කියවීම්
2028 අගෝස්තු 27
Twenty-First Sunday in Ordinary Time
දවසේ දේව මෙහෙය
First Reading
යෙසායා 66: 18-21
18ඔවුන්ගේ ක්‍රියා හා සිතුවිලි මම දනිමි. විවිධ භාෂා කතා කරන සියලු ජාතීන් එක් රැස් කිරීමට මම පැමිණෙන්නෙමි. ඔවුන් රැස් වූ කල මාගේ තේජාලංකාරය කුමක් දැ යි ඔවුන්ට පෙනෙනු ඇත.
19මම ඔවුන් අතරේ සලකුණක් තබන්නෙමි. ඔවුන් අතරෙන් ගැළවී සිටින අය, මාගේ කීර්තිය ගැන නොඇසූ, මාගේ තේජස නොදුටු දුර බැහැර ද්වීපයන් වන තර්ෂිෂ්හි ද පුල්හි ද දුනුවායන් සිටින ලුද්හි ද තුබල්හි ද ජාවාන්හි ද සිටින ජාතීන් වෙත යවන්නෙමි. ඔවුන් ජාතීන් අතරෙහි මාගේ තේජස ප්‍රකාශ කරනු ඇත.
20ඔව්හු ඉශ්රායෙල් පුත්‍රයන් සියලු දෙනා ජාතීන් අතරෙන් මට පඬුරක් මෙන් ගෙනෙන්නෝ ය. ඔව්හු, අශ්වයන් පිටින් ද රථවලින් දෝලාවලින් ද අශ්වතරයන් පිටින් ද ඔටුවන් පිටින් ද මාගේ ශුද්ධ කන්ද වන ජෙරුසලමට පිරිසිදු භාජනයක ධාන්‍ය පූජා ගෙනෙනු ලබන සේ ගෙනෙන්නෝ ය.
21ඔවුන්ගෙන් සමහරු පූජකයන් ද ලෙවීවරුන් ද වශයෙන් මම පත් කරමි.
Responsorial Psalm
ගීතාවලිය 117: 1, 2
1සකල ජාතීනි, සමිඳුන්ට ප්‍රශංසා කරන්න. සව් සතුනි, හිමි තුම ගුණ මහිමය වර්ණනා කරන්න.
2මන්ද, අප කෙරෙහි සමිඳුන්ගේ ප්‍රේමය ඉමහත් ය, එතුමන්ගේ විශ්වාසකම සදහට ම පවත්නේ ය. සමිඳුන්ට ප්‍රශංසා කරන්න.
Second Reading
හෙබ්‍රෙව් 12: 5-7, 11-13
5දරුවන්ට මෙන් දෙවියන් වහන්සේ ඔබට වදාළ සිත් දිරිගන්වන මේ වචන ඔබ අමතක කළහු ද? ”මාගේ පුත්‍රය, සමිඳාණන් වහන්සේගේ හික්මවීම් සුළු කොට නොසිතන්න, උන් වහන්සේ තරවටු කරන කල මලානික නොවන්න:
6මන්ද, සමිඳාණන් වහන්සේට ප්‍රේම කරන අය උන් වහන්සේ හික්මවන සේක; පුත්‍රයන් මෙන් තමන් වහන්සේ පිළිගන්න අයට උන් වහන්සේ දඬුවම් කරන සේක.”
7ඔබගේ හික්මවීම පිණිස ඒ දඬුවම ඉවසන්න; දෙවියන් වහන්සේ ඔබ ගැන පුත්‍රයන්ට මෙන් ක්‍රියා කරන සේක. තම පුත්‍රයාට දඬුවම් නොකරන පියෙක් ඇද් ද?
11දඬුවමක් ලබන කල එය දුකට මිස ප්‍රීතියට කාරණාවක් මෙන් නොපෙනේ. එහෙත් එයින් හික්මුණු අයට පසු ව දැහැමි සාමකාමී ජීවිතයක පල අත් වේ.
12එබැවින් පහතට වැටී ඇති අත් ද දුබල දණහිස් ද ශක්තිමත් කරගන්න.
13කොර කකුල් අබලන් නොවී, සුවය ලබන පිණිස ඇද නැති මාවත්වල ගමන් කරන්න.
Alleluia
ශුද්ධ වූ ජොහන් 14: 6
6ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, ”මාර්ගය ද සත්‍යය ද ජීවනය ද මම වෙමි; මා මඟින් මිස කිසිවෙක් පියාණන් වහන්සේ වෙත නොපැමිණෙන්නෝ ය.
Gospel
ශුද්ධ වූ ලූක් 13: 22-30
22උන් වහන්සේ ජෙරුසලම බලා යද්දී නගර හා ගම් නියම්ගම් මැදින් අනුශාසනා කරමින් වැඩි සේක.
23එක් කෙනෙක් කතා කොට, ”ස්වාමීනි, ගැළවීම ලබන්නෝ ස්වල්ප දෙනෙක් පමණක් දැ”යි උන් වහන්සේගෙන් ඇසී ය. උන් වහන්සේ ඔවුන්ට කතා කොට මෙසේ වදාළ සේක:
24පටු දොරෙන් ඇතුළු වන්නට වීර්ය කරන්න. මන්ද, බොහෝ දෙනෙක් ඇතුළු වන්නට සොයන නමුත් ඔවුන්ට නොහැකි වේ ය යි මම ඔබට කියමි.
25ගෙදර ස්වාමියා නැඟිට දොර වැසූ පසු ඔබ පිටත සිට දොරට තට්ටු කරමින්, ‘ස්වාමීනි, අපට දොර හැරිය මැනවැ’යි කියන කල, ‘නුඹලා කොතැනින් ආවාහු දැ යි නොදනිමි’යි ඔහු පිළිතුරු දෙනු ඇත.
26එවිට ඔබ: ‘අපි ඔබ සමඟ කෑවෙමු, බීවෙමු, ඔබ අපේ වීදිවල ඉගැන්වූ සේකැ’යි කියන්නහු ය.
27එහෙත් ඔහු කතා කොට, ‘නුඹලා කොතැනින් ආවාහු දැ යි මම නොදනිමි. අදමිටුකම් කරන නුඹලා සියලු දෙනා ම මා කෙරෙන් පලා යව්’ යයි කියන්නේ ය.
28ආබ්‍රහම් ද ඊසාක් ද ජාකොබ් ද සියලු දිවැසිවරයන් ද දෙවියන් වහන්සේගේ රාජ්‍යයෙහි සිටිය දී ඔබ පිටතට දමනු ලබන කල එහි විලාප කීම ද දත්මිටිකෑම ද ඇති වේ.
29තවද, මනුෂ්‍යයෝ පෙරදිගින් හා අපරදිගින් ද උතුරු දිගින් හා දකුණු දිගින් ද පැමිණ දෙවියන් වහන්සේගේ රාජ්‍යයෙහි මංගල භෝජනයට අසුන් ගන්නෝ ය.
30මෙන්න, දැන් අන්තිමයන් ව සිටින සමහරු ප්‍රථමයෝ ද දැන් ප්‍රථමයන් ව සිටින සමහරු අන්තිමයෝ ද වන්නෝ ය.”