කියවීම්
2028 අගෝස්තු 20
Twentieth Sunday in Ordinary Time
දවසේ දේව මෙහෙය
First Reading
ජෙරමියා 38: 4-6, 8-10
4එවිට අධිපතීහු කතා කොට, ”මේ මනුෂ්‍යයා මරනු ලැබේ වා! මන්ද, මෙසේ මෙබඳු වචන කීමෙන්, මොහු නගරයේ ඉතුරු ව සිටින යුද්ධ භටයන් ද සියලු සෙනඟ ද අධෛර්ය කරන්නේ ය. මේ මිනිසා සෙනඟගේ යහපත නොව ඔවුන්ගේ විනාශය පතන්නේ යැ”යි කී හ.
5ශෙදෙකියා රජ ද, ”මෙන්න, ඔහු ඔබේ අතෙහි ය. ඔබට විරුද්ධ ව කිසිවක් කරන්නට රජුට බැරි ය”යි කීවේ ය.
6එකල ඔව්හු ජෙරමියා ගෙන හිරගෙයි මළුවෙහි තිබුණු මල්කියා රජ කුමරුගේ ළිඳට ඔහු ලණුවලින් බැස්සෙවුවෝ ය. ඒ ළිඳේ වතුර නොව මඩ තිබිණි. ජෙරමියා එහි මඩේ එරුණේ ය.
8රජුට කතා කොට, ”මාගේ ස්වාමීන් වන රජතුමනි, මේ මනුෂ්‍යයන් විසින් ළිඳේ දමන ලද දිවැසිවර ජෙරමියාට ඔවුන් කළ සියල්ල කෲරතර ය.
9ඔහු එහි බඩගින්නෙන් මැරෙනු ඇත. මන්ද, නගරයෙහි තවත් කෑමට රොටි නැතැ”යි කී ය.
10එවිට රජ කුෂිය ජාතික එබෙද්-මෙලෙක්ට අණ කරමින්, ”ඔබ, සමඟ මෙතැනින් මනුෂ්‍යයන් තුන්දෙනෙකු කැඳවාගෙන ගොස්, දිවැසිවර ජෙරමියා මැරෙන්නට පෙර ඔහු ළිඳෙන් ගොඩට ගන්නැ”යි කීවේ ය.
Responsorial Psalm
ගීතාවලිය 40: 2, 3, 4, 18
2හිමි තුමාණෝ මා බියකරු වළකින්, මඩ වළකින් ගොඩට ගෙන, පර්වතයක් මත පිහිටුවා, මා සුරක්ෂිත කළ සේක.
3දෙවිඳුන් හට තුති පවසන, නව ගීයක් මා මුවේ තැබූ සේක. මෙය දැක බොහෝ දෙනෙකු ගරුබියෙන් ඇලළී, සමිඳුන් කෙරේ අදහනු ඇත.
4පිළිම රූප නොනමදින, බොරු දෙවිවරුන් නොඅදහන, සමිඳුන් කෙරෙහි අදහන තැනැත්තේ ආසිරි ලද්දෙකි.
Second Reading
හෙබ්‍රෙව් 12: 1-4
1මේ සා විශාල සාක්ෂිකාර සේනාවකින් අප වට වී සිටින නිසා, සියලු අවහිර ද, පහසුවෙන් අප වෙළා ගන්නා පාපයන් ද ඉවත ලා,
2ඇදහිල්ලේ කර්තෘවරයාණන් ද එහි පරිපූරකයාණන් ද වන ජේසුස් වහන්සේ දෙස ම නෙත් යොමා, අපට දිවීමට ඇති ධාවනය නොපසුබට, වීර්යයෙන් දුවමු. උන් වහන්සේ තමන් ඉදිරියෙහි වූ ප්‍රීතිය නිසා, කුරුසියේ අවමානය නොතකා, එහි වධ විඳ දෙවියන් වහන්සේගේ සිංහාසනයේ දකුණත අසුන් ගත් සේක.
3ඒ නිසා ඔබ අධෛර්ය ව විඩාවට පත් නොවන පිණිස, තමාට විරුද්ධ ව නැඟී සිටි පව්කරුවන්ගෙන් එතරම් විරෝධය ඉවසූ තැනැන් වහන්සේ ගැන සිතා බලන්න.
4පාපයට විරුද්ධ ව කරන සටනෙහි දී ඔබ තව ම ලේ වගුරුවන තැනට පත් වී නැත.
Alleluia
ශුද්ධ වූ ජොහන් 10: 27
27මාගේ බැටළුවෝ මාගේ කටහඬ අසති. මම ද ඔවුන් අඳුනමි; ඔව්හු ද මා පසුපස්සේ එති.
Gospel
ශුද්ධ වූ ලූක් 12: 49-53
49පොළොව මත ගිනි ලන්න ආවෙමි. ගින්න දැනට ම ඇවිළී තිබේ නම් කොපමණ හොඳ ද!
50මට එක්තරා බව්තීස්ම-ස්නාපනයක් ලබන්න තිබේ; එය ඉටු වන තුරු මම දැඩි සිත් වේදනාවෙන් පසු වෙමි.
51පොළොවෙහි සාමය දෙන පිණිස ආවෙමි යි ඔබ සිතන්නාහු ද? එසේ නොවේ. මා ආවේ භේද ඇති කරන පිණිස යයි මම ඔබට කියමි.
52මෙවක් පටන් එක ගෙදර වසන පස් දෙනෙකුගෙන් දෙදෙනෙකුට විරුද්ධ ව තිදෙනෙක් ද තිදෙනෙකුට විරුද්ධ ව දෙදෙනෙක් ද භේද වන්නෝ ය.
53පියා පුතාටත්, පුතා පියාටත්, මව දුවටත්, දුව මවටත්, නැන්දම්මා ලේලිටත්, ලේලිය නැන්දම්මාටත් විරුද්ධ ව භේද වන්නෝ ය.”