කියවීම්
2028 අගෝස්තු 25
Ordinary Weekday/ Louis of France, Married Man/ Josephcalasanz, Priest, Religious Founder
Josephcalasanz, Priest, Religious Founder
First Reading
එසකියෙල් 37: 1-14
1සමිඳාණන් වහන්සේගේ හස්තය මා පිට පැමිණියේ ය. උන් වහන්සේ සිය ආත්මානුභාවයෙන් මා පිටතට පමුණුවා ඇටකටුවලින් පිරී තිබුණ මිටියාවතක් මැද මා සිටෙවු සේක.
2උන් වහන්සේ මට ඒවා අතරේ ඔබමොබ යන්න සැලැසූ සේක. එවිට මිටියාවතේ ඇටකටු බහුල ව තිබෙනු මම දිටිමි. ඒවා හොඳට ම වියළී තිබුණේ ය.
3උන් වහන්සේ මට කතා කොට, ”මනුෂ්‍ය පුත්‍රය, මේ ඇටකටුවලට ජීවත් විය හැකි දැ”යි මාගෙන් ඇසූ සේක. මම ද ”මහෝත්තම දෙවි ස්වාමීන් වහන්ස, එය දන්නේ ඔබ ය”යි උත්තර දිනිමි.
4උන් වහන්සේ යළිත් මට කතා කොට, ”නුඹ මේ ඇටකටුවලට දිවැස් වැකි පවසා, මෙසේ කියන්න: අහෝ වියළි ඇටකටු! සමිඳාණන් වහන්සේගේ වචනය අසන්න.
5මේ ඇටකටුවලට මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: මෙන්න, නුඹලා ජීවත් වන පිණිස නුඹලා තුළට ජීවන හුස්ම හෙළන්නෙමි. එවිට නුඹලා ජීවත් වන්නහු ය.
6මම නුඹලාට නහර දෙමි; නුඹලා පිට මාංසය හටගන්වා, නුඹලා සමින් වසා, ජීවත් වන පිණිස නුඹලා තුළ ජීවන හුස්ම හෙළන්නෙමි. එවිට නුඹලා ජීවත් වන්නහු ය. මා සමිඳාණන් වහන්සේ බව නුඹලා ද දැනගනු ඇත.”
7එවිට මට අණ කළ ලෙස මම දිවැස් වැකි පැවසීමි. මා දිවැස් වැකි පවසද්දී ශබ්දයක් ද සට සට ගාන හඬක් ද ඇති වී එක එක ඇටය එකට එක එකතු විය.
8මම බැලූ විට ඒවාට නහර තිබෙන බව දිටිමි. මාංසය හටගැනී ඒවා සමින් වැසුණේ ය. එහෙත්, ඒවා තුළ ජීවන හුස්ම නො වී ය.
9එවිට උන් වහන්සේ මට කතා කොට, ”නුඹ ජීවන හුස්මට දිවැස් වැකි පවසන්න. මනුෂ්‍ය පුත්‍රය, දිවැස් වැකි කියමින් ජීවන හුස්මට කතා කොට, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ කියන සේක. එම්බා ජීවන හුස්ම! සතර දිග සුළඟින් අවුත් මියගිය මොවුන් ජීවත් වන පිණිස මොවුන් තුළට ජීවන හුස්ම හෙළන්න කියා කියන්නැ යි මට වදාළ සේක.”
10මම ද උන් වහන්සේ මට අණ කළ පරිදි දිවැස් වැකි පැවසීමි. එවිට ජීවන හුස්ම ඔවුන් තුළට පැමිණ, ඔව්හු ජීවය ලැබ, නැඟිට, ඉතා මහත් සේනාවක් ව සිටගත්තෝ ය.
11එවිට උන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක: ”මනුෂ්‍ය පුත්‍රය, මේ ඇටකටු වනාහි මුළු ඉශ්රායෙල් වංශය ය. ‘අපේ ඇටකටු වියළී අපේ බලාපොරොත්තුව නැති වී තිබේ. අපි සහමුලින් ම සිඳ දමනු ලැබීමු’යි ඔව්හු කියති.
12එබැවින් නුඹ දිවැස් වැකි පවසමින්, ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ’යි කියන්න. ‘මාගේ ජනයෙනි, මම නුඹලාගේ සොහොන් විවර කොට නුඹලාගේ සොහොන්වලින් නුඹලා නැඟුටුවා, නුඹලා ඉශ්රායෙල් රටට පමුණුවන්නෙමි.
