කියවීම්
2028 ජූලි 9
Fourteenth Sunday in Ordinary Time
දවසේ දේව මෙහෙය
First Reading
යෙසායා 66: 10-14c
10ජෙරුසලමට ප්‍රේම කරන සියල්ලෙනි, ඈ උදෙසා ප්‍රීති සන්තෝෂ වන්න. ඈ ගැන වැලපෙන සියල්ලෙනි, ප්‍රීතියෙන් ඈ සමඟ ප්‍රීති වන්න.
11මෙසේ නුඹලා ඇගේ සැනසිලි ගෙන දෙන පියයුරු උරා, තෘප්තියට පැමිණෙන්නහු ය. ඇගේ බහුල ව ඇති කිරිවලින් ප්‍රීති වන්නහු ය. ඇගේ මහිමය පූර්ණතාවෙන් නොමඳ සොම්නසින් පානය කරන්න.
12සමිඳාණෝ මෙසේ වදාරන සේක: ”මම සෞභාග්‍යය ගංගාවක් මෙන් ද ජාතීන්ගේ යසඉසුරු දෙගොඩ තළා යන ඔයක් මෙන් ද ඈ වෙත හරවමි. නුඹලා එයින් උරා බොන්නහු ය. මවකගේ මෙන් ඇගේ උකුලේ නුඹලා ගෙනයනු ලබන්නහු ය. ඇගේ දෙදණ පිට සුරතල් කරනු ලබන්නහු ය.
13මවක ඇගේ දරුවා සනසන්නාක් මෙන් මම නුඹලා සනසන්නෙමි. නුඹලා ජෙරුසලම තුළ සනසනු ලබන්නහු ය.
14මෙය දුටු විට නුඹලාගේ සිත් ප්‍රීතියෙන් පිනා යන්නේ ය. එසේ නුඹලා සනීප ශක්තිය ලබන්නහු ය. එවිට සමිඳුන් වන මම මට කීකරු වන්නන්ට ආශීර්වාද කරන බවත්, මාගේ සතුරන්ට උදහස දක්වන බවත් නුඹලා දැනගන්නහු ය.”
Responsorial Psalm
ගීතාවලිය 66: 1-3, 4-5, 6-7, 16 and 20
1ලෝ වැසි සියල්ලෙනි, දෙවිඳුන් හට ප්‍රීති ඝෝෂා පවත්වන්න.
2එතුමන්ගේ කීර්තිමත් නාමයට ගී ගයන්න.
3දෙවි තුමන්ට මෙලෙස කියන්න: ”ඔබේ ක්‍රියා කොපමණ බියජනක ද? ඔබේ බලපරාක්‍රමය අතිමහත් ය. එබැවින් ඔබේ සතුරෝ ඔබ අබිමුව බියෙන් මිරිකෙන්නෝ ය.
4ලෝ වැසි සියල්ලෝ ඔබ නමදින්නෝ ය; ඔබට ගී ගයා ඔබේ නම පසසන්නෝ ය.
5එන්න, දෙවිඳුන්ගේ පුදුම ක්‍රියා නරඹන්න. එතුමන්ගේ ක්‍රියා මිනිසුන් අතර බියජනක ය.
6එතුමාණෝ මුහුද වියළි බිමක් කළ සේක. සෙනඟ එය මැදින් පයින් ගමන් කළෝ ය. එබැවින් එතුමන් තුළ අපි ප්‍රීති ප්‍රමෝද වන්නෙමු.
7එතුමාණෝ බලපරාක්‍රමයෙන් සදහට ම ලොව පාලනය කරන සේක; එතුමාණෝ විජාතීන් දෙස නෙත් යොමා බලන සේක. කිසි ම කැරලිකරුවෙක් එතුමන්ට එරෙහි ව නොනැඟිටී වා!
16දෙවිඳුන් නමදින සියල්ලෙනි! එන්න, සවන් දෙන්න. එවිට එතුමාණන් මට කළ දේ මම කියා දෙන්නෙමි.
20දෙවිඳුන්ට ප්‍රශංසා වේ වා! මාගේ අයැදුම එතුමාණෝ ඉවත නොදැමූ සේක; සිය පෙමින් මා ඈත් නොකළ සේක.
Second Reading
ගලාති 6: 14-18
14එහෙත් මම නම් අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ කුරුසිය ගැන මිස අන් කිසිවක් ගැන පාරට්ටු කර නොගනිමි. මන්ද, කුරුසිය කරණකොටගෙන ලෝකය ගැන මාගේ ආශාව ද, මා ගැන ලෝකයාගේ ආශාව ද මැරුණා හා සමාන ය.
15චර්මඡේදනය වත් අචර්මඡේදනය වත් වැදගත් නැත; වැදගත් දෙය නම්, අලුත් මැවිල්ලක් වීම ය.
16යම් පමණ දෙනෙක් මේ ප්‍රතිපත්තිය අනුගමනය කරන්නෝ ද ඒ හැමට සාමදානයත්, දයාවත් වේ වා! දෙවියන් වහන්සේගේ මුළු සෙනඟටත් එසේ ම වේ වා!
