කියවීම්
2028 ජූලි 6
Ordinary Weekday/ Maria Goretti, Virgin, Martyr
Maria Goretti, Virgin, Martyr
First Reading
ආමොස් 7: 10-17
10බෙතෙල්හි පූජක තැන වූ අමසියා ඉශ්රායෙල්හි රජ වූ ජෙරොබෝවම්ට මෙසේ දන්වා යැවී ය: ”ආමොස් ඔබට විරුද්ධ ව, ඉශ්රායෙල් ජනයා අතරේ කුමන්ත්‍රණයක් කර තිබේ. ඔහු ප්‍රකාශ කරන දේ නිසා රට විනාශ වන්නේ ය.
11‘ජෙරොබෝවම් රජ යුද්ධයේ දී මිය යන්නේ ය’ කියා ද ‘ඉශ්රායෙල් සෙනඟ වහල්කමට ගෙනයනු ලබන්නේ ය’ කියා ද ඔහු ප්‍රකාශ කරයි.”
12අමසියා ආමොස් අමතා, ”දිවැස් කියන්නා මෙතැනින් යන්න, ජුදා රටට ගොස් එහි ඔබේ ජීවිකාව කරගන්න, එහි ඔබේ දිවැස් දෙසුම් කරන්න.
13මින්පසු දිවැස් දෙසුම් බෙතෙල්හි නොකරන්න. මෙය රජතුමා නමස්කාර කරන ස්ථානය ය; මෙය ජාතික සිද්ධස්ථානය ය”යි කීවේ ය.
14එයට ආමොස් පිළිතුරු දෙමින් මෙසේ කීවේ ය: ”මම රැකියාව වශයෙන් දිවැස් වැකි කියන දිවැසිවරයෙක් නොවෙමි; මම ගොපල්ලෙක්මි; අත්තික්කා වගා කරන්නෙක්මි.
15එහෙත්, සමිඳාණන් වහන්සේ එඬේර රැකියාවෙන් පිටත මා කැඳවා, ‘නුඹ ගොස් මාගේ ඉශ්රායෙල් සෙනඟට දිවැස් වැකි දෙසන්නැ’යි මට නියම කළ සේක.
16එබැවින් සමිඳාණන් වහන්සේ වදාරන දේට සවන් දෙන්න. ඉශ්රායෙල් සෙනඟට විරුද්ධ ව දිවැස් වැකි කියන්නට වත්, ඊසාක්ගේ දරු පරම්පරාවට විරුද්ධ ව වචනයක් කියන්නට වත් එපා යයි ඔබ කියන්නෙහි ය.
17ඔබ එසේ කියන බැවින් සමිඳාණන් වහන්සේ ඔබට මෙසේ වදාරන සේක: ‘නුඹේ භාර්යාව නගරයේ වෙසඟනක් වන්නී ය; නුඹේ දූ දරුවෝ යුද්ධයේ මිය යන්නෝ ය; නුඹේ රට මැන බෙදා අන්‍යයන්ට දෙනු ලබන්නේ ය. නුඹ ද මිසදිටු රටක මිය යන්නෙහි ය. ඉශ්රායෙල් සෙනඟ මවු බිමින් පිටුවහල් කරනු ලබන්නෝ ය.’ ”
Responsorial Psalm
ගීතාවලිය 19: 8, 9, 10, 11
8සමිඳුන්ගේ අණපණත් සාධාරණ ය; සිතට සතොස වඩන්නේ ය. සමිඳුන්ගේ අණසක පැහැදිලි ය; දෙනෙතට එළිය දෙන්නේ ය,
9සමිඳුන් කෙරෙහි ගරුබිය නිර්මල ය; එය සදහට ම පවතින්නේ ය. සමිඳුන්ගේ විනිශ්චය යුක්තිසහගත ය; මුළුමනින් දැහැමි වේ ම ය.
10රනට වඩා, පෙරූ රනට වඩා, එය මනහර ය; පැණියට වඩා, මී පැණියට වඩා, එය සුමිහිරි ය.
11එය ඔබ සේවකයා හට අනතුරු ඇඟවීමක් වන්නේ ය; එය පිළිපැදීමෙන් විපුල විපාක අත්වන්නේ ය.
Alleluia
2 කොරින්ති 5: 19
පාඨ අන්තර්ගතය ලබා ගත නොහැක.
Gospel
ශුද්ධ වූ මතෙව් 9: 1-8
1ජේසුස් වහන්සේ ඔරුවට නැඟී, එගොඩ වී, සිය නුවරට පැමිණි සේක.
2එවිට, අංසබාග රෝගියෙක් උන් වහන්සේ ළඟට යහනක තබා ගෙනෙන ලද්දේ ය. උන් වහන්සේ ඔවුන්ගේ ඇදහිල්ල දැක, ”පුත්‍රය, ධෛර්යවත් වන්න; ඔබේ පව් කමා කරන ලද්දේ ය”යි අංසබාග රෝගියාට වදාළ සේක.
3එකල විනයධරයන්ගෙන් ඇතැමෙක්, ”මොහු දෙවියන් වහන්සේට අපහාස කරන්නේ ය”යි තමන්ට ම කියාගත්හ.
4ජේසුස් වහන්සේ ඔවුන්ගේ සිතුවිලි දැන, ”කුමක් නිසා නපුරු දේ සිතන්නහු ද?
5වඩා පහසු කුමක් ද? ‘ඔබේ පව් කමා කරන ලදැ’යි කීම ද? නැතහොත්, ‘නැඟිට ඇවිදින්නැ’යි කීම ද?
6එහෙත්, පොළොවෙහි දී පව් කමා කිරීමේ බලය මනුෂ්‍ය-පුත්‍රයාණන්ට තිබෙන බව ඔබට පෙන්වා දෙමි”යි කියමින්, ”නැඟිට ඔබේ යහන රැගෙන ගෙදර යන්නැ”යි අංසබාග රෝගියාට වදාළ සේක.
7එවිට ඔහු නැඟිට ගෙදර ගියේ ය.
8සමූහයා ඒ දැක බිය වී, එබඳු බලය මිනිසුන්ට දුන් දෙවියන් වහන්සේට ප්‍රශංසා කළහ.