13එම්බා මාගේ සෙනඟෙනි! මා නුඹලාගේ සොහොන් විවර කොට, නුඹලාගේ සොහොන්වලින් නුඹලා නැඟිටෙව් විට මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගනු ඇත.
14නුඹලා ජීවත් වන පිණිස මම නුඹලා තුළ මාගේ ආත්මානුභාවය නිදන් කර නුඹලාගේ රටෙහි නුඹලා පිහිටුවන්නෙමි.’ මෙසේ, ස්වාමීන් වන මා එසේ වදාළ බව ද එය ඉටු කළ බව ද නුඹලා දැනගන්නහු ය. සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක.”
Responsorial Psalm
ගීතාවලිය 107: 2-3, 4-5, 6-7, 8-9
2සමිඳුන් විසින් මුදන ලද්දෝ ඒ වදන් යළි යළිත් කියත් වා! මන්ද, එතුමාණෝ පීඩාකරුගේ අතින් ඔවුන් මිදූ සේක.
3එතුමාණෝ විදෙස් රටවලින් ද නැගෙනහිරෙන් හා බස්නාහිරෙන් ද උතුරෙන් හා දකුණෙන් ද ඔවුන් එක් රැස් කළ සේක.
4සමහරු වල් බිහි වූ පාළුකරයේ වල්මත් වූ හ. විසීමට නගරයක් ඔවුන්ට සොයාගත නොහැකි විය.
5සාගින්නෙන් හා පිපාසයෙන් පෙළී ඔව්හු ක්ලාන්තයෙන් බෙලහීන වූ හ.
6එවිට, ඔව්හු තම විපතේ දී සමිඳුන්ට මොරගැසූ හ. එතුමාණෝ ඔවුන්ගේ විපතින් ඔවුන් මුදාගත් සේක.
7වාසය කිරීමට සුදුසු නුවරකට පැමිණෙන තුරු එතුමාණෝ හරි මඟකින් ඔවුන් ගෙන ගිය සේක.
8සමිඳුන්ගේ තිර පෙම ගැන ද මිනිසුන්ට කළ පුදුම දේ ගැන ද ඔව්හු එතුමන්ට පැසසුම් කරත් වා!
9මන්ද, එතුමාණෝ පිපාසිත වූවන් තෘප්තියට පමුණුවන සේක; සාගිනි වූවන් යහපත් දෙයින් පිනවන සේක.
Alleluia
ගීතාවලිය 25: 4b, 5a
4සමිඳුනි, ඔබේ ක්‍රියා මාර්ගය මට හෙළි කළ මැනව; ඔබේ මාවත් මට පැහැදිලි කළ මැනව.
5ඔබේ සත්‍යය අනුව මා ගෙන ගිය මැනව; මට එය ඉගැන්නුව මැනව; මන්ද, ඔබ මාගේ විමුක්තිදායක දෙවිඳාණෝ ය. දවස පුරා ඔබ එන මඟ බලා සිටිමි.
Gospel
ශුද්ධ වූ මතෙව් 22: 34-40
34උන් වහන්සේ සද්දුසිවරුන් නිරුත්තර කළ බව අසා පරිසිවරු එක්රැස් වූ හ.
35ඔවුන් අතරෙන් විනයධරයෙක් උන් වහන්සේ පරීක්ෂා කරමින්,
36ගුරුදේවයිනි, ව්‍යවස්ථාවලියෙහි ශ්‍රේෂ්ඨතම ආඥාව කිමෙක් දැ”යි ඇසී ය.
37උන් වහන්සේ ඔහුට කතා කොට, ” ‘නුඹේ මුළු හෘදයෙන් ද නුඹේ මුළු සිතින් ද නුඹේ මුළු බුද්ධියෙන් ද නුඹේ දෙවි ස්වාමීන් වහන්සේට ප්‍රේම කරන්න.’
38මෙය ශ්‍රේෂ්ඨතම පළමු වන ආඥාව ය.
39දෙ වන ආඥාව ද එයට සමාන ය. එනම්, ‘නුඹ, නුඹට ප්‍රේම කරන්නාක් මෙන් නුඹේ අසල්වැසියාටත් ප්‍රේම කරන්න’ යනුයි.
40මුළු ව්‍යවස්ථාවලිය හා දිවැසාවලිය රඳා ඇත්තේ මේ ආඥා දෙක මත ය”යි වදාළ සේක.