17මින් මතු කිසිවෙක් මට කරදර නොකෙරේ වා. මන්ද, මම මාගේ ශරීරයේ ජේසුස් වහන්සේගේ a නිවරණ දරමි.
18සහෝදරයෙනි, අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ වරප්‍රසාදය ඔබ සමඟ වේ වා! ආමෙන්.
Alleluia
කොලොස් 3: 15a, 16a
15ක්‍රිස්තුන් වහන්සේගේ සාමය ඔබේ සිත් තුළ රජකම් කෙරේ වා! එක ම ශරීරයේ කොටස් වශයෙන් ඔබ කැඳවන ලද්දේ මේ සඳහා ය. කෘතඥතාව ද දක්වන්න.
16ක්‍රිස්තුන් වහන්සේගේ දහම් පණිවුඩය ඔබ තුළ සියලු ප්‍රඥාවෙන් සමෘද්ධ ව පවතීවා. එකිනෙකාට ඥානවන්ත ලෙස අවවාදානුශාසනා කරන්න. ගීතිකාවලින් ද ගායනාවලින් ද ශුද්ධ ගීවලින් ද සිතෙහි ස්තුතිවන්තකමින් ද දෙවියන් වහන්සේට ගායනා කරන්න.
Gospel
ශුද්ධ වූ ලූක් 10: 1-12, 17-20
1ඉන්පසු සමිඳාණන් වහන්සේ තවත් c සැත්තෑ දෙනෙකු පත් කොට තමන් යන්න අදහස් කළ සියලු නගර හා පෙදෙස්වලට ඔවුන් දෙදෙනා බැගින් තමන්ට කලින් යැවූ සේක.
2උන් වහන්සේ ඔවුන්ට මෙසේ වදාළ සේක: ”ගොයම නම් බහුල ය. ගොවීහු විරල ය. එබැවින් ගොයම් කැපීමට මෙහෙකරුවන් එවන මෙන් ගොයමේ හිමියාණන්ට යාච්ඤා කරන්න.
3ඉතින් යන්න. වගවලසුන් මැදට බැටළු පැටවුන් යවන්නාක් මෙන් මම ඔබ යවමි.
4පසුම්බියක් හෝ මල්ලක් හෝ පා වහන් හෝ නොගෙන යන්න. මඟ දී ආචාර කිරීම් සඳහා පමා නොවන්න.
5ඔබ යම් ගෙදරකට ඇතුළු වූ කල, පළමුකොට ‘මේ ගෙදරට සාමය වේ වා!’යි පතන්න.
6සාමය ලබන්නට සුදුසු කෙනෙක් එහි සිටිත් නම් ඔබගේ සාම පැතුම ඔහු පිට රැඳෙනු ඇත. නැතහොත් එය ඔබ වෙත පෙරළා එනු ඇත.
7ඔවුන් දෙන දෙය කමින් බොමින් ඒ ගෙදර ම නැවතී සිටින්න. මන්ද, මෙහෙකරුවා සිය වේතනය ලැබිය යුතු ය; ගෙදරින් ගෙදරට නොයන්න.
8ඔබ යම් නුවරකට ඇතුළු වූ කල ඔවුන් ඔබ පිළිගත්තොත්, ඔබ ඉදිරියෙහි තබන දේ වළඳන්න.
9එහි සිටින රෝගීන් සුව කරන්න. ‘දෙවියන් වහන්සේගේ රාජ්‍යය ඔබ වෙත පැමිණියේ ය’යි ඔවුන්ට ප්‍රකාශ කරන්න.
10එහෙත් යම් නුවරකට ඇතුළු වූ කල ඔවුන් ඔබ නොපිළිගත්තොත්, ඒ නුවර වීදිවලට ගොස්,
11‘අපේ පාදවල වැකුණු මේ නුවර දූවිලි පවා ඔබට විරුද්ධ ව අපි ගසා දමමු; ඒ කෙසේ වුවත් දෙවියන් වහන්සේගේ රාජ්‍යය ළං ව ඇති බව දැනගන්නැ’යි කියන්න.
12මෙය මම ඔබට කියමි, ඒ දවසේ දී ඒ නුවරට වඩා සොදොමට සහනය ඇති වන්නේ ය.”
17ඉන්පසු d සැත්තෑ දෙනා ප්‍රීතියෙන් හැරී අවුත්, ”ස්වාමීනි, ඔබගේ නාමයේ අනුහසින් දුෂ්ටාත්මයෝ පවා අපට අවනත වෙති”යි කී හ.
18උන් වහන්සේ ඔවුන්ට කතා කොට, ”සාතන් විදුලියක් මෙන් අහසින් වැටෙනු දිටිමි.
19බලන්න, සර්පයන් ද ගෝනුස්සන් ද පාගන්ටත්, සතුරාගේ මුළු ශක්තිය මැඬලන්ටත් මා ඔබට බලය පවරා ඇත; කිසිවකින් ඔබට අනතුරක් නොවෙයි.
20එසේ වුව ද අශුද්ධාත්මයන් ඔබට යටත් වන නිසා සන්තෝෂ නොවන්න; ඔබගේ නාම ස්වර්ගයෙහි ලියා ඇති නිසා සන්තෝෂ වන්නැ”යි වදාළ සේක.