්නේ මන් ද?
3ඉශ්රායෙල්හි මේ ප්‍රස්තාව පිරුළ මින්පසු කියනු නොලැබේ යයි මහෝත්තම දෙවි ස්වාමීන් වන මම මාගේ නාමයෙන් දිවුරා කියමි.
4බලන්න, හැම ජීවිතයක් ම මට අයිති ය; පියාගේ ජීවිතය මෙන් පුත්‍රයාගේ ජීවිතයත් මට අයිති ය. පාපයේ ප්‍රතිවිපාකය විඳින්නේ පව් කළ පුද්ගලයා ම ය.
5දැහැමි මිනිසා නීති ගරුක, අහිංසක පුද්ගලයෙකි,
6ඔහු කිසි කලක කඳු මත පූජාස්ථානවල කෑම කන්නේ නැත; ඉශ්රායෙල්හි දේව රූප දෙසට නෙත් යොමු කරන්නේ නැත; අන් කෙනෙකුගේ භාර්යාව දූෂණය කරන්නේ නැත; ඔසප් වී සිටින ස්ත්‍රියක වෙත ළඟා වන්නේ නැත;
7කිසිවෙකුට පීඩා කරන්නේ නැත; ඔහු ණයට ගත් තැනැත්තාගේ උකස ආපසු දෙන්නේ ය; සොරකම් නොකරන්නේ ය; සාගින්නේ පෙළෙන්නාට තමාගේ කෑම දෙන්නේ ය, වස්ත්‍ර නැති අයට වස්ත්‍ර දෙන්නේ ය;
8ඔහු පොලියට මුදල් නොදෙයි; අයුතු ලාභ නොගනියි; නපුරෙන් වැළකෙයි. එකිනෙකා අතරේ සාධාරණ ලෙස යුක්තිය ඉටු කරයි;
9මාගේ පණත් ප්‍රකාර හැසිරෙයි. මාගේ නියමයන් අවංක ව පවත්වයි. එවැනි මිනිසෙක් ධර්මිෂ්ඨ ය. ඔහු සැබැවින් ම ජීවත් වන්නේ ය. මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක.
10මේ මිනිසාට සැහැසිකම් කරන, මිනීමරුවකු වන, මේ නියමයන්ට පිටුපාන පුත්‍රයෙකු සිටින්නට පුළුවන. පියා කිසි අයුතුකමක් නොකළ නමුත්,
13පිළිකුල් ක්‍රියා කරන්නේ ය; පොලියට දී අයුතු ලාභ ද ගන්නේ ය. ඒ පුත්‍රයා ජීවත් වන්නේ ද? නැත. ඔහු ජීවත් වන්නේ නැත. ඔහු මේ සියලු පිළිකුල් ක්‍රියා කළ බැවින් ඔහු සැබැවින් ම නසින්නේ ය. ඔහුගේ විනාශයට ඔහු ම වගකිව යුතු වේ.
30එබැවින්, අහෝ ඉශ්රායෙල්වරුනි, මම නුඹලා එකින් එකා පෞද්ගලික වශයෙන් තම තමාගේ ක්‍රියා අනුව විනිශ්චය කරන්නෙමි යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක. පසුතැවී සිත් හරවා ගෙන නුඹලා කළ සියලු වරද හැර දමන්න; එවිට අයුතුකම නුඹලාගේ විනාශයට කාරණයක් නොවන්නේ ය.
31නුඹලා කළ නුඹලාගේ සියලු වරද නුඹලා වෙතින් ඉවතදමා අලුත් සිතක් ද අලුත් මනසක් ද නුඹලාට ම සලසාගන්න. ඉශ්රායෙල්වරුනි, නුඹලා නසින්නේ කුමට ද?
32කිසිවෙකු මැරෙනවාට මාගේ කැමැත්තක් නැත. එබැවින්, පාපයෙන් හැරී ජීවත් වන්න. මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක.”
Responsorial Psalm
ගීතාවලිය 51: 12-13, 14-15, 18-19
12විමුක්තියේ ප්‍රීතිය මට යළි දුන මැනව; අවනත සිතක් දී මා දැරුව මැනව.
13එවිට මම අපරාධකරුවන්ට ඔබ මඟ පහදා දෙන්නෙමි; පව්කරුවන් ඔබ වෙත හරවාගෙන එන්නෙමි.
14දෙවිඳුනි, මා ගැළවුම්කාර දෙවිඳුනි, මිනී මැරීමේ අපරාධයෙන් මා මුදාලුව මැනව. එවිට ඔබේ දැහැමි ක්‍රියා ගැන මම උස් හඬින් ගීත ගයන්නෙමි.
15සමිඳුනි, ගී ගැයුමේ වරම මට දුන මැනව. එවිට මා මුවින් ඔබ පැසසුම් ගයන්නෙමි.
18සියොන් ගිරට ඔබ කරුණාව පා සෙත සැලසුව මැනව; ජෙරුසලමේ කොටු පවුරු යළි ඉදි කළ මැනව.
19එකල, දවන යාග පූජා වන නියමිත පඬුරුවලට ඔබ ප්‍රිය වන සේක. එවිට ඔබේ පුදසුන මත ඔව්හු ගව පූජා පුදන්නෝ ය.
Alleluia
ශුද්ධ වූ මතෙව් 11: 25
25ඒ අවස්ථාවේ දී ජේසුස් වහන්සේ උත්තර දෙමින් මෙසේ වදාළ සේක: ”ස්වර්ගයටත්, පොළොවටත් ස්වාමීන් වන පියාණන් වහන්ස, ඔබ වහන්සේ මේ කරුණු පැණවතුන් හා නැණවතුන් කෙරෙන් ආවරණය කොට, බාලයන්ට අනාවරණය කළ හෙයින් ඔබට තුති පුදමි.
Gospel
ශුද්ධ වූ මතෙව් 19: 13-15
13එකල උන් වහන්සේගේ අත් ළදරුවන් පිට තබා යාච්ඤා කරන පිණිස, සමහරු උන් වහන්සේ වෙතට ඔවුන් ගෙනාහ. ශ්‍රාවකයෝ ඔවුන්ට තරවටු කළහ.
14එහෙත්, ජේසුස් වහන්සේ කතා කොට, ”ළදරුවන්ට මා වෙත එන්න ඉඩ හරින්න; ඔවුන් නොවළක්වන්න; මන්ද, ස්වර්ග රාජ්‍යය මෙවැන්නන්ගේ ය”යි වදාළ සේක.
15උන් වහන්සේ ඔවුන් පිට අත් තබා එතැනින් නික්ම ගිය සේක.